Tuesday 18 January 2022

පීසා කොත්තු.

 

වතුර වීදුරු දෙකක් එක්ක
ෆුල් කොත්තුවට
පිගන් දෙකක්!


"පිස්සු කපල් එකක්"
එකෙක් කියන්ට ඇති
"හරි ජොලි ජෝඩුව"
තවකෙක් කියන්ට ඇති
"විකාර" කොනේම මේසේ බවලතීගේ බැල්ම නොකියා කීවා
ලෝකේ පෙරලුණත් වගේ වගක් තිබුණාද අපිට

වතුර වීදුරු දෙකක් එක්ක
ෆුල් කොත්තුවට
පිගන් දෙකක්!
වේටර්ට පිස්සුද
පුංචිම දේටත් හුස්ම හිරවෙන්න හිනා යන
හේතුවක් නැතුවත් හේතු හොයන් හිනාවුණ
අපි දෙන්නට කොත්තු
හෝටලේ හිනා සාගරයක්

කැමරා ෆෝන් ටච් ෆෝන් අහම්බෙන් දැක්ක
ජී මේල් එකවුන්ට් එකක් තිබුණ
ෆේස් බුක් ගැන කනින් කොනින් ඇහිලා තිබුණ
එදා අපි හැම මොහොතක්ම නිදහසේ විදගත්තා
හඳවතේ විතරක්ම ඇඳුන
හැම මොහොතකම සෙල්ෆිය
හුස්ම නැවතුනත් ඩිලීට් නොවී
මතු සසරටත් මතක සුවඳ හිතේ රැදේවි


පිගානේ වතුර බේරලා
හොද්දේ පදම බලාලා
පිගානට සීරුවට බෙදලා
හැන්ද අතට දීලා
බලං උන්නා මං කනකල්
මැට්ටි වගේ මං කෑවට
පළවෙනි කට කැවුවේ මට

ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්
සැරයිද
ස්ස්ස්ස් සැරයිනේ
වතුර වීදුරුව අරන් ගිහින්
සින්කෙකෙන් හෝදන්
අළුත් වතුර පුරවන්
ඒකෙන් උගුරකුත් බීලා
තමයි දුන්නේ මගේ අතට
"එච්චරයි සෞඛ්‍යය" විහිලුවට මං කිවුවාට
දන්නවා කලේ පුළුවන් තරම
පුළුවන් උපරිමෙන්
හැමදේම හැමදාම

එක පිගානේ කොත්තු කෑම
ඒකත් එක්තරා කලාවක්
ආදරේ මිහිරි ලතාවක්
"හැදි ෆයිට්"
අන්තිම කොත්තු කට මට
හැන්දට ඒ ටික එකතු කරන්ට
උදවු කලේ ඔයාගෙ හැන්ද
පිස්සුවක්
හරි සොඳුරු පිස්සුවක්
මතකයක්ම පමණක් ඉතිරි කල
ඒ අතීතය සිහිවුණා
පසු කරන් යන විට
කොත්තු කඩේ
පීසා හට් එකට

කාලය පියඹලා අපි පරිනත වෙලා
කොත්තු කඩේ වගේ පිස්සු  දැන් නටන්න බෑ
මෙහේ ලොකු ලොකු මිනිස්සු
කුස පුරවන් ගමන යන්න
කුසගින්නට ගොඩවෙන අය
මෙහේ ඇත්තේ නෑ

මං වෙනුවෙන් මේ සැලකුම් අපේ ආදරේ වෙනුවෙන්මයි
මේ ආදරය මහ මෙරක්
අද මගේම මටම සින්නක්කර
කොත්තු සුවද තියලා පසෙක
පීසා කෑවා මං

4 comments:

නමියගෙ වීදිය said...

හරිම රසවත්.....

තිළිණි said...

බොහොම ස්තූතියි!!!!

මුදියන්සේ මලයා said...

😻

මුදියන්සේ මලයා said...

https://mudiyansemalaya.blogspot.com/2019/09/02.html