Tuesday 21 August 2018

හැමදේම අළුත් වෙලා!

හැමදාම ඇවිත් බැලුවා
පරණ නම හොයලා
නුඹ උන්නු තැනමයි
කිසිවක් අලුත් නැති පාටයි

අවුරුද්ද අවුරුද්ද ගෙවිලා
මා සියලු ඉම් පසු කරලා
නුඹ උන්නු තැනමයි
කිසිවක් අලුත් නැති පාටයි

නුඹෙ නමෙත් නම් තුනයි
අමුණලා මුල නමයි මැද නමයි
හැමදේම අලුත් වෙලා
අවුරුදු දෙකකුත් ගෙවිලා

මුල් ඇඳුම නුඹට හරි හැඩයි
කෙලිලොල් තාරුන්‍ය වියැකිලා
හුරුබුහුටි සිහින් ගත පිරිහිලා
මුව සැරසූ සිනහව දෑසෙ නෑ ගෑවිලා

ඈගේ දෙවුර මත නුඹේ දෑතයි
පෙරදා මා අත පැටලී තිබූ ඒ දැතයි
දෑත් යකඩින් තැලී වූ සීරුම් තැලුම්
දුටුවිට එදා මා හද හඬපු තරම්

ඒ තරමටම දුකක් නොදැනුනත්
හද හැඩුවා තහනම් උනත්
තැලුම් පිරිමැඳ හඬන්න මං නැතත්
ඈ ඉන්නවා දැන් නුඹටත්
සතුටු කඳුළක් නොදැනීම ඉණුවා

රැක්කා දියණියක මෙන් දශකයකුත් එකක්
දඟකාර හිතුවක්කාරකම් ඉවසලා ආදරෙන්
මඟ නොමඟ කියා දී හැමවිට පිටු පසින්
මව පියට මඟහැරෙන අඩු ලුහුඬු සපුරමින්

හඬන හැම විට ලොවට රහසෙන්
හද සිහිකලා සෙනෙහස නුඹ දුන්
එනවා යනවා වත් නොකියූ එක් වරක්
දුන් ගෞරවය ආදරයේ තරමක්

හදවත සිපගත්ත නුබේ ආදරේට
හැකිවුණා නම් රැකගන්ට
වෙස් වලා ආ මායාවට
රිංගන්න නොදී මගේ බොලද හදවතට

එකමත් එක දුර ඈත දවසක
නුඹ මට දුන්න හසුනක
අග්ගිස්සේ පුංචි තීරුවක
හැඩ වැඩ දා තිබුණ ගීයක

ලියා තිබුණ විදිහට
ඩේලියා මලෙන් සුවඳ ගලන සීතල රටට
එහි ලියා තිබුණ දිනයට
එන්න තිබුණා මට

ඉල්ලා ගන්න ජීවිතේ
නුඹ එදා මට දුන්න ජීවිතේ
සසර හුරුපුරුදු ජීවිතේ
මලක්සේ නුඹ සුරැකි ජීවිතේ