Wednesday 21 June 2023

පරක්කුව.



බස් එකේ තිරින්ගෙටත් කලින් පැනලා
කෝච්චිය නවත්වන්නත් කලින් බැහැලා
තත්පරෙන් පංගුවත් ඉතිරි කරලා
දුවන්නේ ජීවිතයත් පරදුවට තියලා
රට ගොඩනගන්න පරක්කු වෙලා නේද?

විනාඩියක ඉවසුමක්
නැති කහ එළිය දකින කල්
ගියරයට යන අත්
ඒ තත්පරෙන් පංගුවත්
රට ගොඩනගන්න පරක්කු වෙලා නේද?

ඔරලෝසුවේ කට්ටට කැරකෙන ඇස් ගෙඩි
දිවා බෝජනයෙන් තේ වෙලාව එනතුරු
ඇඟිල්ල ගහන මැෂිමට නිති දුවන හිත
ගෙදර ගිහින් රට ගොඩනගන්න නේද

මේ දුවන තරමට හැදුනානම් රට
චීන්නුත් ඉල්ලයි අද අපෙන් ණය!


Thursday 8 June 2023

හුස්මකට යදින රුපියල්!


පුංචි කිරිකැටි මුහුණු
කොච්චරක් දකිනවද
හැමදාම මුහුණු පොත
පිරෙන්නට හැම තැනම

හුරතල් කිරි සිනා
එක්ක මුල් පින්තූරෙ
ලෙඩ ඇදේ මැලවිලා
ඇති දෙවනි පින්තූරෙ

කොහොම මං දරන්නද
කටුත් බට ගත පුරා
දුක් විදින දරු පැටවු
මගෙ උන්ගේ වයසමයි

වරු ගණන් ගලනවා
කඳුළු කැට උන් නමින්
ඒ අම්මලා කොහොම
දරන් ඉන්නවා ඇත්ද

කෝටියක් හොයනවා
මෙච්චරක් තව මදිලු
පනට දින මෙච්චරලු
මං කොහෙන් දෙම් පුතේ?

කෝටියක් කෝටියක්
දවසකට කී දෙනෙක්
අම්මලා යදිනවද
හුස්මකට රුපියල්

කුරා කූබියෙක් වත්
දැන දැනම නොරිද්දා
යදින්නේ නොරිදන්න
ලොව සියලු දරු පැටවු!


Tuesday 25 January 2022

අඩි ශබ්දය.


ඒ අඩි සද්දෙ! ඒ අඩි සද්දෙ තාලය හැමදාමත් එක වගේ. ඒ නිසාමද කොහෙදො එච්චර දුරක ඉදන් උනත් මට ඇහෙන්නෙ.


"ඔන්න අප්පච්චි එනවා" ^_^

"බලු කන් දෙකක්ද තියෙන්නෙ?"

නෑ. ඒ තරම් තියුණුව ඒ ශ්‍රවණය මගේ සවනට දැනෙන්නේ ඒ ශබ්ද තාලයට විතරයි. ජීවිතේ අහන්න ආසම කරන අඩි සද්දය. ඒ මතකයත් එක්ක තවමත් ඒ හඩ කන් දෙකේ දෝන්කාර දෙනවා.

ගේ දෙරකඩට අප්පච්චි ආවම මුලින්ම මතු වෙන්නේ මගෙයි මල්ලිගෙයි ඔලු දෙක.කාමෙරේ දොර රෙද්දෙන්.අම්මාත් මොන වැඩක හිටියත් ඒ සද්දෙත් එක්ක සාලෙට ඇදිලා එනවා. ගෙදර පිරෙන්නේ අප්පච්චි ආවම. ගෙදරට සතුට ගේන්නේ අප්පච්චි.අම්මාටත් එක්ක ඉවසීම ප්‍රගුණ කරන්නේ අප්පච්චී.කොච්චර වෙහෙස වෙලා ගෙදරට ආවත් ඒ වෙහෙස අප්පච්චිගේ මුහුණේ ගෑවිලා වත් නැහැ. සුපුරුදු හිනාවකින් මුව සරසාගෙන ගෙට ගොඩවෙන අප්පච්ගේ අතේ මල්ලක් නැති දවසක් තිබුණා නම්..

"අද මොකුත් ගන්න බැරි උනා. පාරට එනකොටම හතයි කාල ආවා. ඒකේ ආවෙ නැත්තන් අට වෙනකල් ඉන්න එපැයි."

එහෙම කියන අප්පච්චී සාක්කුවට අත දාලා ටොෆි දෙක තුනක් මගේ හරි මල්ලිගේ හරි අතට දෙනවා.

ගෙදරට ගේන බඩු මල්ලට අමතරව එක එක දවසට එක එක ජාතියේ කෑමක් තියන මල්ලක් තියනවා. ඒ මල්ලේ තියෙන කෑම තියෙන්නේ තුන් දෙනෙක්ට සෑහෙන්න. වැඩිපුර තිබුණත් කොතරම් පෙරැත්ත කලත් අප්පච්චී නෙවේ කටේ තියන්නේ.! මල්ලී මමයි ගොඩක් ආසාවෙන් කනවා කියලා දැනුනොත් අම්මා කන්නෙත් නැහැ.
එහෙම වෙන හැම වෙලාවකම මම මගේ පුංචි හිතෙන් හැමදාම ඇහුවා,

"මෙච්චර රස දෙයක් වෙලත්, අම්මයි අප්පච්චී කන්නෙ නැතුව අපිට කන්න කියලා කොහොම ඉන්නවද දන්නෙ නෑ. ආසාවක් නැද්ද, රස්සාවක් කරලා පඩියකුත් ගන්නවා. මම එහෙම රස්සාවක් කරලා පඩියක් ගත්තා නම් මේවා ලොරියක් ගෙනත් කනවා!"

දිවට රස දෙයක්
ඇසට ප්‍රිය දෙයක්
ගතට සුව දෙයක්
ලොවට ප්‍රිය දෙයක් වෙතොත් දරුවන්ට දීලා ඒ පුංචි මුහුණේ සතුට බලලා අම්මා අප්පච්චී විදින සතුට දැනේවී හැමෝටම දවසක!

අනෝරා වැසි වැස්සත් අප්පච්චිගේ අතේ ඒ මල්ල තිබුණා! ඒක ඇතුලේ තිබුණ රස දේ පෙගිලා තිබුණත් ඒකේ රසේ අඩුවක් අපි තුන්දෙනාට දැනුනේ නැහැ.

"අප්පච්චි පවු!"
මගේ පුංචි හිත ඒ දවසට මට රහසින් කිවුවා.
හදිසියේ වැටුන වැහිකොඩයකට අහු වුනොත්, සිලි මල්ල  නිසා ඔළුව විතරක් නොතෙමෙන්න මුළු ඇඟම තෙමිලා. මේස් දෙක තෙමිලා කකුල් සුදුම සුදු වෙලා සීතලට.
රෑ වෙලා ඇවිත් ආයෙත් පාන්දර හතරට නැගිටලා හැමදාම කොහොම යනවද වැඩට! වැස්ස දවසට, දෙසැම්බරේ සීතලට අප්පච්චිට කොයින්ද නිවාඩු. මගේ පුංචි හිත මගෙන් ඇහුවා.

අප්පච්චිගේ ජීවිතේ උනේ අපි. ජීවිතේ වැඩි කාලයක් වෙන් උනේ අපි වෙනුවෙන්. අපි රැකගන්න රැකියාව වෙනුවෙන්.ගෙදරට එන බස් එකක් මඟ හැරුනොත්,අනිත් බස් එක එනකල් ගතවෙන හෝරාව ගැනත් එයා දුක් වුණා.
මත් ද්‍රව්‍ය කිසිවක් කිසිදාක  පාවිච්චි නොකල අප්පච්චී ඒ ගැන මල්ලීට නිතරම ආඩම්බරෙන් කියනවා මම අහගෙන!

අපේ පුංචි පවුලේ හැම අවශ්‍යතාවයක්ම අඩුවක් නැතිව සම්පූර්ණ කරමින් හරි සරුසාරවට ජීවත් වෙන්න කාලය වගේම මාසික වැටුප කලමනාකරණය කරපු හැටි!
මමත් මල්ලීත් වගේම
අම්මාත් මේ ලෝකේ ඉන්න වාසනවන්තම බිරින්දෑවරුන් අතරින් කෙනෙක්!

ඒ වාසනාව අපිට දීපු අප්පච්චීටත් අම්මාටත් නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා!

වෙනස්කම් නොගැලපීම් අඩු වැඩිය තිබුණට ඔයාලා හැමෝටමත් අති බාල කාලේ මේ වගේ මතක.

"රටකජු රඹුටන්
අරගෙන නාරං
කෝච්චියෙන් දැන්
තාත්තා එනවා"








Saturday 22 January 2022

උමං මාරුව.

 


නුඹ ගාවින් පියමනිද්දි
පිහාටුවක සහැල්ලුවෙන්
මා කැන්දන් පරිස්සමෙන්
තැබු නුඹෙ හර බර පියවර

මාවත ඇරඹුම අවසන
ඇයි මං මොකටද හිතන්නේ
අතින් ඇදන් රැළ පීරන්
නුඹ පස්සෙන් මං දුවන්නේ

අත පොඩ්ඩක් අතෑරුනොත්
ඉස්සරහිං මං ගියොතින්
යන්නෙ කොහෙද මල්ලේ පොල්
තැපලුන තැන හැමදාමත්
'උමං මාරුව'