Saturday 29 June 2019

මා බාල කාලේ. 01


මේ කාලේ.. වගේ නෙවේ.. ඒ කාලේ...ඒ කාලේ..මහප්පා දෙන සත දෙක අරන් ට්‍රන්ක පෙට්ටියත් උස්සන් ඉස්ස්කෝලේ ගිහාම..ඔය  දැන් කාලේ වගේ......"

ඒ අත්තම්මා. වෙවුලන ස්වරයෙන් රස කර කර ඇගේ මතකයට එන එන ගානේ කියන ඒ කාලේ ගැන අහන්න අපි බාල කාලේ හරිම ආසයි නේද?

"අපේ කාලෙ නම් ඔය නාඩගම් තිබුනෙත් නෑ..අපි ඔය වයසට ඕවා දන්නෙත් නෑ."

ඒ අම්මා. ටිකක් විතර කේන්ති ගිහාම අපිට කියන ඒ කාලේ ගැන අත්තම්මා  වගේ රසට අපිට නොකිවුවට ඇයත් අත්තම්මා කෙනෙක් වුණ දාට අපේ ළමයින්ට කියාවි නේද ඒ කාලේ ගැන රස කතා.

එතකොට අපි? අපිත් මේ අපේ කාලේ ගැන අනාගතේ දවසක අපේ දරු මුණුබුරන්ට කියාවි ද ඒ කාලේ රස කතා.?

බොහෝ විට ෆේස් බුක් ටුවිටර් ඔස්සේ නෙත ගැටෙන මාතෘකා අතර විවිධ තේමා පාඨ යටතේ "ඒ කාල මේ කාල බේදය" මුල් තැනක් ගන්නවා නේද?

ටිකෙන් ටික කාලය අනාගතයට යන විට අතීතය රසවත් වෙලා වර්තමානය "අපේ ඒ කාලේ" තරම් රස නැති වෙලා ඉදිරි අනාගතයේ රස ගැන ප්‍රශ්නාර්තයක් හිතේ ඉතිරි වෙලා. ඒ විදිහට අපි දශක කීයක්, පරම්පරා කීයක් ගෙවාගෙන ඇවිත්ද.

වෙනස් වන ලොව නොවෙනස් වන එකම දේ වෙනස් වීම පමණයි කියලා කතාවක් තියනවනේ. ඉතින් අපි අපේ කාලයේ රස මුසු තැන් කතා කරමු. ඒවා මේ කාලයේ උන්දැලාට අත් විදින්න නැහැ කියලා අපේ කාලේ ඈයෝ කිඹුල් කඳුළු හෙලන්ට කාරි නෑ. අපේ කාලේ ඕවා තිබ්බේ නැහැ කියලා මේ කාලේ උන්දැලාට ඔරවන්ටත් කාරි නෑ. වෙනස් වීම තේරුම් අරන් ජීවිතයට මුහුණ දෙමු.

මා බාල කාලේ. . [එකදහස් නවසිය අනූ ගනන් වල ;) ]
අයන්න අල්මයන්න මායන්න අම්මා කියල අකුරු අමුනන කාලෙ ඉදල අපි දැක්ක,අපේ යටි හිතේ නොමැකෙන ලෙස තැම්පත් උන, ආයෙ ආයෙ ආසාවෙන් ආදරෙන් මතක් කරන්න කැමති, ඒ සුන්දර මතකයන් අතර ඇති රසමුසු දෑ අතරින් මසිතේ තවමත් රැදී ඇති රූපවාහිනී වැඩසටහන් කීපයක් ගැනයි මේ මුලින්ම මතකය ආවර්ජනය කරන්න හිතුවේ.

මේ වැඩසටහන් ජීවිතයට කොච්චර සමීප වුණාද කියනවා නම් අදටත් අහම්බෙන් ඇහෙන මේවායේ තේමා පාඨයකට පුලුවන් අතීත සුවඳ හාරාවුස්සලා දෑස් තෙත් කරන්න පවා!

💠 ටයි මාමාගේ තේමා ගීතය.


දැන් මේ වැඩසටහන,මේ වෙලාවට මේක' කියලා වත් කියන්න දැනුමක් නැති තරම් බාල කාලෙ.ඒත්.. රූපවාහිනිය දිහා බලන් ඉද්දි එක පාරටම ටයි මාමගෙ මේ රූපෙ යද්දි හිතට දැනුන සතුට!

💠 ඔශින්.


වයස් බේදයකින් තොරව කොයි කවුරුත් බොහොම ආසාවෙන් රසවිදපු කතාවක් තමයි මේ.

"ඔශින්.. ඔශින්... ඔශින් ... ඔශින්... පලමු වන හා දෙවන ලෝක සංග්‍රාමයන්  දෙක අතර තුර කාලයෙහි... ජපානයේ සිදුවූ සමාජ ආර්ථික සංස්කෘතික පරිවර්තන .. ඔශින් වෘතාන්තය පි‍ටුපසින් දිවෙයි...  ආදියේ සිට සිරිලක හා ජපානය අතර....... සමසංස්කෘතික සබැඳියාවෙන්... ජපානයේ එන් එච් කේ ආයතනය.. මේ සිංහල දෙබසින් තවද රසවත් වූ ඔශින්... ඔබ සැමගේ පහන් සංවේගය උදෙසා ... මෙසේ.... පිරිනැමෙන වගයි..."

මම කියන්නෙ නැහැ අද විකාශනය වෙන කාටූන් බහුතරයක් අරුත්සුන් වලියට බර හරිම කලබලකාරී කාටූන් කියලාම. ;) ඒත් මා බාල කාලයේ නම් ටයි මාමා ළමයින් වෙනුවෙන් හරි අපූරු කාටූන් පෙලක් තෝරාගෙන තිබුණා.

💠 පිස්සු පූසා.


සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්
අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මු..
පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු..//


💠 දොස්තර හොද හිත.


මුහුඳ මගේ ගොඩබිමයි..
නැව මගෙ නිවසට සමයි..
සියළු සතුන් මගෙ තමයි..
දොස්තර හොද හිත මමයි..


දොස්තර සත්තු එක්ක කතා කරන රහස දැනගන්න පේවී සිටින දිය රකුස් ඇතුලු කන්ඩායම.
රූප රාමුවක් දුටුවත් මේ චරිත එක එකකගේ කටහඩ බොහොම පැහැදිලිව හදවතේ දෝංකාර දෙන තරමට මේ සියලු කතා හදවතේ රැදී තියනවා.


💠 වලස් මාමා.


මාමා වලස් මාමා..
නැන්දා වලස් නැන්දා..
කවුරුද කවුරුද රන්ඩු කරන්නේ..
නැන්දයි මාමයි රන්ඩු කරන්නේ..


💠 හා හා හරි හාවා.

හා හා හරි හාවා‍..
කැලේ මැදින් ආවා..
හිටගෙන ගඟ ගාවා..
වටපිට ඇහැ ලෑවා..


💠 ටින් ටින් ගේ වීරක්‍රියා.


ටින් ටින්,ස්නෝවී, කැප්ටන් හැඩොක්, මහාචාර්‍ය කැල්කියුලස්,තොම්ප්සන් සහ තොම්සන්, බියන්කා කැස්ටෆියුරි. මතකද මේ චරිත පෙල. ජාතික රූපවාහිනියේ වගේම පසුකලෙක සිරස රූපවාහිනියෙත් ටින් ටින් විකාශනය වුණා.

සෝරෝ, ඉඟුරු පාන් මල්ලී, වගේ එකී මෙකී නොකී කාටූන් පෙලක් අපි රසවින්දා. 

💠 සුරඟන කතා කරලිය.

  ⚫ ගෙඹි කුමාරයා.


සැනසෙයි මා මිතුරෙක් දැන්..
ප්‍රේමෙ විනෝදේ පාලා..
කුමරිය මාගේ මිතුරී..
මැඩියා ඔබේමයි රැජිණියේ..

නෙළුම් පතින් ආ ආලය මෝරා..
මට පෙම් බැන්දා මගෙ පෙම් සුදා..
මැඩියා ඔබේ මයි ප්‍රේම විනෝදේ පාලා..
ලිං ගැට්ටේ අපි ප්‍රේම කරන්නේ..



⚫හිම කුමරිය.
     

⚫ ජැක් සහ මායා බෝංචි වැල.


ඇලඩින්ගේ පුදුම පහණ, සුරූපී සහ විරූපී, ගිණිකූරු කෙල්ල වැනි සුරඟන කතා බොහොමයකද ඒ අතර වේ.

💠 රොබින්සන් අන්දරය.


සයුරේ..
ජීවිත නැව පෙරලී..
මුතු සොයනා අය කොහිදෝ..
පන නල පාගා...

ආයේ ආයේ ඇසුවත් අඩුවක් නැති ඒ තේමා ගීතයේ මිහිර වගේමයි බාල කාලයේ අප පෙම් බැදි ඒ චරිත. ක්‍රිස්ටිනා සහ සිය මිතුරන් බිලී, හෙන්ඩ්‍රියාටා, බානබස්,බෲනෝ, රොබින්සන්, එලිසබෙත්,අර්න්ස්ට්, ජොආනා, මිස් චෙං පාසන්, බෙන් මේ චරිත වටා ගෙතුන අපූරු කතාව බලන්න අපි කොතරම් ආසාවෙන් මඟ බලන් හිටියද ඒ කාලේ.


පන් පසිදුවන්, බෲම් ඇතුලු සිංහල හඩකැවූ නාට්‍ය රැසක් ඒ අතර තිබුණා


💠 සිංහල ටෙලි නාට්‍ය.

දූ දරුවෝ වගේ කොටස් 230 කින් පමණ සමන්විත වූ දැවැන්ත නාට්‍ය හැරුනකොට එකල විකාශය වූ බොහෝ නාට්‍ය කොටස් 20 කින් 30 කින් පමණ සමන්විත වුණා. ජාතික රූපවාහිණියේ රාත්‍රී 8 ප්‍රවෘර්ති විකාශයෙන් අනතුරුව දිනකට එක බැගින් නාට්‍ය හතක් රාත්‍රී 8.30 සිට 9.00 දක්වා විකාශනය වුණා. 


මේවැනි තේමා වාදනයන්ගෙන් ආරම්භවන නාට්‍යක් නම් ඒවා බොහොම රසවත් බව අප නාට්‍ය ආරම්භයේදීම දැන සිටියා.

අදටත් මේ වාදනය ඇසෙන විට හිතට දැනෙනවා ඒ වචනයෙන් විස්තර කල නොහැකි අතීත මිහිර. 

💠 වෙළඳ දැන්වීම්.

⚫ නාට්‍ය අතරතුර විකාශය වූ වෙළඳ දැන්වීම් අතරේ හේතුවක් කිව නොහැකි නමුත් මා පළමුව සදහන් කරන්නේ මේ  හොරණ සුගත රසායනාගාරයේ වෙළඳ දැන්වීම.

ඇලි මැලි කම් දුරු කරවන
වැයවන සිරුරට පන දෙන
ලඳුනගෙ ඇති රුව රැක දෙන
හෙල ඔසුවකි සුවෙන් සූ....
සුවෙන් සිටීමට සුවෙන් සූ

⚫ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වෙළඳ දැන්වීම.

සතෙන් සතේ..
රුපියලෙන් රුපියල..
එකතු කරලා..
එකතු කරලා..

⚫ අලියා බීම වෙළඳ දැන්වීම.

මිහිරෙන්.. මතකයේ ඇදේ..
ඒ රසේ.. රැදේ මා සිතේ..
සොදූරු මතක සිත පිරේ..

⚫සෙලාන් බැංකුවේ මුදල් හුවමාරු වෙළඳ දැන්වීම.

"ඔක්කොම හරිනෙ? "

"මුද්ද ඔයා ලඟනෙ?"

"ඔවු මං ගාව."

"ආහ්?"
("යං වෙලාව හරි")

"මොනව හරි කරන්න ඉක්මනට."

"ආහ් ලන්ඩන් වල ඇල්බට් අංකල්!"

⚫ ක්ලෝගාර්ඩ් වෙළඳ දැන්වීම.

"බබා.. තේ එක රසද?"

"ඒ වගේ තේ එකක් නම් මම කවදාවත් බීලා නෑ"

"ඇත්තද..? මමත් මීට කලින් කවදාවත් තේ හදලා නෑ"

මේ වගේ රසවත් වෙළඳ දැන්වීම රැසක් ඒ කාලේ රූපවාහිණියෙන් විකාශනය වුණා.

මතක ආවර්ජනය කරන අතර තුරේ වචනයෙන් විස්තර කල නොහැකි කියන වාක්‍ය කීප සැරයක්ම යොදන්න වුණ නිසා මම ටිකක් උත්සාහා කලා මේ වචනයෙන් කියන්න බැරි හැගීම වචනයෙන් කියන්න. ඒ අසාර්ථක උත්සාහයෙන් පස්සේ ආයෙත් ඒ වාක්‍යම යොදන්න මට සිද්ද වුණා. අනූව දශකයේ මේ සමහර නාට්‍ය, සංගීත කන්ඩ, ගීත මට අම්මගේ බඩේදීම ඇහෙන්න ඇති කියලා වෙලාවකට හිතෙන්නේ ඒ තරම්ම ඒවා හද ගැස්මේ රිද්මයට බලපෑම් කරන නිසා.

මට වගේම ඔයාලාටත් ඇති මේ වගේ මතක.
බාල කාලයේ අහපු දැකපු මතක ආයෙත් ඇහෙද්දී දකිද්දී ඔයාලටත් එහෙම දැනෙනවද? 

11 comments:

Kalana said...

බොහොම ස්තුතී ඒ ලස්සන අතීතය නැවත මතක් කරපු එකට . ටින් ටින් , මායා භන්දන i , ii , පන් පසිදුවන් , සුරඟන කතා කරලිය ,දොස්තර හොද හිත,පිස්සු පූසා. වගේ කථා ,සහ කාටූන් කවදාවත් අමතක වෙන්නේ නෑ . ඉස්සර මොන වැඩේ තිබ්බත් වෙලාවට ටීවී එක ඉස්සරහට එන්නේ ඒවාට අපේ පුංචි හිත වල තිබ්බ ආදරය නිසාමයි . ඒවගේම 96 ක්‍රිකට් වල්ඩ් කප් එක අපේ රට දිනාගද්දි මම 5 ද කොහෙද . ඒ කාලේ ටීවී එකේ යන මැච් එහෙමත් කොහොමාරී බලනවා .

තව පුංචි දෙයක් කියන්න ඕනේ ඔයාට ,

ඇත්තටම බ්ලොග් කියන්නේ මෙන්න මේකට තමයි . එකම රාමුවක කොටු වෙන්නේ නැතුව විවිධ පැතිකඩ ඔස්සේ ලියන එකට. ඉදිරියටත් මේ වගේ අලුත් දේවල් ලියමු .

ලිඛිතා said...

තාරාවියගේ කතා

Thattayagekolama said...

ජෝන් ලොගී බෙයාර්ඩ් ගේ සම කාලීනයන් හැටියට; අපේ බාල කාලෙ ටෙලිවිශන් කියලා එකක් තිබුනේ නෑ. සෝවියට් ලමා කතා වල සමහර තැන් වල ටෙලිවිශනයක් දිය සායම් වලින් අඳලා තිබුනා නම් මතකයි. ඒකාලේ "සෝවියට් දෙශය" කියලා සඟරාවක් තිබුනා. ආන්න ඒකෙත් මේ යන්තරේ ගැන ලියලා කියලා පෙන්නලා තිබුනා.

අපෙ අයියා නැවතිලා හිටියා පංතියන්න කොල්ලුපිටියේ කාමරයක. දවසක් මම එයාව බලන්න ගියා. එයා රෑ 7.00 ට විතර මගෙන් ඇහුවා "ටෙලිවිශන්" බලන්න යමුද කියලා. මාත් "හා" ගෑවාම මාව එක්කගෙන ගියා කොල්ලුපිටියෙ ගාලු පාර අයිනෙ තිබුනු ටෙලිවිශන් විකුණන්න තිබුණු ප්‍රදර්ශණාගාරයක් ලඟට. එතන බොහෝ පිරිසක්. ඒත් සාප්පුවේ වීදුරුවට ඇතුලින් මේ රූප පෙට්ටිය තිබුනේ අඩි ගානක් උඩින්. ඒ නිසාම කාටත් ඒක පෙණුනා.

මට මතකයට නංවා ගැනීමට නොහැකියි එදා මොනවා දැක්කා දැයි කියා!? ඒත් කලු සුදු යමක් බව පමණක් තවම මතකය.

මා පාසැල් යන අවදියේ රූපවාහිනියේ (ටෙලිවිශනයේ) විකාශනය වුනු වැඩසටහන් අතුරින් Six Million Dollar Man, Bionic Women, Starskey and Hutch, Incredible Hulk, Saint, Green Hornet, Kung Fu, A Teamවගේ ඒවාට තිබුනේ ලොකු ඉල්ලුමක්. ටයි මහත්තයාගේ කතා වලින් මගේ හිත ගියේ සිටුවර මොන්තක්‍රිස්තො කතාවට. අත්තටම ඒ ළමා කාලයේදී නම නොවේ. පහු කාලයකදී බලලා (පූසා නොවේ).

තිළිණි said...

බොහොම ස්තූතියි අයියා.
මට මඟ හැරුණ කතා ගොඩක් මතක් කරලා.
ඇත්තටම ඒවාට අපි මොනතරම් ආදරේ කරලාද කියලා හිතෙන්නේ ඒවා ආයෙ දකිද්දී. මම නම් තවම ආසයි ඉඩක් ලැබෙන වෙලාවට ඕවා බලන්න. :D

තිළිණි said...

ස්තූතියි ලිඛිතා මේ පැත්තට ගොඩ වුණාට.
'තාරාවියගේ කතා' කිවුවේ කාටූන් එකක්ද? මගේ මතකයේ නොතිබුණ නිසා සෙවුමක් කලත් හමුවුනේ නෑ ඒ ගැන. ඔයාට පුළුවන්ද ඒ ගැන කියන්න?

ලිඛිතා said...

Mother Goose Stories - The Jim Henson Company

https://www.youtube.com/watch?v=kFdyvj3y_ek

Unknown said...

මෙන්න මේකේ තියනව ඔයා ලස්සනම මතක HD වලින්ම බලන්න..
https://www.youtube.com/channel/UCjtH6yqneSv0e_4rk32KCsw/

තිළිණි said...

මුලින්ම සමාව කල්ගිය පිළිතුරට 🙏
හරි ලස්සනයි අහන් ඉන්න ඒ අත්දැකීම්. "ටෙලිවිශන්" ගැන ඔබේ බාල කාලයේ ඔය අත්දැකීම කියවද්දී මට මතක් වුණා "ටෙලිෆෝනය" මගේ බාල කාලයේ අත්දැකීම් අතර පරිනාමය වුණ හැටි.
💚💚

තිළිණි said...

හරිම ලස්සන එකතුවක්.! ස්තූතියි පනිවුඩයට!

නමියගෙ වීදිය said...

spell binder.
ඒ කාලේ ඉතීම් අනේ සුන්දරයි සරලයි ලාස්සනයි....

තිළිණි said...

ස්තූතියි නමී. හැබෑටම මං මේ ඒ කාලේ සුන්දර මතක අවුස්සන්නේ.. මේ කාලේ සංකීර්ණ අවුල් වියවුල් අමතක කරලා හිත ආයෙත් ටිකක් සැහැල්ලු කරගන්න පුලුවන්නේ.නැද්ද මං කියන්නෙ?