Wednesday 27 February 2019

අහිමි පෙම්වතිය.

උදයගේ නෙත් නවාතැනේ පුංචි කාමරයේ බිත්තියේ ගසා තිබූ ඇගේ පින්තූරයට ගියේ ඉබේටම වාගේ. ලස්සන හුරුබුහුටි පින්තූර රාමුවට ඇගේ ජායාරූප දෙකක් දමා ඇය මේ පින්තූර රාමුව තමාට තෑගි කල දිනය උදයට සිහි විය. ඔහුගේ උපන් දිනයට මාස ගනනාවකට පෙර සිට ඇය මෙවැනි දෑ සැලසුම් කරන බව ඔහු දනී. පුංචි සමරුවක් සමඟ ඇය අතින්ම සෑදූ කුතුහලය දනවන හුරුබුහුටි සුභ පැතුම් පතක්ද උපන් දිනය දවසට කෙසේ හෝ අතට ලැබෙන බව උදය දනී. තම ආදරය වෙනුවෙන්ම ඇය ජීවත් වෙන බව මෙවැනි පුංචි පුංචි දෑවලින් ඒත්තු ගන්වන්නට ඇය ගන්නා උත්සාහයට ඔහු වඩාත් ප්‍රිය කලා. පින්තූර රාමුවත් රැගෙන උපන්දිනයට පසුදා කොළඹ ආ පසු එය තබන තැන ගැන ඇය පසු විපරම් කල හැටි උදයට රූප රචනයක් මෙන් සිහි විය.

"මං දුන්න ෆොටෝ ප්‍රේම් එක ලස්සනද ම්ම්ම්"

"හ්ම්ම් ෆ්‍රේම් එක ලස්සනයි. ඒකේ ඉන්න ගෑණු ළමයා ඊටත් වඩා ලස්සනයි"

"දැන් පාළු නෑනෙ.ඔන්න මං ලඟම ඉන්නවා. පේන තැනක තියාගන්න හරිද.එතකොට මං ඔක්කොම බලාගෙන ඉන්නෙ.හොර ගෙඩියට තක්කඩි වැඩ කරන්න බෑ එතකොට"

"හැමදාම අම්මි මගේ ලඟ තමා හිටියෙ. අම්මිට හොරෙන් මං කරන චන්ඩි වැඩ මොනවද? "

"හරි හරී දැන් කොහෙද මාව තියල තියෙන්නෙ"

"මගෙ ඇද ගාව. ඇද වියනට මුවා වෙන්න"

"ඇයි මුවා වෙන්න ගැහුවෙ?"

"අනිත් අයට පේනවනෙ"

"ඉතින් මොකෝ. මං ගැන හැමෝම දන්නවනෙ"

"ඒ වුනාට මං කැමති නෑ එක එකා දකිනවට"

"හ්ම්ම් ඒකත් එහෙමද. කවුරුත් දැක්කෙ නැද්ද ඉතින්. "

ඇයට ඕනෑ ඇය වැනි රුවැත්තියක් ඔහුගේ පෙම්වතිය බව ඔහු වටේ සිටින සියල්ලන්ම දකිනවාටයි. උදයගේ කෙල්ල ලස්සනයි කියා කවුරුන් හෝ කියනවා දකින්න ඇය ආසා බව ඔහු දැන සිටියා.

"දන්නෙ නෑ. මම නම් හැම වෙලේම බල බල ඉන්නෙ. හිනා වෙලා මං දිහා බලං ඉන්න අහිංසක මූණ දිහා"

මෙය වසර දහයක සුන්දර මතක ගොන්නෙන් විනාඩි කීපයක සුන්දර මතකයක් බව  කල්පනා ලොවින් අවදි වූ ඔහුගේ හිතට නොසිතෙයි. දැන් දැන් කඳුළු උනන්නේද නැති තරම්. හිතේ තෙරෙපී ඇති වේදනාව දරාගැනීමට දරන වෙහෙසෙන් මොලයේ නහර පුපුරා ‍යතැයි සිතෙන තරම් පීඩනයක් විටෙක දැනෙයි.

ඇය අද කොහෙද. මොනවා කරනවා ඇද්ද. පෙනහලු පුරවාගත් ගැඹුරු ආශ්වාශය සුසුමක් ව පිට වුනේ එම පැනය හිතට නැගෙන හැම විටම නිතැතින්ම පතන ආශිර්වාදයත් එක්ක.

ඔයා මට දුන්න ආදරය වගේම ඔයාත් ගොඩක් පින්වන්තයි. වාසනාවන්තයි. ඉන්න තැනක සතුටින් ඉන්න ලැබෙයි. බොද වූ දෑස් නැවතත් ඇගේ පින්තූරය දෙසට දිව ගියා.

වාසනාවන් අහිමි පෙම්වතියේ..
නිමල පෙම් වේදනාවෙන්..
නිහඬ වූ වේදනාවෙන්..
අහිංසක මා හෙලන සුසුම්
ඔබට පවනක් වේවා...

පැයකට දහ දොලොස් වතාවක් එන ඇගේ ඇමතුම්. රෑ මැදියම හෝරා ගණන් ගෙවෙන තෙක් ආදරය කොදුරපු ඇමතුම්.

"මොනාද කරන්නෙ? කොහෙද මෙච්චර වෙලා ගියේ?"

ඒ, තමා මත්තේම හැපී දවස ගෙවූ ඇගේ ආදරය නොයිවසීම හා මුහුවෙච්ච ආදරනීය තරහවක් බව උදය දනී

"මං ටොයිලට් එකට ගියා ළමයො. හම්මේ කෝල් මැසේජ් ගොඩ. මොනාද මේ එවලා තියෙන්නෙ.. ඉන්න බලන්න."

උදය ඇයව දුරකතනයේම තබාගෙන එවා තිබූ කෙටි පනිවුඩ පිරික්සයි. තමා ඉක්මන් වුණා වැඩි බව වැටහී ඇය කන් කෙදිරි ගායි.

"හයියෝ ඒවා ඩිලීට් කරන්න අනේ.. අනේ ඒව කියවන්න එපා.. ප්ලීස් අනේ. මට ටිකක් කේන්ති ගියා. ටොයිලට් එකට ගියත් කියල යන්න දන්නෙ නැද්ද. ආයෙ මට කියන්නෙ නැතුව ටොයිලට් වත් යන්න එපා හරිනෙ."

උදය තොල්පට සපාගෙන හිනාව තද කරගනිමින් නැවත කෙටි පනිවිඩ කියවයි.

"ම..ට.. ආයේ කෝ..ල් ගන්න එපා.. ම..ම ෆෝන් එක ඕෆ් කර..නවා.. ඔයාට මට වඩා..ලොකු වැඩ තිය..නවා නේ. ඒවා කරගන්න. මාව වදයක් කරගන්න එපා.කෝල් ආන්සර් නොකර කරන්න තරම්..ලො..කු වැඩ ඇති. පරි..ස්සමෙන් ඉන්න. ගුඩ් ලක් .බී එස්. ටී සී."

"හරිද දැන් ?"

බොරු තරහක් මවා ගනිමින් ඇය හුරතලෙන් මෙන් විමසුවා.

උදයට සිනහා ගියේ ඇගේ ඒ හුරතල් මුහුණ මැවී  ගිය නිසා.

"හරි හිනා"

"ඉතින් ළමයෝ හදිස්සියේ බොකක් සෙට් වුනා.කිය කිය ඉන්නෙ කොහෙද. ඇවිත් බලද්දි දැක්කෙ ෆෝන් එකේ කෝල් ගොඩ"

"බොකක් තමා. ඉන්නකො මාත් කරන්නම් හොද වැඩක්. ඔයාට තේරෙයි ඔයාත් මං ඉන්න තැන හිටියා නම්. ඔයා කොළඹ. මං නුවර. අපි දෙන්නා එකතු කරන්නෙ මේ කෝල් එක. ඉතින් ෆෝන් ආන්සර් කරන් නැතුව හිටියම හුස්ම නවතිනවා වගේ රත්තරන්. තේරුම් ගන්න.

උදය බින්දුවේ සිට පටන් ගත් ජීවිතය මේ තැනට ඔසවා තබන්න ශක්තිය දුන්නේ ඇගේ මේ අහින්සක හුරතල් ආදරයයි.

දැන් ඒ ආදරය තමා සතු නොවේ. ඇය දැන් කවුරුන් හෝ එක්ව තමා නොමැති ඇගේ ලොව ගොඩනගාගෙන ඇති. සිහිනයක්දැයි විටෙක හිතෙන, සිතන විටත් මහා පුදුමයක් දැනෙන සත්‍ය එයයි.

හදවතට දැනෙන ඒ දරාගත නොහැකි හැගීම ඇසට ඉනූ කඳුළු පහරක් වී තරමක් ඝණව වැවී ඇති රැවුල් ගස් අතර නොපෙනී ගියා.

කොහේ හරි සතුටින් ඉන්නවා නම් හොදයි. ඒ හිතට දුක් දරාගන්න බැහැ. හැම තිස්සෙම හෙවුවෙ ආදරේ. කොච්චර දුන්නත් මදි ආදරේ.මං දුන්න තරම් නම් ලැබෙන්නෙ නැතිවෙයි. දුකක් නැතුව ඉන්නවා නම් එච්චරයි. ඇයව සිහිවෙන හැම විටම මතක ලොවෙන් අවදිවෙන උදයට සිතෙන එකම දේ එයයි.


මගෙ කඳුලින් නිමා වූ මාවතේ මාවතේ..
ඔහු සමඟින් ඔබ මන්දහාසෙන් යන ගමනේ..
මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා...


ඇය අහිමි වූ දා සිට ගෙවුණ හැම රාත්‍රියක්ම ගෙවී ගියේ ඔහුගේ හිතේ තවමත් ජීවමාන ඇගේ ආදරත් සමගයි. රැකියාවත්,අම්මාත්,මහමෙවුනාවත් නොතිබෙන්න ඔහු පාරක් පාරක් ගානේ යන උන්මන්තකයෙකු වන්නටත් තිබුණ බව ඔහුට සිතුනා. ඒ තරමටම ඇගේ ආදරය වසර දහයක් පුරාවට ඔහුගේ ලේ සමඟ මුහු වී තිබුණා. එය ඇයටත් එලෙසම බව ඔහු දැන සිටියා.

දුරකතනය නෙත ගැටෙද්දී කුමක් හෝ හේතුවකට පපුව සීතල වී යයි.  වෙනදාට රෑ නවය දහය වන විට ඇය හා ඔහේ දොඩවයි. ඒ දෙඩවිල්ල නවතින්නේ පාන්දර ජාමයේ. ආයෙත් ඇය කතා කරනවා නම් කියා ඔහුගේ අහිංසක හිත ඇයව විමසයි. නැත ඇය නැවත නොඑයි. එය හෙට පායන හිරු මෙන් ඉථීරයි. දවස පුරා එක් වී ඇති ගතේ වෙහෙස නිසා යාන්තමට දෑස් පියවුනත් හදේ තවමත් ජීවමාන ඇගේ ආදරේ සිහිවී ගැස්සී අවදි වී දුරකතනය අතට ගන්නා වාර කොපමණ ඇත්ද.

ඊයේ හීනේ ඔයා මං ලගින් හිටිය හැටි මට දැනුනේ හැබැහින් වගේ. ඔය ඇගිලිතුඩු මගේ ඔලුව පුරා දුවද්දි මට ඒක දැනුනෙ ඇත්තටම වගේ රත්තරනේ. මම නිදාගෙන ඉද්දි ඇවිත් ගියාද කියලත් හිතෙන තරම් මට ඔයාව දැනුණා.හීනෙන් හරි මට නැති වුණ ඔයාගෙ ආදරේ දැනෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න තරම් අපේ ආදරේ හුස්මක් හුස්මක් ගානෙ තියනවා කියලා ඔයා දන්නවා.

පාළුකුටියේ මා අරාජිත වී
නිදා නොනිදා හිදින රෑ..
සිහිනයෙන් හෝ පෙනේවා..
ඔබේ සෙනෙහේ නිවුනු පහන්..
නොනිමි පහනක් වීලා..




ගීතය රසවිදින්න මෙතනින් ...

https://youtu.be/y_Qw_STSEzM