Thursday 21 March 2019

වැසි වනාන්තරයෙන් සුන්දර කාන්තාරයකට.


මගේ ජීවිත කාලයෙන් වැඩි කාලයක් ගෙවුනේ මාතලේ වුනත් ජීවිතේ බොහොම ටික කාලයක් ගෙවී ගිය අනුරාධපුරේට මම පුදුම ආදරෙයි.

මාතලෙන් පිටත්වෙලා ගිහින් දඹුල්ල කිට්ටු වෙද්දී..දඹුල්ලත් පහුකරගෙන ටික දුරක් යනකොට ඒ වෙනස ඇඟට හොදටම දැනෙනවා. අවුව පොදක් නොවැටෙන වලාකුළු බර වුණු කළුවර අහස යට චුරු චුරු වැස්සෙ සීතලේ ගුලිවෙලා කූඩැල්ලොත් එක්ක පුස් කකා තිබුණු මගේ ගත සිත වගේම මගේ මොළයටත්, ඒ කාශ්ඨක අවුවේ ගිනියම් උණුසුම අස්සේ එන සැඩ සුළඟෙන් ආයෙත් අළුත් පණක් එනවා කියල දැනෙනවා .

   වටේම කඳු වළල්ලයි මීඳුමයි,කැලෑ රොදවල් එක්ක උන්න මට වියළී ගිය ඉපනැලි, පේන තෙක් මානෙ මහ මුහුඳ වගේ වෙල් යායවල්, නිල්ම නිල්පාට පැහැදිලි ආකාසෙ, හැම වෙල් යායක්ම පහු වෙද්දි හමුවෙන නෙළුම් ඕලු පිරුණු වැවු වල ලස්සන විදින්න හැම පාසැල් වාරයක් අවසානයේම ලැබෙන නිවාඩුවට වාසනාව උදාවෙනවා. ඒ ලෝක දෙක අතර වෙනස මගේ ගතට දැනෙන්නේ වැසි වනාන්තරයකින් සුන්දර කාන්තාරයකට පියමනිනවා වගේ.

ඒකට අපි කියන්නේ ගමේ යනවා කියලා :D
හැම පාසල් නිවාඩුවකටම අප්පච්චිට නිවාඩු ලැබුන ගමන් අපි එහේ ගියා. එදාට තමා මට අවුරුදු. :D
මහ ගෙදර මිදුල ඉස්සරහින් තියෙන්නෙ ජය ගගේ වේල්ල (බන්ට් එක). පිටුපසින් පොල් වත්ත කෙලවර වෙන්නෙ යෝද ඇලෙන්. ඉතින් මට තව වෙන මොනවද.
වත්තෙ ඇති පදමට කජු ගස්, බිලිං, පේර, දිවුල්, බෙලි, අඹ තව..නාරං,දෙළුම්, කොකෝවා ;) අත්තම්මයි ලොකු අත්තයි තමයි මේ හැම දේම වවල තියෙන්නෙ. ඉබේ හැදෙන ඒවත් බොහොමයි. ආහ් ආසම දෙයක් අමතක වුණා තල් ගස් වල තල් ගෙඩි,කුරුම්බා.

පොල් වත්තෙ තියනව උළු වහපු ගෙයක්.වත්තෙ වැඩ දවස්ට ඉන්න හදපු එකක්. අපේ අයියලා අක්කලා ඔක්කොම අපි එහෙ ගිහාම මහ ගෙදරට එකතු වෙනවා. ඉතින් අපි කට්ටිය යනව අර ගෙදරට. යන ගමන් වත්තෙ වැටිල තියන අඹ, දිවුල් එහෙම ඇහිඳගෙන තමා යන්නේ,තව පොලු ගහල ගැට ටිකකුත් කඩාගෙනයි යන්නෙ. :D
ගිහින් ඒවට ලුණු,මිරිස් දාල තලල කාල වත්තෙ ගස් ඔක්කොම සුද්ද කරල යෝද  ඇලෙන් අත පය හෝදගෙන තමා එන්නෙ. ඇල අයිනෙ කංකුන් එතකොට වට්ටි පෙට්ටි වියන්න ගන්න පන් ගස් යායයි.

ඒ අව්‍යාජ ලෙන්ගතු පරසරය වගේම ඒ ජීවිතත් හරිම අව්‍යාජයි සරලයි. හවසට වැවට බැහැල ඇති තරම් විනෝද වෙලා කංකුං මුකුනුවැන්න ටිකකුත් කඩාගෙන.. එන ගමන් දඹ,ඇබිලිය,කෝං අත් දෙකට පු‍රෝගෙන.. තව..එරමිණිය පදුරු වලට ගොඩවෙලා තරගෙට එරමිණිය කඩාගෙන.. දිවුල් ගස් වල වැටිල තියන දිවුල් ගෙඩි ගහේ කදේම ගහල පලාගෙන, අල්ලට මැදි කරල  තියල කෑලි කරගෙන බෙදා හදාගෙන ලෑටි ගාමින් ආපු ඒ ජීවිතේ තියෙන්නෙ ඒ සුන්දර වන්නියේ විතරයි කියලා විටෙක සිතුණා.

යෝද ඇලට බහින්න මට තහනම් , ඒ හරියෙ එරෙනවලු ,කිඹුල්ලු එහෙමත් ඉන්නවලු කියලනේ.මාතලේ කෙල්ලට ඉතින් පීනාන්නත් බෑනෙ.
 මම බයිසිකල් පදින්න පුරුදු උනෙත් එහෙදි. (මාතලේ කදු පල්ලම් වල පැද්දොත් ඉතින්..!)

එහේ රෑට නිදාගන්නවා නම් බොරු!.
ෆෑන් එකට වත් හිදෙන් නැති රස්නෙ,මදුරුවො නෙට් එක ගලවන් යන් නැති ටික විතරයි. -_- ඉතින් එළි වෙන්නෙ කොයි වෙලාවෙද කියල පෙරලි පෙරලි ඉද්දි පාන්දර ජාමෙට දන්නෙම නැතුව නින්ද ගිහින්.ඇහැරෙන්නෙ මාතලේට වඩා ලස්සනට වැටෙන ඉර එලිය කාමරේට වැටුනම.

ගේ ලඟම තියනව ලොකු ලිදක් ලස්සනට සිමෙන්තියෙන් බැදපු. ඉතින් වැඩි පරිස්සමට කවුරු හරි ඇදලා දෙන වතුර බාල්දියෙන් මූණ කට සෝදාගෙන පටන් ගන්න නැටිල්ල කෙලවර වෙන්නෙ හවස හතරට විතර ආයෙත් මාතලේට වඩා ලන්නසනට ඉර බහිද්දි. මාමයි සීයයි ඇරෙන්න ගෙදර ඔක්කොම හවසට යනවා ගෙදර ඉස්සරහ ජය ගගට. මාතලේ වගේ දවල් දෙලහා වෙන්න කලින් නාන්න ඕනේ කියන වදකාර චාරිත්‍රය නෑනේ එහේ!. ඒ පැත්තේ උදවිය නාන්නෙම හවසට. රස්නය නිසා වෙන්න ඇති.
දිය කෙලිය ඉවර වෙලා ගොඩ වෙන්නෙ ගෙදර කෙනෙක් අපි ගගේ ගිහින්ද කියල බලන්න ආවම.

ඊට පස්සෙ ගෘහස්ත ක්‍රීඩා පටන් ගන්නව. රෑ 12 විතර වෙනකල් කැරම් සෙල්ලම් කරනව.කාඩ් ගහනව හරිම විනෝදයි. ඒ වෙනකල් වැඩිහිටියොත් ආගිය තොරතුරු කතාබහ කරනව.කාලෙකින්නේ එකතු වෙන්නේ.

දවසක් වෙන් වෙනව චාරිකාවට.අවුකන, විජිතපුරේ, වැදගෙන කලා වැව් තාවුල්ලෙ තියන රූස්ස ගහක් ගාව නතර වෙලා කාල ඇති වෙනකල් විනෝද වෙලා තමා එන්නෙ.

නිවාඩුව ඉවර වෙලා ගෙදර එන දවසෙ උදේට මට ඇහැරෙන් නෑ. හොදටම ලෙඩ වෙනව :) ඒත් ඒ අසාර්ථක උත්සාහයෙන් පැරදිලා එන්න පිටත් වෙන්නෙ සතියකට විතර ඇති වෙන්න ගඩා ගෙඩිත් පුරවගෙන.

ටික ටික ලොකු වෙලා ඉගෙනීම ,විභහග,ටිවුෂන් එක්ක හිර වෙනකොට ඒ හැමදේම නැතිවෙලා ගියා.

තාමත් ඒ ගග ගලනවා,ඒ ගස් වල ගෙඩි හැදෙනවා. අත්තම්මා නැතත් සීයා තවමත් මඟ බලන් ඉන්නවාලු කිරි දුව එනකල්.ඒත්.. මගේ අයියලා  අක්කලා එක්ක ගෙවපු ඒ සුන්දර ලෝකය හඳවතේ ගැඹුරුම තැන ඇඳුන සොඳුරූ සිතුවම් පමණක්ම වෙලා.


8 comments:

Kalana said...

සුන්දර අතීතයකට හිමිකම් කියන එක අනාගතයට පාලමක් තිලිණි.

ඔයාගේ වගේ සුන්දර ළමාකාලයක් මටත් තිබ්බා කියල මතක් උනා මේ මතක ආවර්ජනාව එක්ක.

වෙලේ ,දොලේ පැනලා , ගස් උඩට වෙලා ඉදලා කරපු කියපු දේවල් අද ළමයින්ට නම් කොහෙන් ගන්නද නේද ?

වෙලාවක් තිබ්බොත් කියවන්න ,

පුංචි කාලේ රස කථා
https://magelokaya01.blogspot.com/2017/10/blog-post_26.html

පුංචි කාලේ රස කථා 2 ,
https://magelokaya01.blogspot.com/2018/04/2.html

මගේ ආදරණිය දුම්රිය මතකයන්
https://magelokaya01.blogspot.com/2017/06/4.html


හරිම අගෙයි!

පසුව ලියමි ,

ඔයා මාතලේ කියල උඩින් ම ලියල තිබ්බනේ. මමත් ලංකාවේ ආසම කරන පලාත. ඔයා මාතලේ කොහෙද? මගේ වයිෆ් ගේ අම්මා ගේ මහ ගෙවල් කලල්පිටියේ .

මම ලිව්ව ලිපි කීපයක් මේ ...

මාතලේ මට දුකයි බං .
https://magelokaya01.blogspot.com/2017/07/blog-post.html

නකල්ස් කදු අතර පැරණි හුලන්කපොල්ලේ බංගලාව
https://magelokaya01.blogspot.com/2017/12/blog-post_20.html

මාතලේ බලකඩුව දියඇල්ල සොයා.
https://magelokaya01.blogspot.com/2018/02/blog-post_23.html

කලකට පෙර ජාතික පුවත්පතකට ලියූ එහෙත් හේතුවක් මත පළනොවූ ලිපියක්. (ලංකාවේ තිබෙන හොදම විද්‍යාගාරය නකල්ස්)
https://magelokaya01.blogspot.com/2018/04/blog-post_27.html

පිටකන්ද මුදුණ සොයා කබරගලට
https://magelokaya01.blogspot.com/2019/02/blog-post_22.html

දිගටම ලියන්න ශක්තිය උවමනාව ලැබේවා ඔයාට !

Wijebahu said...

Kethelen Mallak? Good luck with your writing.

Mathale is nice, good old days I had a uncle living in Kubiyangoada.

තිළිණි said...

මම මාතලේ ඇල්කඩුවේ. කලල්පිටිය නම් මාතලේ කිට්ටුවම නේද. ඔවු මාතලේ හරි ලස්සන පලාතක්. ^_^
කතා ටික නම් හරිම ආසාවෙන් කියෙවුවා. ස්තූතියි ඔත්තුවට. ඉඩක් ලැබෙන හැටියට අනිත් ටිකත් ඉක්මනින් කියවන්න ඕනෙ. බොහොම ස්තූතියි ලියමනට මාව දිරිමත් කලාට! :) :)

තිළිණි said...

Thank you very much.:) Yes matale is very nice city with nice ppl. :D

Kalana said...

මගේ ලෝකයේ පරණ ලිපි කියවා ප්‍රතිචාර දැක්වීම ට බෙහෙවින් ස්තුතී ය . මමද අද ප්‍රතිප්‍රතිචාර දැක්වීමි .

ඔබගේ "සඳ ඉඳුවරී" නමින් ෆේස්බුක් පිටුවක් ද තිබේ ද ?

තිළිණි said...

"සඳ ඉඳුවරී" නමින් මගේ ෆේස් බුක් පිටුවක් නම් නැහැ.

කිඹුලී said...

අපේ අම්මගේ මහ ගෙදර යනවා අපි ඉස්කෝලේ නිවාඩුවට එහෙට සේරමල්ලා එකතු වෙලා පැලෙන්න සෙල්ලම් කරනවා...ඒ කාලේ ආයේ එන්නේ නෑ....විභාග,රැකියා,සල්ලී කියන්නෙ මිනිස්සුන්ගේ සුන්දර තැන් මරලා දාන තැන්....සමහරු රට ගිහින් සමහරි හිටියත් කතා බහක් නෑ....ජීවිතේ මතක විතරයි ඉතුරු අන්තිමෙට😢

තිළිණි said...

ඒ ගැන නම් කවර කතාද! වෙනස් විදිහට ගලාන ගියාට මොකද..අපේ ජීවිත වල ගොඩක් සමීප තැන් තියනවා නේද. ගෙවෙන හැම තත්පරයම අයිති අතීතයට. වෙනස් වීම් එක්ක අනාගතයට යද්දී හිතේ ඉතිරි වෙන්නේ මතක. ගතින් ආපහු යන්න බැරි නම් හිතින් හරි ගිහින් විදලා එන්න සොදුරු මතක හරි අපිට ඉතිරි වෙච්ච එක වාසනාවක් නේද?
https://sandaiduwari.blogspot.com/2018/12/blog-post_17.html?m=1

ආයෙත් ස්තූතියි මේ ප්‍රතිචාර වලට..