Thursday 13 December 2018

සුඳු නෙළුම


සැඩ හිරු
වැහි පිණි
වැව් දිය
පණ නල
දහදිය
හා
සුදු නෙළුම්
සියුමැලි ඇගිලි තුඩු අගින්
දිග හැරෙන මල් පෙති
අතර සමවැදි මසිත
දුටුවා ඒ පෙති අතර
සැගවුනු සෝ සුසුම් මුසු
බලාපොරොත්තුවේ කදුළු පිණි
මෙතරම් බර උහුලන්ට
හැකිද සුදු නෙළුමට?
සැනින් ඉහල ගිය හුස්ම සමග
හිතට නැගුනු ඒ පැනය
සුසුමක් කර පා කලා
වැවු දිය සිප හමා
ආ ඒ සුලගටම!


Friday 30 November 2018

ඉස්සර රජ කාලෙ නොවෙයි දැන් මේ කාලේ.. -01.

"මේ කාලේ.. වගේ නෙවේ.. ඒ කාලේ...ඒ කාලේ..මහප්පා දෙන සත දෙක අරන් ට්‍රන්ක පෙට්ටියත් උස්සන් ඉස්ස්කෝලේ ගිහාම..ඔය  දැන් කාලේ වගේ......"
ඒ අත්තම්මා. වෙවුලන ස්වරයෙන් රස කර කර ඇගේ මතකයට එන එන ගානේ කියන ඒ කාලේ ගැන අහන්න අපි බාල කාලේ හරිම ආසයි නේද?

"අපේ කාලෙ නම් ඔය නාඩගම් තිබුනෙත් නෑ..අපි ඔය වයසට ඕවා දන්නෙත් නෑ."
ඒ අම්මා. ටිකක් විතර කේන්ති ගිහාම අපිට කියන ඒ කාලේ ගැන අත්තම්මා  වගේ රසට අපිට නොකිවුවට ඇයත් අත්තම්මා කෙනෙක් වුණ දාට අපේ ළමයින්ට කියාවි නේද ඒ කාලේ ගැන රස කතා.

එතකොට අපි? අපිත් මේ අපේ කාලේ ගැන අනාගතේ දවසක අපේ දරු මුණුබුරන්ට කියාවි ද ඒ කාලේ රස කතා.?

මේ දවස් වල වෙනදාටත් වඩා වැඩියෙන් ෆේස් බුක් ටුවිටර් ඔස්සේ මගේ නෙත ගැටෙන මාතෘකා අතර විවිධ තේමා පාඨ යටතේ "ඒ කාල මේ කාල බේදය" මුල් තැනක් ගන්නවා.


ටිකෙන් ටික කාලය අනාගතයට යන විට අතීතය රසවත් වෙලා වර්තමානය "අපේ ඒ කාලේ" තරම් රස නැති වෙලා ඉදිරි අනාගතයේ රස ගැන ප්‍රශ්නාර්තයක් හිතේ ඉතිරි වෙලා. ඒ විදිහට අපි දශක කීයක්, පරම්පරා කීයක් ගෙවාගෙන ඇවිත්ද.

බිම්බිසාර රජතුමා දුටු, හීන සැබෑවීගෙන යන කාලය එලබිලා වත්ද? මොනවද මේ සිහින?
ත්‍රිපිටකයේ මහාසුපින ජාතකයේ (ජාතක පාලියේ 77 වන ජාතකය) සදහන් මෙම සිහින දහසය හා බුදුරජාණන් වහන්සේ පහදා දුන් අරුත් ඉතාම කෙටියෙන් මම මෙහෙම සදහන් කරන්නම්.

1.  ගොන්නු හතර දෙනෙක් සතර දිශාවෙන් යුද්ධ කිරීමට මාළිගාවේ මිදුලට පැමිණ, පොරය බැලීමට එහි රැස්වූ මිනිසුන්ට යුද්ධ කරන අයුරු පමණක් පෙන්වා යුද්ධ නොකර පැන යාම. -

  • "අනාගතයේ දිළිඳු බව හා නොදැහැමි බව පිරි මිනිසුන් හා රජුන් සිටින කාල වල, කුසල් යටපත්ව අකුසල් ඉස්මතුවී පිරිහීගිය ලෝකයේ සාතර දිශාවෙන් වැහි වලා පිරී,විදුලිය කොටා,ගොරවා වැසි එන බව පෙන්වා වැසි නොවැස වලාකුලු විසිරී යයි. නියගයෙන් පීඩා විදි ජනයා වැසි ලකුණු දැක උද්ධාමයෙන් බලා සිටින නමුත් ඔවුන්ගේ අපේක්ශා ඉටු නොවෙයි.


2.  කුඩා ගස්, පැළ පොළවෙන් වියනක් පමණ වැඩී මල් පිපී ගෙඩි හට ගනියි. -


  • "පිරිහෙන ලෝකයේ මිනිස් ආයුශ ක්‍රම ක්‍රමයෙන් අඩුවී, රාගයෙන් මුසපත් වෙයි. කුඩා ගැහැණු ළමුන් පිරිමින් අතරට ගොස් ගැබිනියන් වී දරුවන් වදයි" 


3.  එළ දෙනුන්, එදින උපන් වසු පැටවුන්ගෙන් කිරි බීම. -

  • "අනාගතයේදී මවු පියන් පිදීමේ සිරිත් පිරිහී ගොස් මවුපිය වැඩිහිටියන් කෙරෙහි වූ ලජ්ජාව නැතිවී තම තමන් ආවාහ විවාහා කටයුතු කරගනී. දෙමවුපියන්ට ආහාර පානාදියෙන් සැලකීම හෝ නොසැලකීම තමන් කැමැත්ත අකමැත්ත අනුව කරයි. එනිසා මහලු වූ කල දෙමවුපියන්ට ස්වාධීන විය නොහැකිව දරුවන් සතුටු කිරීමෙහිම නියැලිය යුතු වෙයි.


4.  ගැල ඇදීමට හයි හත්තිය ඇති ගොනුන් කරතයේ නොබැද නාඹර නුපුහුණු ගොනුන් ගැල් බැදීමෙන් ඔවුන් ගැල ඇදීමට නොහැකිව හුන් තැනම සිටීම. -

  • "අනාගතයේ නොදැහැමි රජවරුන් කාර්‍යයෙහි දක්ශ, පුහුණු, යුක්තිය පසිඳලීමට සමත් ඇමතිවරුන්ට තනතුරු නොදී තරුණ,නොපුහුණු නුසුදුස්සන් පත් කරයි.ධර්ම සභාවේත්, විනිසුරු මඬුල්ලත්, වෙළෙඳ ව්‍යාපාරයේත් දක්‌ෂයින් නොයොදයි. ඒ නිසා ඒවායේ දියුණුවක් නොලබයි."


5.  දෙපසින්ම කට ඇති අශ්වයෙකු දෙකටින්ම කෑම. -

  • "කලියුගයේ නොදැහැමි රජවරුන්ගේ කාලයේ, නොදැහැමි චපල මිනිසුන් විනිසුරුවන් ලෙස යෙදවීමෙන් විත්තියෙන් හා පැමිණිල්ලෙන් දෙපිරිසෙන්ම අල්ලස් ගනිමින් නිවරදි තීන්දු නොදී යුක්තිය අයුක්තිය හොද නරක පින් පවු නොසලකා හරී."


6.  ලක්‍ෂයක්‌ වටිනා රන්තලියක්‌ මහජනයා එක්ව මුත්‍ර කිරීමට නාකි නරියෙකුට දීම.-

  • "කලියුගයේ රජවරුන් උසස් ගතිපැවතුම් සලකා තනතුරු නොදෙයි. දුශ්චරිතයෝ උසස් කරයි. මේ නිසා ගුණවතුන් දුගී වී ඔවුන්ගේ දිවි රැක ගැනීමට නොහැකි නිසා එම පහත් ගතිගුණ වලින් යුතු නුසුදුස්සන් හා ආවාහා විවාහා වෙයි" 



7.  මිනිසෙකු ලණුවක් අඹරමින් පාමුලට දමන විට ඔහු වාඩිවී සිටින පුටුව පාමුල ලැඟ සිටින කුසගින්නෙන් පෙළෙන හිවලෙක් මිනිසාට රහසින් එය කා දමයි. -
  • "කලියුගයේ ස්‌ත්‍රීන් පුරුෂයන් කෙරෙහි තදින් ඇලී, ලොල් වී,  සුරාවේ ඇලී, අලංකාරයට ලොල් වී, වීථි සංචාරයේ ඇලී, පස්‌කම් සැපට ලොල්වී, දුසිල්වත්ව, අසංවරව තම සැමියන් දුක්‌ මහන්සියෙන් උපයාගත් ධනය දේපළ හොර සැමියන් සමඟ එකතුවී විනාශ කරති."


8.  හිස් භාජන රැසක් මැද රජ මිඳුලේ තබා තිබූ ජලය පිරී ඉතිරෙන බදුනට සිවු දිශාවෙන්ම මිනිසුන් පැමිණ තව තවත් ජලය පුරවයි. හිස් භාජන දිහා නොබලයි. -

  • "කලියුගයේ ලෝකය පිරිහී, රජවරුන් දුගී වී, භාන්ඩාගාර හිස් වෙයි. එනිසා ධන හීන රජුන් තම කාර්‍යයන් ජනයා ලවා කරගනී. ජනයාද තම රැකියා අතහැර රජු සඳහාම කැපවෙයි,වගා කර රජු පෝශණය කරයි,රාජ අටු කොටු පුරවයි.


9.  පස්‌ පියුමෙන් සැදි හැම පැත්තෙනේම තොටුපල් ඇති පොකුණක, දෙපා සිව්පා සත්තු  පැමිණ වටෙන්ම පොකුණට බැස වතුර බොනවා. පොකුණේ මැද ගැඹුරු තැන වතුර කැළඹී තිබුණත් සත්තු වතුර බොන තැන් ඉතා පැහැදිලියි. කැළඹී නෑ. -

  • "කලියුගයේ අධාර්මික රජවරු ඡන්දය, ද්වේෂය, භය, මෝහය යන සතර අගතියෙන්ම ක්‍රියා කරනවා. අධාර්මිකව රට පාලනය කරමින්, අල්ලස, ධනයට ගිජු වෙයි. මෛත්‍රියෙන්, කරුණාවෙන් තොරව ඉතා සැර පරුෂ වෙයි. උක්‌ යන්ත්‍රයක මිරිකෙන උක්‌ පුරුක්‌ මෙන් රටවැසියා පෙළ පෙළා නොයෙක්‌ විදියෙන් අයබදු ගනී. මෙයින් පීඩාවට පත් ජනයා ගම් නියම් ගම් අතහැර පිටිසරට යනවා. (විදෙස්‌ ගත වෙනවා)


10.  එකම හට්‌ටියක පිසෙන බත තුන් ආකාරයකින් පිසෙයි. එක්‌ කොටසක්‌ හොඳින් තැම්බෙයි. කොටසක්‌ ඉතා අමුයි. කොටසක්‌ ඉතා තෙත්ය. -

  • "කලියුගයේ රජුන් අධාර්මික වනවිට රාජකාරියෙහි යෙදුණු අය, බමුණන්, ගම්වැසියන්, නගර වැසියන්, මහණ බමුණන්, දෙවියන් ද අධාර්මික වෙනවා. නොදැහැමි රාජ්‍යයේ සුළං රළුව හමනවා. වාතය දූෂණය වී, සුදුසු කල්හි නිසි ලෙස වැස්‌ස නොලැබෙයි. වැව් ආදියෙහි ඉහත්තාවේ වැසි වසින විට යට කොටසට නොවසියි. යට කොටසට වසින විට මතු කොටසට නොවසියි."


11.  ලක්‍ෂයක්‌ වටිනා සඳුන් අරටුවක්‌ කුණු වූ මෝරුවලට විකිණීම. -

  • "ශාසනය පිරිහෙන කල්හි වන්නේය. මතුකලක සිව්පසයෙහි ලොල් වූ විළි නැති භික්‍ෂුන් ඇති වන්නේය.ධර්මය සිවුරු ආදී සිව්පසය ලබා ගැනීම සඳහා අනුන්ට දේශනා කරන්නේය. සිව්පස ලාභය හැර සසරින් එතැරවීමේ සිට නිවන අරමුණකොට දෙසීමට නොහැකි වන්නෝය.වචන මාලාවක්‌ මිහිරි හඬත් අසා වටිනා සිවුරු ආදිය දෙන්නාහ. එසේම දෙනු කැමැත්තෝ ද වෙතියි. සමහරු නුවර ඇතුළත සතර මංසන්ධි, රජ දොරටු ආශ්‍රිතව හිඳ කහවණු අඩ කහවණු, ඔසු ආදී මුදල් නිසා දේශනා කරන්නාහ. මෙසේ නිවන අගය කොට දෙසන ලද ධර්මය සිව්පස ලැබීම, කහවණු අඩ කහවණු පිණිස විකුණා දම් දෙසීම ලක්‍ෂයක්‌ වටිනා හඳුන් හර කුණු මෝරු සඳහා විකිණීමක්‌ වැනි වන්නේය."


12.  ලබු කබල් දියෙහි ගිලීම. -

  • "කලියුගයේ අධාර්මිශ්ඨ රජවරුන්ගේ කාලයේ දැන උගත් බුධිමත් උතුම් පුත්‍රයන්ට තනතුරු නොදෙයි. නූගත් දුර්ගුණ නුසුදුස්සන්ට තනතුරු දෙයි. ඔවුන් ප්‍රධාන ස්‌ථානවල තනතුරු දරයි. රජු ඉදිරියේ, රජ දොරටුවේ හෝ ඇමැතියන් ඉදිරියේ හෝ, විනිසුරු මඬුල්ල ඉදිරියේ තනතුරු දරයි."


13.  මහ ගෙවල් වැනි ගල් නැව්මෙන් දියෙහි පා වීම. -

  • "කලියුගයෙහි නොදැහැමි රජවරු නූගත්, අධාර්මික නුසුදුස්සන්ට පදවි දී ඔවුහු අධිපති කළ විට, ධාර්මික, උගතුන් දිළිඳුන් වෙයි. කිසිවෙක්‌ ඔවුන්ට ගරුසරු නොදක්වයි. රජු ඉදිරියේ හෝ ඇමැතියන් ඉදිරියේ හෝ යුක්‌තිය පසිඳන ස්‌ථානයෙහි හෝ යුක්‌තිය පසිඳලීමෙහි දක්‍ෂවූ ගල් පර්වත වැනි උගත් ගුණවත් පුතුන්ගේ කතා නොසලකා හරියි. එසේම සංඝකර්මවලදී මෙන්ම ඉහත ස්‌ථානයන්හි දී ද සීල සිල්වත්, ධර්ම විනයධර භික්‍ෂූන් වහන්සේ ගරු කළ යුත්තන් සේ නොසිතයි."


14.  කුඩා ගෙම්බන් කළු සර්පයන් පසුපස එලවා ගොස් එම සර්පයන් අල්ලාගෙන කෑම.

  • "ලෝකය පිරිහෙන විට මිනිස්‌සුන්ගේ කාමාශාව දැඩි වේ.කෙළෙසුන්ට වසග වී නව යොවුන් භාර්යාවන් වසඟයට පත්වේ. භව භෝග ආදියත් නව යොවුන් භාර්‍යාවන්ගේ ආධිපත්‍යයට යටත් වේ. ඒවා පාලනය කරන්නේ තම තමන්ගේ භාර්යාවන්මය.


15.  රන්වන් රණහංසයන් පිරිවරාගෙන ඇවිදින කපුටන් දැකීම. -

  • "අනාගත රජවරු හස්‌ති ශිල්පාදියෙහි, යුද්ධයෙහි අදක්‍ෂ වේ. ඔවුන් තම රාජ්‍යයට විපත් ඇතිකරතියි සිතා සමාන දක්ශතා, හැකියා ඇත්තන්ට තනතුරු යස ඉසුරු නොදේ. පාද දෙවීම, නැහැවීම, කෙස්‌ රැවුල කපන සේවකාදීන්ට තනතුරු යස ඉසුරු දෙයි.


16.  එළුවන් දිවියන් පසුපස එලවා ගොස් අල්ලාගෙන කනවා දැකීම.

  • "අධාර්මික රජවරුන්ගේ කාලවල අධාර්මික,නූගත් දුර්ජනයින් රජු හා විශ්වාසයට යනවා. ධර්මික උගතුන් දුබල වෙයි. විනිශ්චය ශාලාවෙහි දුබලයන් බලවත් වේ. එසේම ලඡ්ජා ප්‍රියශීලි භික්‍ෂූන්ට අලඡ්ජී පාපි භික්‍ෂූන්ගෙන් පීඩා ලැබ වන ගත වෙනවා. ධර්ම් විනය ධර භික්‍ෂූන් දුබල වේ."

සිහින දහසය එකින් එක ගත් විට ඒ එක් එක් සිහිනයට අද සමාජයේ ඇති උදාහරන ඔබේ මතකයට නැගෙන්න ඇති.

වෙනස් වන ලොව නොවෙනස් වන එකම දේ වෙනස් වීම පමණයි කියලා කතාවක් තියනවනේ. ඉතින් අපි අපේ කාලයේ රස මුසු තැන් කතා කරමු. ඒවා මේ කාලයේ උන්දැලාට අත් විදින්න නැහැ කියලා අපේ කාලේ ඈයෝ කිඹුල් කඳුළු හෙලන්ට කාරි නෑ. අපේ කාලේ ඕවා තිබ්බේ නැහැ කියලා මේ කාලේ උන්දැලාට ඔරවන්ටත් කාරි නෑ. වෙනස් වීම තේරුම් අරන් ජීවිතයට සතුටින් මුහුණ දෙමු.

මගේ බාල කාලයේ (එක දහස් නවසිය අනූ ගණන් වල ;-) )මං වඩාත්ම ප්‍රිය කල රස මුසු දෑ කීපයක් එක්ක ඉදිරි ලිපි වලින් ආයෙත් හමුවෙමු.

Thursday 8 November 2018

සිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ

"කී පාරක් කෝල් ගත්තද චූටි අයියෙ දැක්කෙ නැද්ද? බය වෙන්නෙ නැද්ද මම?"

"මම මජන් නාලා හිටියෙ දෝණී ඔයා කෝල් කරනකොට."

"මෙච්චර වෙලාවක් කෝල් එකක් ගත්තෙ නැත්තෙ?"

"ලන්ච් එක එනකල්ම වැඩ තිබුණා. අද එන්ජින් එකක් ආවා. යාඩ් එකේ සීනියර්ම ඉන්ජිනියර් කෙනෙක් එක්ක වැඩ කලේ. ගොඩක් දේවල් ඉගෙන ගත්තා අද"

"ඔය කෝච්චි එන්ජින් එක වගේද මම.හ්ම් 😋"

" 😃 හරි හරී ඉතින් දැන් කතා කලානේ. "

"ආයේ වැඩ නෑ?"

"නෑ. දැන් කෝච්චි පෙට්ටියකට වෙලා පොඩි ඇලට් එකක් දාගෙන සුදු අම්මි එක්ක කයියක් දාගෙන ඉන්නවා"

"මොකද්ද ඔය සද්දෙ?"

"එහා පෙට්ටියේ සෙට් එකක් ඕමි ගහනවා"

"හපෝ රජයෙන් පඩි අරගෙන මේ මිනිස්සු අයිස් ගහන තරමක්."

"කරන්න දෙයක් නෑ ඉතින්. මේ මේවායේ පුරාණයේ ඉදන් පැවත එන සිරිත්."

"මං ආසයි ඔයා අර එක්සෑම් එක කරලා ඒක පාස් වෙලා ස්ටේශන් මාස්ටර් කෙනෙක් වෙනවා දකින්න චූටි අයියේ"

"මේක ස්ථිර වුනොත් ගොඩේ ගොඩ දෝණි. මට කිසිම බයක් නැහැ එහෙනම්. මෙතෙන්ට එන්න මම කොච්චර කට්ටක් කෑවද?කොළඹ එද්දි මෙහේ පාරක් වත් දන්නෙ නැහැ. තනියම රස්සා හොයාගෙන බෝඩිම් හොයාගෙන. මෙහේ පාරක් ඇහැවට වත් මනුස්සයෙක් කියන්නෙ නෑ දෝණි."

"ඔවු ඔවූ ඉතින් මම දන්නවනේ. ඒත් ඔයා මජන් නාගෙන මහන්සි වෙනවට වඩා මම ආසයි අරම ඉන්නවට.ඔයාගෙ කේන්දරෙත්  තියනවා මහන්සි වෙලා කරන රස්සා ගැලපෙන්නෙ නෑ කියලා"

" :-D ඔයා නොදන්න කොච්චර දේවල් තියනවද. සමහර ජොබ් කරන කාලේ බෝඩිමට ගෙවුවම කෑමට මදි මාසෙ අන්තිමේට. උදේටයි දවල්ටයි දෙකටම පාන් බාගයක් අරන් තේ එකක් හදන් බීලා හිටපු දවස් තිබුණා දෝණි."

ඒ අතින් බලද්දි දැන් මම කොච්චර හොද තැනකද ඉන්නෙ. ටෙක් එකේ ඉද්දි සමහර දවස් වලට කොන්ඩෙ කපන්න සල්ලි ඉල්ලගත්තෙ ඔයාගෙන්. බස් එකේ යන්න ඔයාටයි මටයි දෙන්න මගෙ අතේ සල්ලි නැතුව ඔයාගෙ අතේ සල්ලිත් ඉල්ලා ගත්ත දවස් තිබුණා. මම ජීවිතේ මොකුත්ම නැතුව ගොඩ ආව කොනෙක්නෙ දෝණී. "

"ඇයි චූටි අයියේ ඕවා කියලා මාව අඩවන්නෙ. ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ."

"මේ හැම දේම අපේ අනාගතේ වෙනුවෙන් දෝණි. ඔයාගෙ ගෙදරින් මට බය නැතුව ඇවිත් අහන්න පුලුවන් වෙන්නෙ මේ ජොබ් එක ස්ථිර කරපු දවසට. දැන් මම බෝඩිමටත් ගෙවලා.. ගෙදර වියදමටත් දීලා. නංගිටත් දීලා මගෙ වියදමටත් තියාගෙන.ඉතුරුත් කරනවනේ. දැන් මගේ ස්ථාවර තැම්පතුවේ හැට දාහක් තියනවා. ටික ටික ඉතුරු කලොත් වෙඩින් එක කවර් කරගන්න පුලුවන් වෙයි ඒ කාලෙ වෙනකොට.

" ඇයි තව තියනවනේ. ඒවා කියන්නෙ නැද්ද? දෝණිටත් බැංකු පොතක් හදල දීලා මාසෙකට ඒකටත් දාහක් දෙදාහක් දාලා.. බලන්න එන හැමදාම කඩචෝරු ගේන්නත් තියාගෙන.. ඇදුම් සපත්තු අරන් දෙන්නත් තියාගෙන..ක්ලාස් පීස් දෙන්නත් තියාගෙන.."

"මගේ එකම ආසාව ඔයා හොදට ඉගෙන ගෙන හොද තැනක ඉන්නවා දකින්න දෝණි. ඔයා පාඩම් කරනවා නේද? අම්මලා කවදා හරි දවසක අපේ ආදරේ නිසා ඔයාගෙ ඉගෙනීම කඩාකප්පල් වුණා කියනවා අහන්නත් මම  කැමති නෑ. ඔයා හිත හිත ඉදී කියලා තමා හැම සතියෙම මෙච්චර දුරක් ඇවිත් ඔයාව බලලා යන්නේ. ඔයාට තියෙන්නෙ පාඩම් කරන්න විතරයි දෝණි."

"මම පාඩම් කරලා හොදට එක්සෑම් පාස් වෙනවා චූටි අයියේ. එතකොට හැමෝගෙම කටවල් වැහෙයි"

"හොද ළමයා"

උදයට අනූව මුණ ගැහෙන්නේ පාසලේදි. අනූ කියන්නේ ලස්සන අහිංසක් පුංචි කෙල්ලෙක්. සතුට ,කඳුල, ජය පැරදුම ජීවිතේ නනාවිද හැල හැප්පීම් එක්ක නොවෙනස් වුණ මේ ආදරේට වසර දහයකුත් ගෙවී ගියා. අම්මා අප්පච්චීට නොපෙනෙන නොදැනෙන තැන් වලදී අනූව රැකගත්තේ උදය. තාත්තී කියල අනූ කට පුරා කිවුවේ ඒ ගෞරවයත් හිතේ තියාන. විටෙක සොයුරෙක්. චූටි අයියා කියලා ගෙදරට කියන නම අනූ කිවුවේ ඒ නිසා. උදයගේ මුල්ම හීනය වුණේ මේ පුංචි කෙල්ලට හොදට උගන්නලා හොද තැනක තියන්න.  මනමාලියක් කරලා කැන්දන් යන හීනය තිබුණේ දෙවනුව. ඇගේ ගෞරවය උදය දිවිසේ රැකගත්තා.

"ගෙදරටම වෙලා ඉදලා ඇතිවෙලා චූටි අයියේ. අම්ම ගෙන් කනක් ඇහෙන්න නෑ රස්සාවක් ගැන කියවනවා. අරයා විද්‍යා පීටලු..අරයා කැම්පස්ලු..අරයා නර්සින් ලු. අනේ මට ජොබ් එකක් හොයල දෙන්නකො. පඩියක් එපා. නිකන් වැඩ කරන්නම්. මට ඕනෙ රස්සාවක්."

"හරි හරී මම හොයල බලන්නම්. මගෙ යාලුවෙක්ගෙ ගර්ල් ටත් හොයනවා. මම ගැසට් එක බලලා කියන්නම්. ආවට ගියාට බෑනෙ දෝණි. ඔයාට හොද තැනක් වෙන්න ඕනෙනෙ. ඔයා දන්නෙ නෑ දෝණි මේවගෙ තියන දේවල්."

"ඇප්ලිකේශන් කීයක් දැම්මද. තාම එකකට වත් ආවෙ නැහැ"

"එහෙම තමා. මගෙ ජොබ් එකත් ස්ථිර කරයි හෙට අනිද්දා. එතකොට කෙලින්ම ක්ලාස් ටූ එකට ගන්නෙ. සැලරි එකත් වැඩි වෙනවා."

උසස් පෙළ විභහගයෙන් පස්සේ රැකියා සඳහා අයදුම් කරමින් අනූ නිවසේම කාලය ගත කලා.

"චූටි අයියෙ මට අරකෙන් ඉන්ටවිව් කෝල් කලා. දැන් කෝල් කලේ. කොළඹ හෙඩ් ඔෆිස් යන්න වෙනවා ඉන්ටවිව් එකට. අනේ මට පිස්සු වගේ චූටි අයියෙ..මං මැරෙයිද දන්නෙ නෑ අනේ.. අනේ මට මේක හීනයක් වගේ චූටි අයියේ.. අනේ මට බයයි.."

"හී හී ඔයාට වරදින්නෙ නෑ දෝණි. මම කිවුවෙ ටිකක් ඉවසන්න කියලා.ඔයා බය නැතුව ඉන්ටවිව් එකට යන්න. ලස්සනට පිලිවෙලට යන්න. අප්ප්ච්චි එක්කද යන්නෙ?

"හුම් ඔවු"

"මොකද්ද ඇදන් යන්නෙ"

"ම්ම්ම් ඔසරියක් තමා"

"බලන්නත් ආසයි. පරිස්සමෙන් ගිහින් එන්න මගෙ අම්මි"

**********************************

"චූටි අයියෙ මාව සිලෙක්ට් වුණා.  අනේ චූටි අයියෙ ඔයාට විස්වාස කරන්න පුලුවන්ද දැන් මට රස්සාවක් තියනවා?

මට පිස්සු වගේ චූටි අයියේ. "

"මට ගොඩක් සතුටුයි දෝණි."

"චූටි අයියේ .ඔයා අඩනවද?

"මට සතුටුයි. ගොඩක් ආඩම්බරයි ඔයා ගැන. ඔයා මගෙනෙ. "

"අඩන්න එපා චූටි අයියෙ. හෙට ඉදලාම මට යන්න වෙනවා."

"ඇදන් යන්න සාරි තියනවාද?"

"හෙටට ඉන්ටවිවු ඇදපු එක අදිනවා. අනිද්දාට එකක් අම්මා හෙට අරන් මහල තියයි. "

"ලස්සන සාරි ටිකක් ගන්න. මම එකවුන්ට් එකට සල්ලි දාන්නම්."

"මට හෙට ඉදලා දවසම ඔයාට කෝල් කරන්න බැරි වෙයි. ඔෆිස් ටයිම් එකේ ෆෝන් පාවිච්චි කරන්න එපාලු."

"හ්ම්ම් ඔයා කල්පනාවෙන් වැඩ ටික කරගන්න. බස් එකේ පරිස්සමෙන් යන්න.පාර පනිද්දි පරිස්සමෙන්. ටික දවසක් යද්දි ජොබ් එක ඔයාට හුරුවෙයි. එතකල් ටිකක් අමාරුවෙයි. ඉවසීමෙන් ඉන්න. කාත් එක්ක වත් ඕනාවට වඩා කතාවට නොගිහින් ගානට ඉන්න. පෞද්ගලික දේවල් කියන්න යන්න එපා. කවුරුත් මොකුත් කිවුවට ඒක අහගෙන ඉදලා පරිස්සමෙන් උත්තර දෙන්න. කා ගැනවත් කාත් එක්කවත් විවේචනය කරන්න එපා. "

"හ්ම්ම්ම්ම්ම් හිතට ගත්තා ඔක්කොම. එසේම කරන්නම් දේවයන් වහන්ස"

දින සති මාස ගෙවිලා ගියා. උදය ඔහුගේ රැකියාව සමඟ දවස ගෙවන අතරේ අනූ ඇගේ රැකියාව සමඟ කාර්‍ය් බහුල වුණා. මාස ගණනකින් ඔවුන්ට එකිනෙකා දැකගන්න ලැබුණේ නැහැ.

"ඩුවල් සිම් ෆෝන් එකක් ගන්නකල් කම්පැනි සිම් එක දාන්න වෙන නිසා කපල් සිම් එක අයින් කරන්න වෙනවා චූටි අයියේ."

"කමක් නැහැ දෝණි. මේ දවස් වල මගෙ අතේ වැඩිපුර සල්ලි නැහැ. අපි හිමීට ෆෝන් එකක් ගමු. "

"මට හරි මහන්සී චූටි අයියේ. උදේ පාන්දර හතරෙ ඉදන් ඇහැරලානෙ. ඔෆිස් එකේ දවසම ඔලුව වෙහෙසලා පැය දෙකක් බස් එකේ ඇවිත්. හම්මෝ බස් වල උදේටයි හවසටයි ඉන්න සෙනඟ. මම දැන් ගොඩාක් කෙට්ටු වෙලා චූටි අයියෙ."

"ඔයාව බලන්නත් ආසයි දෝණි.අපේ උන් මට විහිලුත් කරනවා මම දැන් ඔයාව බලන්න එන්නෙ නැති නිසා. මම එන්නම් ඕෆ් වෙද්දි දවසක්"

"හ්හ්ම් මට නිදිමතයි. මම තියන්නද චූටි අයියෙ"

"මවා දී තරු රටා අහසේ සිනාසී උන් තරු කිනිත්තෙන්
මලානික වූ පුංචි තරුවක් පොලෝ තලයට කඩා වැටුනා
සරා සඳකට දරාගන්නට බෑ"

පාන්දර වෙනකලුත් රහසින් කොදුරන වෙනදා ගන්න රාත්‍රී ඇමතුම, එකිනෙකාගේ හුස්ම වැටෙන සද්දය හරි ආදරෙන් අහගෙන..නිදි වදිනකල්ම සවනේ රැදෙන ඇමතුම, දැන් විසන්දි වෙලා.ඔවුන් එකිනෙකාගේ හිත් වලින් ඇහුවා.
"මේ අපිද?"

දවස් කිහිපයක් තිස්සේ දිනූගේ ජංගම දුරකතනයට එන නාදුනන ඇමතුම් ගැන දිනූ ගන්නා හුස්මක් පාසාම සිතුවා.
මාස ගණන් ඇයව නොදැක ඉන්න, ඇයට කතා නොකර කිසිවක් නොකියා ඉන්න උදයට පුලුවන් වුණේ කොහොමද කියලා ඇය සිතුවා.

කවුරුත් නොදන්න අලුත්ම දුරකතන අංකය පවා ඔවුන් දන්නේ කොහොමද
ෆේස් බුක් ගිණුම ඔවුන් දන්නේ කොහොමද.
එවලා තිබුණ පින්තූර වල ඉන්න ගෑණු කෙනා   කෙසේවෙතත් එනිත් කෙනා නම් උදය බව දිනූට සියයට දෙසීයක් විස්වාසයි.


සති කීපයකට පසු අනූට උදයගෙන් ඇමතුමක් ලැබුණා

"අපේ අප්පච්චිට සනීප නැහැ දෝණි. එයාට ගොඩක් අමාරුයි ."

"අප්පච්චිට ඇයි චූටි අයියෙ?"

"කැන්සර් එකක් ලු. හොයාගද්දි   පරක්කු වැඩියි ලු. පැතිරිලාලු. වයසත් එක්ක ඔපරේට් කරන එක අවදානම්ලු. අනේ අපි ගොඩක් අසරණ වෙලා දෝණි."

"අනේ චූටි අයියේ.. අප්පච්චිට මතකය ටික ටික අඩු වුණේ ඒක වෙන්න ඇති. ඔයා ශක්තිමත් වෙන්න චූටි අයියෙ. දැන් මොකද කරන්නෙ?"

"ඔපරේශන් එකට කැමැත්ත දෙන්න ඕනෙලු. එයා විදවනවා බලන් ඉන්න බැහැ. ඩොක්ටර්ලා කියන්නේ හොදම දේ එයාව බලාගන්න එක කියලා තවත් වේදනා නොදී. අම්මා මගෙන් අහනවා මොකද කරන්නෙ කියලා. මම මොකද දෝණි කරන්නෙ"

"ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක්නේ චූටි අයියෙ. ඔහොම වැටෙන්න එපා. හොදට හිතලා වැඩ කරන්න මේ වෙලාවෙ. මම ඔයාට හවස් වෙලා ගන්නම් චූටි අයියේ. මම පොඩි වැඩ වගයක ඉන්නේ."

"හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ"

හවස ඇමතුම සති කීපයක්ම මග හැරී ගියා. රෑ හත හමාරේ බසය නොතිබුන නිසා ගෙදරට පනිවිඩයක් යවා ත්‍රී රෝද
රථයක් ගෙන්වාගෙන නිවසට යමින් සිටි අනූගෙ දුරකතනයට කෙටි පණිවුඩයක් ලැබුණා.

"අපේ අප්පච්චිට ගොඩක් අමාරුයි අනූ නංගී.මට කතා නොකලාට කමක් නැහැ. එයාට සුව වෙන්න කියලා ප්‍රාර්තනා කරන්න..ඔයා ජීවිතේ ගොඩක් දුර ගමනක් යන්න ලෑස්ති වෙනවා කියලා මට ආරංචි වුණා. මම ඔයාට බාදා කරන්නෙ නැහැ නංගී"

"වසන් වන සඳ වලාකුලකට හඩා වැටුනට තාරකාවක් ආයේ එන්නේ නෑ
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ"

අනූගේ පපුව පසාරු කරගෙන ගිය ඒ වචන අතරින් ඇගේ ආත්මය හඩා වැටුණා. "අනූ නංගී" කවදාවත් ඔහුගෙන් නොඅසා තිබූ ඒ ආමන්ත්‍රණය ඇගේ හදවතේ දෝන්කාර දුන්නා. ඔහු මෙතරම් අසරණ ව ඉන්න මොහොතක මුළු ජීවිතේම දුක සැප බෙදාගන්න පෙරුම් පිරූ ඇයට මේ දුක බෙදාගන්න වත් වරම් නැතිවීම ගැන ඇය තුල ඇය ගැනම ඇති වුණේ  කලකිරීමක්.


"ආයෙ හැරෙන්න බැරි තරම් දුරකට ඔයා  මගෙන් ඈත්වෙලා චූටි අයියේ. ජීවිතේ ආපස්සට ගිහින් වැරදුන තැනක් නිවරදි කරලා එන්න ලැබුනොත්.. මට ඔයාව අත අත හැරුන තැනින් ආයේ අල්ලා ගන්න තිබුනා. ඒත් බැහැ . ආයෙ කවදාවත්ම මට ඔය අත අල්ලා ගන්න බැහැ. විශ්වාස කරන්න අමාරු වුණත් ඇත්ත ඒක. ඔයා අතක් අල්ලන් අලුත් ගමනක් යන්න පටන් අරන්. ඒ ගෑණු ළමයා කිවුව හැටියට ඒ ගමනට තියන එකම බාදකය මම.ඉතින් ඔන්න දැන් හරි. අවුරුදු දහයක් පුරාවට අපි දෙන්නා ගොඩනගපු මතක ජීවිතේ අවසන් හුස්ම වැටෙනකල්ම මතකයේ තියේවි. ජීවිතේ සමහර කාල වලදී අපේ ජීවිත වල වෙන හැල හැප්පීම් පාලනය කලේ අපිමද කියලා හිතෙනවා කාලය ගතවෙලා ආපහු හැරිලා බලද්දි. ඔයාගෙ ආදරේ හිතේ මතුවෙන හැම මොහොතකම හිත හඩාවි. ඇස් බොදවෙන කඳුලු ලෝකෙන් සැගවේවි,අපේ ආදරෙත් එක්කම.

"නිවීයන තරුවක කතාවේ බිඳීගිය මතකයේ සැමරුම
හිතේ ගැඹූරුම තැන තියාගෙන ආදරේ ඉකිබිඳුම් ඇසුනා
මලානික ඇස් හිනාවෙන්නේ නෑ
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ."

කාලය ඉක්මන් ගෙවී ගියා. උදයත් අනූත් දැන් විවාහකයින්. මවු පියවරුන් වෙලා. ඔවුන් එකිනෙකා හා ගොඩනැගූ අනාගතය, හීන අද ඔවුන් දෙදෙනාම වෙන හිත් දෙකක් සමඟ ගොඩනගාගෙන.ඒ අලුත් හිත් දෙකෙන් ලැබෙන ආදරේ හිස් තැන් අතරින් මතුවෙන හදවතේ ගැඹුරේම තැන්පත් වෙලා තිබුණු ආදරේ මතක සිතුවම් මනසේ ඇදෙන්නේ නිතැතින්ම. උනන කඳුලු සුසුම් රහසේම සගවාන මුවගට හිනාවක් නගාගෙන ඔවුන් ආයෙත් ඔවුනොවුන්ට උරුම වුණු හිත් අස්සේ ආදරේ උණුහුම හොයනවා.

"වසන් වන සඳ වලාකුලකට හඩා වැටුනට තාරකාවක් ආයේ එන්නේ නෑ
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ"



ගීතය රසවිදින්න මෙතනින්...

Tuesday 21 August 2018

හැමදේම අළුත් වෙලා!

හැමදාම ඇවිත් බැලුවා
පරණ නම හොයලා
නුඹ උන්නු තැනමයි
කිසිවක් අලුත් නැති පාටයි

අවුරුද්ද අවුරුද්ද ගෙවිලා
මා සියලු ඉම් පසු කරලා
නුඹ උන්නු තැනමයි
කිසිවක් අලුත් නැති පාටයි

නුඹෙ නමෙත් නම් තුනයි
අමුණලා මුල නමයි මැද නමයි
හැමදේම අලුත් වෙලා
අවුරුදු දෙකකුත් ගෙවිලා

මුල් ඇඳුම නුඹට හරි හැඩයි
කෙලිලොල් තාරුන්‍ය වියැකිලා
හුරුබුහුටි සිහින් ගත පිරිහිලා
මුව සැරසූ සිනහව දෑසෙ නෑ ගෑවිලා

ඈගේ දෙවුර මත නුඹේ දෑතයි
පෙරදා මා අත පැටලී තිබූ ඒ දැතයි
දෑත් යකඩින් තැලී වූ සීරුම් තැලුම්
දුටුවිට එදා මා හද හඬපු තරම්

ඒ තරමටම දුකක් නොදැනුනත්
හද හැඩුවා තහනම් උනත්
තැලුම් පිරිමැඳ හඬන්න මං නැතත්
ඈ ඉන්නවා දැන් නුඹටත්
සතුටු කඳුළක් නොදැනීම ඉණුවා

රැක්කා දියණියක මෙන් දශකයකුත් එකක්
දඟකාර හිතුවක්කාරකම් ඉවසලා ආදරෙන්
මඟ නොමඟ කියා දී හැමවිට පිටු පසින්
මව පියට මඟහැරෙන අඩු ලුහුඬු සපුරමින්

හඬන හැම විට ලොවට රහසෙන්
හද සිහිකලා සෙනෙහස නුඹ දුන්
එනවා යනවා වත් නොකියූ එක් වරක්
දුන් ගෞරවය ආදරයේ තරමක්

හදවත සිපගත්ත නුබේ ආදරේට
හැකිවුණා නම් රැකගන්ට
වෙස් වලා ආ මායාවට
රිංගන්න නොදී මගේ බොලද හදවතට

එකමත් එක දුර ඈත දවසක
නුඹ මට දුන්න හසුනක
අග්ගිස්සේ පුංචි තීරුවක
හැඩ වැඩ දා තිබුණ ගීයක

ලියා තිබුණ විදිහට
ඩේලියා මලෙන් සුවඳ ගලන සීතල රටට
එහි ලියා තිබුණ දිනයට
එන්න තිබුණා මට

ඉල්ලා ගන්න ජීවිතේ
නුඹ එදා මට දුන්න ජීවිතේ
සසර හුරුපුරුදු ජීවිතේ
මලක්සේ නුඹ සුරැකි ජීවිතේ


Wednesday 4 July 2018

රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්.

අපේ ආදරයට හරියටම අඩ වසරක්.කොහේ හිටියත් ඉරණම් කාරයා හොයාගෙන එනවා කියලා කතාවට කියනවානෙ. පෙරුම් පුරාගෙන ඉදලා හා හා පුරා ලැබුණ රස්සාවට ගිහින් නොදැනීම මාස තුනකුත් වුණා. හැමදාම වගේ එදාත් ගොඩක් කාර්ය බහුල දවසක්. ෆයිල් ගොඩක් අස්සේ ඔබාන හිටිය මුහුණ නිකමට උස්සලා ඉදිරිය බැලුවේ බෙල්ලේ හිරි ඇරගන්නත් එක්ක.ඒ තමයි ඒ කඩවසම් රුව ඇස ගැටුණ මුල්ම මොහොත.
"ලස්සනයි".
මට හිතුනා.

මගේ දිහා නිකමට වත් බලලා හිනා නොවුණ ඒ ආඩම්බරකාරයා මගේ මිතුරියට
"යන්නම් නංගි"
 කියලා ගිය අපූරුව. එයා පරණ කෙනෙක්නෙ.මාව අදුරන්නෙ නැති නිසා වෙන්න ඇති.මම හිත හදා ගත්තා. එක අතකට මට මොකද.මමත් මොනවා හිතනවද මන්දා. ම්ම්හ් ඒත් නිකමට වගේ උදානිගෙන් අහන්න ඕනෙ.

"කවුද නංගි ඒ"

"ආහ් ඒ අර නුවර බ්‍රාන්ච් එකේ අයිය කෙනෙක්නෙ"

කාලය දින සති ගෙවිලා ගියා
තවත් ආඩම්බර උදෑසනක් උදාවුනා. අම්මා අතින් හැඩ වැඩ වුණ ඔසරියත් ඇදගෙන මම ගෙදරින් පිටත් වුණා. ඔසරියට ඔයා ගොඩක් ලස්සනයි. අම්මා නිතරම  කියන කතාව මට නිතරම මතක් වෙන්නෙ ගෙදරින් පිට උන මොහෙතේ පටන් නිවසට එනතුරු මග තොටේ කාර්‍යාලයේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක.ඉතින් මගේ හිත ඇතුලෙ අහිංසක ආඩම්බරයක් දැනෙන එක වරදක්ද කියලා මට හිතුණා.

බස් දෙකක යන්න තියන නිසා අට කෙසේ වෙතත් යාන්තමින් නවය පහුවෙන්න කලින් වැඩ පටන් ගන්න එක තමා මගේ පළවෙනි ඉලක්කය.

 දොර ඇරගෙන හිමින් හිමින් එන රුව අදුරාගන්න මට තත්පරෙන් දශමයක් වත් ඕනෙද. අදත් ඇවිත්. සිතට සතුටක් දැනුනා.ම්හ් ඇයි මගෙ හිතට මෙහෙම දැනෙන්නෙ. කෙලින්ම ගියේ බොස්ගෙ රූම් එකට. ම්ම් මේ අනිත් අයියා මාව ඔඩිට් කරන්න මීට කලිනුත් ආවනේ. එයාත් එක්ක ඇවිත් මැනේජර් මීට් වෙන්න නම්.. මෙයා ලොක්කෙක් වෙන්න ඇති. හිතට බයකුත් දැනෙනවා.මව ඔඩිට් කරන්නද දන්නෙ නෑ ආවෙ. තවම පර්මනන්ට් කරලත් නෑ.. අනේ දෙවියනේ මාව බේරගන්න.

"ඇයි නංගි ඒගොල්ලො අදත් ඇවිත් ඉන්නෙ?"

මොන දේ වුනත් පලපුරුදු ඈගෙන් උපදෙස් අවවාද මට ඕනෑ වෙන්නේ නිතැතින්ම.

"අයේශා අක්කා ඉද්දිත් එයාලා ඇවිත් උදවුකරලා අඩුපාඩු කියලා දීලා යනවා.බයවෙන්න එපා අක්කා"

මං හිතුවා හරි. මේ තියන වැඩ මදිවට මදැයි...

"නංගි මට රිෆන්ඩ් ෆයිල් එක දෙනවද"

මං උඩ ගියා!ඔවු තාම මම උඩ. ලඟටම ඇවිත් කතා කරනකල් මම දැක්කෙ නෑනෙ.

"මො මො මොකක්ද"

"FD රිෆන්ඩ් ෆයිල් ටික දෙනවද නංගි.ඔයා වැඩක්ද? හදිසි වැඩක් නම් ඉවර කරලා දෙන්න"

"න් නෑ මං දැන් දෙන්නම්."

 ගැරඩියාට බූමිතෙල් ගැහුවා වගේ එක හුස්මට ෆයිල් ටික එයා ගාව.
ෆයිල් ටික අරන් ගිහින් සිස්ටම් එකත් එක්ක බරටම වැඩ. හිතුවට වඩා හොදයි වගේ.ඒත්.. නොදැන හරි මගේ වැරැද්දක් තියනවාද දන්නෙ නෑ.

"නංගි ෆයිල් එකේ අඩු ඇප්ලිකේශන් මෙතන ලකුණු කරලා තියනවා මට හොයලා දෙනවද?"

"හ' හා අයියා"

 අල්මාරි රෙකෝඩ් රූම් අස්සේ අමාරුවෙන් කීපයක් හොයාගත්තා.අනික්වා නැතුවාට මං මක් කරන්නද.

"පරණ ඩොකියුමන්ට් නැති එකට ඔයා වගකියන්න ඕනෙ නෑ."

අඩුපාඩු කියලා දීලා මගේ හිතේ බයත් නැතිකරලා ගිය ඒ ආගන්තුකයාගේ අමුත්ත උදානිගෙන් අහනකල් නොයිවසිල්ලෙන් හිටිය මට පිළිතුරක් ලැබුණා.

"ඇක්සිඩන්ට් එකක් වෙලාලු නේද. හොද බූට් එකකුත් කාලලු ඉන්නෙ."

"හ්ම්ම්.පවු නේද"

මෙච්චර ලස්සන කොල්ලට බූට් එකක් තියපු කෙල්ල කවුද අනේ. මං මොකද මේ ඒ කතාවට ඉරිසියා කරන්නෙ.එයාට කෙල්ලෙක් හිටියා කියලාද.එකට දහයක් හිටියත් මට වැඩක් නෑනෙ. මටත් පිස්සු.
බස් දෙකක තෙරපිලා යාන්තන් අට වෙද්දි ගෙදරට ගොඩවුනේ බාගෙට නිදිමතේ.වෙනදා වගේ අම්මා තේකක් හදනකල් ඇදේ හරහට දිගාවෙලා ෆෝන් එක් අතට අරන් ඩේටා ඔන් කලා. ම්ම් මොකක්ද අර අයියගෙ නම කිවුවේ..  Kasun. ආහ් මේ ඉන්නෙ. එකවුන්ට් දෙකක් තියනවා.. දෙකම මෙයාගෙ උනාට එකකට ගිහින් නැහැ සෑහෙන කාලෙකින්. රික්වෙස්ට් එකක් දානවද නැද්ද. ඔන්න ඔහෙ දානවා. ගත වුණේ විනාඩියයි. ඇක්සෙප්ට් කරලා මැසේජ් එකකුත් එවලා

"කෝමෙයි?"

"හොදයි.අයියට කෝමෙයි"

මම රික්වෙස්ට් කරනකල් බලන් හිටියා වගේ හරියට.
එදා පටන් ගැනුන අපේ කතාව සුන්දරව ගලන් ගියේ පිටු පිරෙන දිග කෙටි පණිවිඩ කවි නිසඳැස් එක්ක.
ඒ කතා වලින් මට දැණුන ඒ ආදරණීය රැකවරනය මගේ ලෝකෙම උනේ මටත් නොදැනීම.

 උදේට නැගිටලා කෑම ලැස්ති කරලා දෙන්නත් එක්ක තේ බීලා එයා හවසට ගෙදර ආවම කොහේ හරි නිදහස් තැනකට ගිහින් ආදරේ විදින්න. හවසට පන්සල් යන්න. කළුවරේ පහන් පැලම පත්තු කරන්න. තෙල් ටිකක් අරන් ආදරෙන් මගේ හිස් මුදුනේ ගාද්දි ඒ ඇස් දෙකේ ආදරේ දකින්න. වැව් ඉවුරක වාඩිවෙලා වරු ගණන් වැවු හුළඟ විඳින්න.නිල් අහසේ අවුව. කළුවර අහසේ පෝය හඳේ සිසිල විඳගන්න. නැහැ පුඩු සීතල වෙනකල් ඇග කිළිපොලන සීතලේ ඒ උණුහුමට ගුලිවෙලා ඔහේ ඉන්න.නිල් අහස දිහා බලන් ඉන්න.මුහුඳු වෙරලක ඇවිදන් යන්න. ඉර බහින හැටි බලන් ඉන්න. රසට උයන්න. මම උයනකොට එයත් ඇවිත් මාත් එක්ක කතා කර කර ඉන්න.දෙන්නත් එක්ක එකතුවෙලා කෑම කන්න.රසම බත් කට එයාගෙ අතින් කන්න.
මම පැතුවේ හිනාවෙලා ජීවිතේ දිහා බලන හරි සුන්දර කෙනෙක්. පුංචි පුංචි අඩුපාඩු ආදරෙන් කියලා දෙන. හැමදේම කතා කරන. සාමූහික තීරණ ගන්න. හරි සුන්දර හදක්.!

  "අම්මයි අප්පච්චී මොකද කියන්නෙ"

"එයාලා ටිකක් කැමති නෑ වගේ සුදු අප්පච්චි"

"ඔයා මොකක්ද ගන්න තීරණේ"

"මම ඔයාට ආදරෙයි.මහ ගොඩක් ආදරෙයි.මම ඔයාට පොරොන්දුවක් වුණා.
ඔයාට මතකද? ඒ කිවුවා වගේම මොනදේ උනත් මම ඔයා එක්ක ඉන්නවා."

"ඔයා එනවද මාත් එක්ක? අපි බදිමු."

"අම්මයි අප්පච්චී දාලා එන්නෙ කොහොමද?"

"අපි ඉක්මනින් එයාලව කැමති කරගමු සුදු අම්මි.ඔයා මං ගාවට එන්න. ටික කාලෙකින් එයාලා අපිව පිලිගනී"

"මං කොහොමද අප්පච්චි එහෙම කරන්නෙ..? කොහොමද එයාලට එච්චර දුකක් දෙන්නෙ"

"ඔයා මට ආදරෙයි කිවුවෙ ඇත්තටමද? එයාලා මට කැමති වෙනකල් ඔයාට ඉන්න දෙන්නෙ නෑ. එයාලා හොයලා දෙන කෙනාව ඔයාට ඉක්මනින්ම බදින්න වෙයි"

"මම කැමති නැත්නම් කොහොමද බන්දන්නෙ"

"ඔයාව කැමති කර ගනී කොහොම හරි"

"මාව මරලා තමා"

"කියන දේ අහන්න. හෙට ඉදලා ඔයාට ඔෆිස් යන්න තියා ගෙදරින් එළියටවත් බහින්න දෙන්නෙ නැතිවෙයි. ඔයා හෙටම එන්න. ඔෆිස් එන්න එපා කිවුවොත් රෙසිග්නේශන් දෙන්න ඕනෙ කියලා එන්න."

"බැහැ ඔයාට මට දිවුරලා පොරොන්දු වෙන්න එයාලව යාළු කරලා දෙනවා කියලා..එතකොට මම එන්නම්."

"මම ඔයාට පොරොන්දු වෙනවා.සත්තයි!"

"මම ඔයාව විශ්වාස කරනවා අප්පච්චි.මටත් වඩා!"

අපේ විවාහය ඒක පාර්ශවික විවාහයක් වුණත් චාමෙට ලස්සනට කෙරුණා. විවාහ වෙලා කෙටි කාලයක් ගෙවිලා ගියා

පතා පැමිණි සුර පුරවර වෙලා ගැණුනි ඝණ කළුවර දෑස පුරා දුටු සිනා කවට කෙළි කඳුළු කථාවක කෙලවර


"හෙලෝඕඕ"

"හෙලො"

"හෙලෝ අප්පච්චී.."

"ඔවු ඔවු කියන්න ඇයි කතා කලේ"

"නිකං කතා කලේ ඉතින්.."

"ඔයා තවම වැඩද? එන්න තව ගොඩක් රෑ වෙනවද බබා?"

"මොන බම්බුවක්ද ඕයි කියවන්නෙ? මොංගල්ද තමුසෙට? අද මන්ත් එන්ඩ් එක කියලා දන්නෙ නැද්ද? මොන ලෝකෙද ඉන්නෙ පිස්සු මගුල.
ඔෆිස් එකේ ඔක්කොමලා වැඩ අද රෑ වෙනකල්"

"අනේ ඉතින්..මං තරහ ගන්න දෙයක් ඇහුවයෑ අප්පච්චියො...වෙලා ගිය නිසා හොයල බලන එක වරදක්යෑ .මගෙ මහත්තයා ගැන මං හොයන්නෙ නැතුව"

"අනේ මෙහ් මගෙ යකා අවුස්සන් නැතුව ඉන්නවා මෝඩ ගෑණියෙක් වගේ ගොන් ප්‍රශ්න අහලා"

සලා සොළස පිරි පුරහඳ අතැර ගොසින් සිය පියබඳ එදා කියූ මුදු වදන් අසන්නට බලා හිඳී සිත පිලිසිඳ 


"මෙච්චර රෑ වෙනකල් මේ කාමරේ මේ ඇදේ තනියම ඉන්න පළවෙනි දවස."

"මොකද්ද යකෝ මට කරන්න කියන්නෙ.රස්සාව දාල එන්නද"

"මම නිකන් කිවුවෙ අප්පච්චි.. මට පාළුයිනෙ. ඒකයි කිවුවෙ"

අසන් හිමියනේ

කාට කියන්නද මේ දුක

ඔබ හැර

"අනේ මෙහ් කාලා නිදාගන්නවා මගෙ යකා අවුස්සන් නැතුව"

රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්

බියද දැනේ දුකද දැනේ

රුදුරු වුනේ ඇයි හිමි සඳුනේ



ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
ගී පද - සුනිල් ආර් ගමගේ
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

ගීතය ‍රසවිදින්න මෙතැනින්


Monday 2 July 2018

උපහාරය!

"අප්පච්චී.. අප්පච්චි"
"ම්ම්ම්"
"අප් පච්චීඊඊඊ"
"ඇයි දෝණී.."
"ඇයි අප්පච්චි කළුවර"
"දැන් රෑනෙ පුතේ"
"ඇයි රෑට කළුවර"
"ඉර මාමා රෑට නෑනෙ පුතේ.හඳ මාමානෙ ඉන්නෙ
"ඉර මාමා කොහෙ ගිහින්ද"
"අහසෙම තමයි පුතේ ඉන්නෙ"
"අහසෙ කොහෙද"
"අහසෙ අපිට පේන්නෙ නැති පැත්තක"
"අත්තම්මලාගෙ ගෙවල් හරියෙද?"
"නෑ පුතේ තව ගොඩක් දුර"

අප්පච්චී හැමදේම දන්නවා!
අම්මයි අප්පච්චියි මේ ලෝකේ තියන හැමදේම දන්න,ඕනෙම දෙයක් කරන්න පුලුවන් වීරයෝ දෙන්නෙක් විදිහට දැකපු කාලයක් අපේ ජීවිත වල තිබුණා මතකද?. මොන වැඩ රාජකාරි තිබුණත්.. දවසේ නිමාව කොච්චර වෙහෙසකර වුණත්.. පුංචි හිතට තේරුම් ගන්න පුළුවන් සීමාව තුල මේ ප්‍රශ්න පත්තරයට උත්තර දෙන්නෙ එයාලා හරි කල්පනාවෙන් ඉවසීමෙන් ආදරෙන්.

"දෝණී.. දෝනි..පුතේ.."
"අනේ ඇයි අම්මා.."
"අද ක්ලාස් තිබුණද පුතේ.."
"ඔවු අම්මා"
"උදේ කෑම එක කෑවද"
"හ්ම්ම්"
"යාළුවා ආවද මැණික"
"ඔවු අම්මා ඔවු"
"ඇයි දරුවෝ මේ? මහන්සිද? ඉන්න මම තේකක් හදන් එන්නම්"

අම්මලා අප්පච්චිලා එහෙමයි! කාලයත්  එක්ක අපි ටිකෙන් ටික පරිණත වෙලා. අපි දෙමවුපියන්ගෙන් ප්‍රශ්න අහන යුගය නිමා වෙලා.අම්මා දන්න ඉටි ගෙඩියක් නෑ කියලා හිතෙන කාලයක් ජීවිතයට එබිකම් කරන්න ගන්නේ ඊට පස්සෙ.

යාළුවෝ ජීවිතයට ගොඩක් සමීප වෙන්නේ මේ කාලයේදිනේ.ජීවිතේ දිනන්නත් ජීවිතේ පරදින්නත් යාළුවෝ උදවු වෙනවා.

අප්පච්චිට වඩා අම්මට තියනවා "ඉවක්" ඒක අපිට නොතේරෙන මහ පුදුමාකාර ඉවක්. අම්මලාට ඒ ඉව ලැබිලා තියෙන්නෙ පැටවුන්ව රැකගන්න. නිදහස ඉල්ලලා කොච්චර අරගල කලත් අම්මයි අප්පච්චී නෙවේ සැලෙන්නෙ. එදා වගේම ඉවසීමෙන් ආදරෙන් අපේ හෙවනැල්ල වගේ ඒ දෙන්න හිටිය නිසා අද අපි මෙහෙම ජීවිතයක් ගත කරනවා

අම්මයි අප්පච්චීයි ලඟ ඉද්දී..ජීවිතේ එක කාලයක් ඒවී..ඒ ආදරේ..ඒ ආරක්ෂාව
එක වෙලාවකට නිදහසට බාදාවක් වගේ දැනෙන..
පස්සෙ කාලයක් එනවා..ඒ ආදරේ,ඒ ආරක්ශාව,ඒ නිදහස මහ මෙරක් තරම් උසට දැනෙන.එදාට ආයෙත් ඒ තුරුලට දුවලා යන්න හිතේවි. ඒත් යන්න බැරිනම්..ඒ දුක කවියක නිසදැසක පේලි කීපයකට වත් බ්ලොග් පිටුවක රචනාවකට වත් ගොණු කරන්න බැරිවේවි.
බාල කාලෙ වගේ..
"අම්මයි අප්පච්චී හරි!" කියලා හිතෙන කාලයක් ආයෙත් ජීවිතයට උදාවෙනවා.

සඳ ඉඳුවරී බ්ලොග් පිටුවේ තබන මේ මුල්ම සටහන මගේ අම්මටයි අප්පච්චිටයි මේ ලොව වෙසෙන සියලුම දෙමවුපියන්ට.!
ස්තූතියි පවුලේ සැමට!
ස්තූතියි මගේ හිතේ කවි කතා මවන සජීවී අජීවී හැමෝටම! :)