Wednesday 4 July 2018

රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්.

අපේ ආදරයට හරියටම අඩ වසරක්.කොහේ හිටියත් ඉරණම් කාරයා හොයාගෙන එනවා කියලා කතාවට කියනවානෙ. පෙරුම් පුරාගෙන ඉදලා හා හා පුරා ලැබුණ රස්සාවට ගිහින් නොදැනීම මාස තුනකුත් වුණා. හැමදාම වගේ එදාත් ගොඩක් කාර්ය බහුල දවසක්. ෆයිල් ගොඩක් අස්සේ ඔබාන හිටිය මුහුණ නිකමට උස්සලා ඉදිරිය බැලුවේ බෙල්ලේ හිරි ඇරගන්නත් එක්ක.ඒ තමයි ඒ කඩවසම් රුව ඇස ගැටුණ මුල්ම මොහොත.
"ලස්සනයි".
මට හිතුනා.

මගේ දිහා නිකමට වත් බලලා හිනා නොවුණ ඒ ආඩම්බරකාරයා මගේ මිතුරියට
"යන්නම් නංගි"
 කියලා ගිය අපූරුව. එයා පරණ කෙනෙක්නෙ.මාව අදුරන්නෙ නැති නිසා වෙන්න ඇති.මම හිත හදා ගත්තා. එක අතකට මට මොකද.මමත් මොනවා හිතනවද මන්දා. ම්ම්හ් ඒත් නිකමට වගේ උදානිගෙන් අහන්න ඕනෙ.

"කවුද නංගි ඒ"

"ආහ් ඒ අර නුවර බ්‍රාන්ච් එකේ අයිය කෙනෙක්නෙ"

කාලය දින සති ගෙවිලා ගියා
තවත් ආඩම්බර උදෑසනක් උදාවුනා. අම්මා අතින් හැඩ වැඩ වුණ ඔසරියත් ඇදගෙන මම ගෙදරින් පිටත් වුණා. ඔසරියට ඔයා ගොඩක් ලස්සනයි. අම්මා නිතරම  කියන කතාව මට නිතරම මතක් වෙන්නෙ ගෙදරින් පිට උන මොහෙතේ පටන් නිවසට එනතුරු මග තොටේ කාර්‍යාලයේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක.ඉතින් මගේ හිත ඇතුලෙ අහිංසක ආඩම්බරයක් දැනෙන එක වරදක්ද කියලා මට හිතුණා.

බස් දෙකක යන්න තියන නිසා අට කෙසේ වෙතත් යාන්තමින් නවය පහුවෙන්න කලින් වැඩ පටන් ගන්න එක තමා මගේ පළවෙනි ඉලක්කය.

 දොර ඇරගෙන හිමින් හිමින් එන රුව අදුරාගන්න මට තත්පරෙන් දශමයක් වත් ඕනෙද. අදත් ඇවිත්. සිතට සතුටක් දැනුනා.ම්හ් ඇයි මගෙ හිතට මෙහෙම දැනෙන්නෙ. කෙලින්ම ගියේ බොස්ගෙ රූම් එකට. ම්ම් මේ අනිත් අයියා මාව ඔඩිට් කරන්න මීට කලිනුත් ආවනේ. එයාත් එක්ක ඇවිත් මැනේජර් මීට් වෙන්න නම්.. මෙයා ලොක්කෙක් වෙන්න ඇති. හිතට බයකුත් දැනෙනවා.මව ඔඩිට් කරන්නද දන්නෙ නෑ ආවෙ. තවම පර්මනන්ට් කරලත් නෑ.. අනේ දෙවියනේ මාව බේරගන්න.

"ඇයි නංගි ඒගොල්ලො අදත් ඇවිත් ඉන්නෙ?"

මොන දේ වුනත් පලපුරුදු ඈගෙන් උපදෙස් අවවාද මට ඕනෑ වෙන්නේ නිතැතින්ම.

"අයේශා අක්කා ඉද්දිත් එයාලා ඇවිත් උදවුකරලා අඩුපාඩු කියලා දීලා යනවා.බයවෙන්න එපා අක්කා"

මං හිතුවා හරි. මේ තියන වැඩ මදිවට මදැයි...

"නංගි මට රිෆන්ඩ් ෆයිල් එක දෙනවද"

මං උඩ ගියා!ඔවු තාම මම උඩ. ලඟටම ඇවිත් කතා කරනකල් මම දැක්කෙ නෑනෙ.

"මො මො මොකක්ද"

"FD රිෆන්ඩ් ෆයිල් ටික දෙනවද නංගි.ඔයා වැඩක්ද? හදිසි වැඩක් නම් ඉවර කරලා දෙන්න"

"න් නෑ මං දැන් දෙන්නම්."

 ගැරඩියාට බූමිතෙල් ගැහුවා වගේ එක හුස්මට ෆයිල් ටික එයා ගාව.
ෆයිල් ටික අරන් ගිහින් සිස්ටම් එකත් එක්ක බරටම වැඩ. හිතුවට වඩා හොදයි වගේ.ඒත්.. නොදැන හරි මගේ වැරැද්දක් තියනවාද දන්නෙ නෑ.

"නංගි ෆයිල් එකේ අඩු ඇප්ලිකේශන් මෙතන ලකුණු කරලා තියනවා මට හොයලා දෙනවද?"

"හ' හා අයියා"

 අල්මාරි රෙකෝඩ් රූම් අස්සේ අමාරුවෙන් කීපයක් හොයාගත්තා.අනික්වා නැතුවාට මං මක් කරන්නද.

"පරණ ඩොකියුමන්ට් නැති එකට ඔයා වගකියන්න ඕනෙ නෑ."

අඩුපාඩු කියලා දීලා මගේ හිතේ බයත් නැතිකරලා ගිය ඒ ආගන්තුකයාගේ අමුත්ත උදානිගෙන් අහනකල් නොයිවසිල්ලෙන් හිටිය මට පිළිතුරක් ලැබුණා.

"ඇක්සිඩන්ට් එකක් වෙලාලු නේද. හොද බූට් එකකුත් කාලලු ඉන්නෙ."

"හ්ම්ම්.පවු නේද"

මෙච්චර ලස්සන කොල්ලට බූට් එකක් තියපු කෙල්ල කවුද අනේ. මං මොකද මේ ඒ කතාවට ඉරිසියා කරන්නෙ.එයාට කෙල්ලෙක් හිටියා කියලාද.එකට දහයක් හිටියත් මට වැඩක් නෑනෙ. මටත් පිස්සු.
බස් දෙකක තෙරපිලා යාන්තන් අට වෙද්දි ගෙදරට ගොඩවුනේ බාගෙට නිදිමතේ.වෙනදා වගේ අම්මා තේකක් හදනකල් ඇදේ හරහට දිගාවෙලා ෆෝන් එක් අතට අරන් ඩේටා ඔන් කලා. ම්ම් මොකක්ද අර අයියගෙ නම කිවුවේ..  Kasun. ආහ් මේ ඉන්නෙ. එකවුන්ට් දෙකක් තියනවා.. දෙකම මෙයාගෙ උනාට එකකට ගිහින් නැහැ සෑහෙන කාලෙකින්. රික්වෙස්ට් එකක් දානවද නැද්ද. ඔන්න ඔහෙ දානවා. ගත වුණේ විනාඩියයි. ඇක්සෙප්ට් කරලා මැසේජ් එකකුත් එවලා

"කෝමෙයි?"

"හොදයි.අයියට කෝමෙයි"

මම රික්වෙස්ට් කරනකල් බලන් හිටියා වගේ හරියට.
එදා පටන් ගැනුන අපේ කතාව සුන්දරව ගලන් ගියේ පිටු පිරෙන දිග කෙටි පණිවිඩ කවි නිසඳැස් එක්ක.
ඒ කතා වලින් මට දැණුන ඒ ආදරණීය රැකවරනය මගේ ලෝකෙම උනේ මටත් නොදැනීම.

 උදේට නැගිටලා කෑම ලැස්ති කරලා දෙන්නත් එක්ක තේ බීලා එයා හවසට ගෙදර ආවම කොහේ හරි නිදහස් තැනකට ගිහින් ආදරේ විදින්න. හවසට පන්සල් යන්න. කළුවරේ පහන් පැලම පත්තු කරන්න. තෙල් ටිකක් අරන් ආදරෙන් මගේ හිස් මුදුනේ ගාද්දි ඒ ඇස් දෙකේ ආදරේ දකින්න. වැව් ඉවුරක වාඩිවෙලා වරු ගණන් වැවු හුළඟ විඳින්න.නිල් අහසේ අවුව. කළුවර අහසේ පෝය හඳේ සිසිල විඳගන්න. නැහැ පුඩු සීතල වෙනකල් ඇග කිළිපොලන සීතලේ ඒ උණුහුමට ගුලිවෙලා ඔහේ ඉන්න.නිල් අහස දිහා බලන් ඉන්න.මුහුඳු වෙරලක ඇවිදන් යන්න. ඉර බහින හැටි බලන් ඉන්න. රසට උයන්න. මම උයනකොට එයත් ඇවිත් මාත් එක්ක කතා කර කර ඉන්න.දෙන්නත් එක්ක එකතුවෙලා කෑම කන්න.රසම බත් කට එයාගෙ අතින් කන්න.
මම පැතුවේ හිනාවෙලා ජීවිතේ දිහා බලන හරි සුන්දර කෙනෙක්. පුංචි පුංචි අඩුපාඩු ආදරෙන් කියලා දෙන. හැමදේම කතා කරන. සාමූහික තීරණ ගන්න. හරි සුන්දර හදක්.!

  "අම්මයි අප්පච්චී මොකද කියන්නෙ"

"එයාලා ටිකක් කැමති නෑ වගේ සුදු අප්පච්චි"

"ඔයා මොකක්ද ගන්න තීරණේ"

"මම ඔයාට ආදරෙයි.මහ ගොඩක් ආදරෙයි.මම ඔයාට පොරොන්දුවක් වුණා.
ඔයාට මතකද? ඒ කිවුවා වගේම මොනදේ උනත් මම ඔයා එක්ක ඉන්නවා."

"ඔයා එනවද මාත් එක්ක? අපි බදිමු."

"අම්මයි අප්පච්චී දාලා එන්නෙ කොහොමද?"

"අපි ඉක්මනින් එයාලව කැමති කරගමු සුදු අම්මි.ඔයා මං ගාවට එන්න. ටික කාලෙකින් එයාලා අපිව පිලිගනී"

"මං කොහොමද අප්පච්චි එහෙම කරන්නෙ..? කොහොමද එයාලට එච්චර දුකක් දෙන්නෙ"

"ඔයා මට ආදරෙයි කිවුවෙ ඇත්තටමද? එයාලා මට කැමති වෙනකල් ඔයාට ඉන්න දෙන්නෙ නෑ. එයාලා හොයලා දෙන කෙනාව ඔයාට ඉක්මනින්ම බදින්න වෙයි"

"මම කැමති නැත්නම් කොහොමද බන්දන්නෙ"

"ඔයාව කැමති කර ගනී කොහොම හරි"

"මාව මරලා තමා"

"කියන දේ අහන්න. හෙට ඉදලා ඔයාට ඔෆිස් යන්න තියා ගෙදරින් එළියටවත් බහින්න දෙන්නෙ නැතිවෙයි. ඔයා හෙටම එන්න. ඔෆිස් එන්න එපා කිවුවොත් රෙසිග්නේශන් දෙන්න ඕනෙ කියලා එන්න."

"බැහැ ඔයාට මට දිවුරලා පොරොන්දු වෙන්න එයාලව යාළු කරලා දෙනවා කියලා..එතකොට මම එන්නම්."

"මම ඔයාට පොරොන්දු වෙනවා.සත්තයි!"

"මම ඔයාව විශ්වාස කරනවා අප්පච්චි.මටත් වඩා!"

අපේ විවාහය ඒක පාර්ශවික විවාහයක් වුණත් චාමෙට ලස්සනට කෙරුණා. විවාහ වෙලා කෙටි කාලයක් ගෙවිලා ගියා

පතා පැමිණි සුර පුරවර වෙලා ගැණුනි ඝණ කළුවර දෑස පුරා දුටු සිනා කවට කෙළි කඳුළු කථාවක කෙලවර


"හෙලෝඕඕ"

"හෙලො"

"හෙලෝ අප්පච්චී.."

"ඔවු ඔවු කියන්න ඇයි කතා කලේ"

"නිකං කතා කලේ ඉතින්.."

"ඔයා තවම වැඩද? එන්න තව ගොඩක් රෑ වෙනවද බබා?"

"මොන බම්බුවක්ද ඕයි කියවන්නෙ? මොංගල්ද තමුසෙට? අද මන්ත් එන්ඩ් එක කියලා දන්නෙ නැද්ද? මොන ලෝකෙද ඉන්නෙ පිස්සු මගුල.
ඔෆිස් එකේ ඔක්කොමලා වැඩ අද රෑ වෙනකල්"

"අනේ ඉතින්..මං තරහ ගන්න දෙයක් ඇහුවයෑ අප්පච්චියො...වෙලා ගිය නිසා හොයල බලන එක වරදක්යෑ .මගෙ මහත්තයා ගැන මං හොයන්නෙ නැතුව"

"අනේ මෙහ් මගෙ යකා අවුස්සන් නැතුව ඉන්නවා මෝඩ ගෑණියෙක් වගේ ගොන් ප්‍රශ්න අහලා"

සලා සොළස පිරි පුරහඳ අතැර ගොසින් සිය පියබඳ එදා කියූ මුදු වදන් අසන්නට බලා හිඳී සිත පිලිසිඳ 


"මෙච්චර රෑ වෙනකල් මේ කාමරේ මේ ඇදේ තනියම ඉන්න පළවෙනි දවස."

"මොකද්ද යකෝ මට කරන්න කියන්නෙ.රස්සාව දාල එන්නද"

"මම නිකන් කිවුවෙ අප්පච්චි.. මට පාළුයිනෙ. ඒකයි කිවුවෙ"

අසන් හිමියනේ

කාට කියන්නද මේ දුක

ඔබ හැර

"අනේ මෙහ් කාලා නිදාගන්නවා මගෙ යකා අවුස්සන් නැතුව"

රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්

බියද දැනේ දුකද දැනේ

රුදුරු වුනේ ඇයි හිමි සඳුනේ



ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
ගී පද - සුනිල් ආර් ගමගේ
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

ගීතය ‍රසවිදින්න මෙතැනින්


Monday 2 July 2018

උපහාරය!

"අප්පච්චී.. අප්පච්චි"
"ම්ම්ම්"
"අප් පච්චීඊඊඊ"
"ඇයි දෝණී.."
"ඇයි අප්පච්චි කළුවර"
"දැන් රෑනෙ පුතේ"
"ඇයි රෑට කළුවර"
"ඉර මාමා රෑට නෑනෙ පුතේ.හඳ මාමානෙ ඉන්නෙ
"ඉර මාමා කොහෙ ගිහින්ද"
"අහසෙම තමයි පුතේ ඉන්නෙ"
"අහසෙ කොහෙද"
"අහසෙ අපිට පේන්නෙ නැති පැත්තක"
"අත්තම්මලාගෙ ගෙවල් හරියෙද?"
"නෑ පුතේ තව ගොඩක් දුර"

අප්පච්චී හැමදේම දන්නවා!
අම්මයි අප්පච්චියි මේ ලෝකේ තියන හැමදේම දන්න,ඕනෙම දෙයක් කරන්න පුලුවන් වීරයෝ දෙන්නෙක් විදිහට දැකපු කාලයක් අපේ ජීවිත වල තිබුණා මතකද?. මොන වැඩ රාජකාරි තිබුණත්.. දවසේ නිමාව කොච්චර වෙහෙසකර වුණත්.. පුංචි හිතට තේරුම් ගන්න පුළුවන් සීමාව තුල මේ ප්‍රශ්න පත්තරයට උත්තර දෙන්නෙ එයාලා හරි කල්පනාවෙන් ඉවසීමෙන් ආදරෙන්.

"දෝණී.. දෝනි..පුතේ.."
"අනේ ඇයි අම්මා.."
"අද ක්ලාස් තිබුණද පුතේ.."
"ඔවු අම්මා"
"උදේ කෑම එක කෑවද"
"හ්ම්ම්"
"යාළුවා ආවද මැණික"
"ඔවු අම්මා ඔවු"
"ඇයි දරුවෝ මේ? මහන්සිද? ඉන්න මම තේකක් හදන් එන්නම්"

අම්මලා අප්පච්චිලා එහෙමයි! කාලයත්  එක්ක අපි ටිකෙන් ටික පරිණත වෙලා. අපි දෙමවුපියන්ගෙන් ප්‍රශ්න අහන යුගය නිමා වෙලා.අම්මා දන්න ඉටි ගෙඩියක් නෑ කියලා හිතෙන කාලයක් ජීවිතයට එබිකම් කරන්න ගන්නේ ඊට පස්සෙ.

යාළුවෝ ජීවිතයට ගොඩක් සමීප වෙන්නේ මේ කාලයේදිනේ.ජීවිතේ දිනන්නත් ජීවිතේ පරදින්නත් යාළුවෝ උදවු වෙනවා.

අප්පච්චිට වඩා අම්මට තියනවා "ඉවක්" ඒක අපිට නොතේරෙන මහ පුදුමාකාර ඉවක්. අම්මලාට ඒ ඉව ලැබිලා තියෙන්නෙ පැටවුන්ව රැකගන්න. නිදහස ඉල්ලලා කොච්චර අරගල කලත් අම්මයි අප්පච්චී නෙවේ සැලෙන්නෙ. එදා වගේම ඉවසීමෙන් ආදරෙන් අපේ හෙවනැල්ල වගේ ඒ දෙන්න හිටිය නිසා අද අපි මෙහෙම ජීවිතයක් ගත කරනවා

අම්මයි අප්පච්චීයි ලඟ ඉද්දී..ජීවිතේ එක කාලයක් ඒවී..ඒ ආදරේ..ඒ ආරක්ෂාව
එක වෙලාවකට නිදහසට බාදාවක් වගේ දැනෙන..
පස්සෙ කාලයක් එනවා..ඒ ආදරේ,ඒ ආරක්ශාව,ඒ නිදහස මහ මෙරක් තරම් උසට දැනෙන.එදාට ආයෙත් ඒ තුරුලට දුවලා යන්න හිතේවි. ඒත් යන්න බැරිනම්..ඒ දුක කවියක නිසදැසක පේලි කීපයකට වත් බ්ලොග් පිටුවක රචනාවකට වත් ගොණු කරන්න බැරිවේවි.
බාල කාලෙ වගේ..
"අම්මයි අප්පච්චී හරි!" කියලා හිතෙන කාලයක් ආයෙත් ජීවිතයට උදාවෙනවා.

සඳ ඉඳුවරී බ්ලොග් පිටුවේ තබන මේ මුල්ම සටහන මගේ අම්මටයි අප්පච්චිටයි මේ ලොව වෙසෙන සියලුම දෙමවුපියන්ට.!
ස්තූතියි පවුලේ සැමට!
ස්තූතියි මගේ හිතේ කවි කතා මවන සජීවී අජීවී හැමෝටම! :)