Tuesday 28 May 2019

මගේ නිවන මගේ පැල්පතයි.

දුම්බර මිටියාවතට තවත් උදෑසනක් උදාවෙලා.උදා හිරු කිරණ මීදුම් වලා අතරින් පෙනෙන තෙක් මානෙ ඇති  ගොයමට වැටිලා. පිනි බිංදු මුතු කැට මෙන් දිළෙයි .සුමනා ලිප මොලවන හඩින් අවදි වූ සියදෝරිස් වතුර පොල් කටුවද රැගෙන මිදුලට බැස්සා.

"පින්න සැරයි මයෙ දුවේ. මීදුම ටිකක් තුනී වෙනකල් හිටින්. "

අනුලා පාන්දරින්ම
මල් පැල නහවනවා දුටු සියදෝරිස් පැවසුවා.
මලක් මෙන් සොදුරු පියකරු සුයදෝරිස්ගේ එකම දියනිය අනුලාගේ දිනය ඇරබෙන්නේ ඇගේ අතින් හැඩවූ ගෙමිදුලේ ගස් වැල් මල් සමඟ කෙරෙන කුටු කුටුවෙන් අනතුරුව බව ඔහු දනී.

"බලන්ටකො අප්පච්චි මෙදා සැරේ මගේ දාස්පෙතියා පාත්තයෙයි සූරිය කාන්ත පාත්තියෙයි තරගෙට මල් පිපිලා."

පාන්දර ජාමේ හඩලන කෑරල හඩින් හිරුටත් කලින් අවදිවී මිදුල දෙපස එක සීරුවට වවා ඇති උදුපියලිය පලසට වැටී ඇති පින්නේ දෙපා දොවන්න අනුලා වඩාත් ආසා කලා. මීදුම අතරින් වැටෙන පළමු හිරු කිරනේ නැවුම් සුවද නැහැ පුඩු සීතල වෙනකල් සිබින්න ඇය ආසා කලා.

"අම්මගේ අත්ගුනේ බොලාටත් නැතුවායෑ."

කුස්සියේ උන් සුමනා මහත් ආඩම්බරයෙන් අප්පක්චිගේත් දෝණිඇන්දාගේත් කතාවට එකතු වුණා.

"මයේ මොන අත් ගුනේද.. මේ රත්තරන් පොලවේ දර ලීයටත් පණ එනවා අපේ මහත්තයෝ."

සිය සැමියාගේ වර්ණනාවෙන් උඩගු නොවීමට මෙන් සුමනා පැවසුවා.

"කෝ මේ සේපාල"

උදෑසන තවමත් සාමකාමී වීමට හේතුව සිහිවුනාක් මෙන් හදිසියේ සියදෝරිස් විපරම් කලා.

"බෙලෙක්කේ සද්දෙ ඇහෙනකල් ඉහෙන් කනින් පොරවන් ඇති. නැගිටලා මූණ කට හෝදනකල් තේ කහට වක් කොරන් නෑ ඕකාට මං අද."

"අම්මේ... තේක වැක්කෙරුවද..? "

සුමනාගේ අත්දැකීම් සාත්තරය නිවරදි බව ඔප්පු කරමින් සේපාල අවදි වුණා.

"ආ පුංචි හාමු පැටියා හිටින්ට මම විස්කෝතුත් එක්ක බන්දේසියට ඇරන් එනකල්."

"වූ තාම පොඩි එකා මැණිකේ.."

"අප්පච්චිගේ හුරතලේ හින්දා තමා මූ කම්මැලි වෙන්නෙ. "

"කරදඩු උස් මහත් උණාම උං අපි එක්ක හුරතල් වෙන්ට එන්නෙ නෑ මයෙ මැණිකේ. ඔය දැන් කොරන තරමක් තමා. "

සුමනාගේ දෑත දෝණි ඇන්දාට නොපෙනෙන්ට පිරිමැද සියදෝරිස් හකුරු කෑල්ල සමඟ තේ කෝප්පය සුමනා අතින් ගනිමින් පැවසුවා.

විවාහ වී වසර අහ අටක් විස්සක් ගෙවී ගියද සියදෝරිස්ගේ සෙනෙහස සුමනාට උදයට පායන හිරු මෙන් හැම දිනකම නැවුම්ව දැනුණා.

සියදෝරිස් කුඹුරට යන්ට කලියෙන් දිය බත සාදා පොල් සම්බෝලයක් ගලේ අඹරා ගත්  සුමනා ඉයේ පොලෙන් ගෙනා අලුත් කට්ටා කරවල කෑල්ලෙන් හොද්දක් ඒදන්ට කඩිසර වුණා. තක්කාලි යහමින් දමා රම්පේ කරපිංචා බැදපු පහේ එක්ක හොද්ද පිසෙන විට එන සුවද නිවැසියන්ට කුසගිනි වඩන බෙහෙතක් වැනිය.

"දුවේ.. මයෙ අම්මා විගහින් ගොහින් කවලං මැල්ලුමට කොල මිටක් කඩන් වරෙන්"

උණු පිට කැකුළු හාලේ බතට ගලේ අඹරා ගත් පොල් සම්බෝලයත් කට්ටා කරවල හොද්දත් කවලං මැල්ලුමත් එක්කාසු වුණ විට වෙන මක්කෙයි.

"අප්පච්චී කුඹුරට යන්ටෙයි? මාත් එනවා අද අප්පච්චී එක්ක."

ඊයේ පෙරේදා කොට කලිසම් කෑල්ලෙන් සරම් පොඩ්ඩට වැටුන දඟකාර හුරතල් කොලුපැටියා කන් කෙදිරි ගාමින් සියදෝරිස්ගේ පස්සෙන් වැටුණා

"හ්ම්ම් යමං එහෙනම්. දුවේ.. ඔය ලබු කැටේට  විගහින් වතුර එකක් පුරවන් වරෙන්."

"ආ මේං අප්පච්චි.
ඉදා..මල්ලි මේ කොහෙ යන්ටද අප්පච්චි පස්සෙන් වැටිලා ඉන්නෙ."

අනුලා සරදමට මෙන් විමසුවා.

"මාත් යනෝ කුඹුරට. අප්පච්චී මට අද අරක හදලා දෙනවා නේද?"

"සෙල්ලම් කරන්ටයැ කුඹුරට යන්නෙ.. මූට උදැල්ලක් හදවලා දෙන්ට අප්පච්චී හෙට ඉදන් කුඹුරට එයිද බලන්ට."

"හා හා උබලා මෙතන කෙහෙවලු පටලවාගන්නේ නැතුව දෙන්නත් එක්කම වරෙල්ලා. අද අපි පබයෙක් හදලා හිටවමු. ගිරවු ටික දැන්ම ලෑස්තිවෙයි නැත්තන්."

තවත් පුවක් හුනු දුන්කොල යහමින් මැදි වූ බුලත් කොලයක් නවා කටේ ඔබා ගත් සියදෝරිස් උදැල්ල කරේ තබා ගනිමින් පැවසුවා.

"මල්ලිගේ සරමකුයි කමිසෙකුයි ගන්ටද අප්පච්චී පබයට.."

කෝපයට පත් සේපාල වැලේ වනා තිබූ අනුලාගේ ගවුමක් ගෙන ගේ වටේ දුවමින් අනුලාට සරදම් කරන අතරේ
දෙමහල්ලෝ දරු දෙදෙනාගේ කෙලි කවට බලා සිනාසෙයි.

"අප්පච්චිලා පුතාලා යන්ටකෝ එහෙනම් මම ඉර මුදුන් වෙන්ට කලියෙන් තේ ඩිංගිත්තක් හදාන එන්නම්."

"අම්මේ මට ලැවරියා හදා ඕනෙ අද නම්"

"හරි හරි උඹ හරියට මහන්සි වෙනවා නොවැ.. මං හදන් එන්නම්කෝ පුංචි මහත්තයෝ"

පොඩි දුවගේ සිනා වැළයි                          පොඩි පුතුගේ කතා පෙළයි
ප්‍රිය බිරිදගේ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි..

"අප්පොච්චී.. මේ බලන්ටකෝ..."

කෙලීගේ බෙරිහන් දීම නිසා කලබල වූ සියදෝරිස් වහා දිව ආවා.

"මං බය වෙච්ච තරමක්. උබලෑ අම්මගේ හපන්කන් වලට දැන් දැන් මට පුදුම හිතෙන්නෙත් නැති ගානයි දුවේ."

සියදෝරිස් හා දරු දෙදෙනා කුඹුරට ගිය අතරේ නිවසේ තනි වූ සුමනා පෙරදා හවස පිල්ලෑවේ ඇල ඉවුරේ හුබහෙන් කපාගෙන ආ හුඹස් මැටි ගොම හා අනා මුළු නිවසම මැටි පිරියම් කොට තිබුණා.

අල්පේච්ච ජීවිතයක් ගෙවූ සියදෝරිස්ගේ නිවසේ තිබූ ගැණිය හැකි බඩු මුට්ටු කීපය නිවසේ ඉතා පිළිවෙලට තබා තිබුණා. ගොම හා මැටි ඇතිරූ බිම ඇලවෙන පමාවට ඇහැ පියවෙන සිසිලක් රැදී තිබුනා.

වහලයේ පොල් අතු අතරින් විත් ගෙබිමට වැටෙන එළි බෝල අතින් මුවා කරමින්  කොලු පැටියා කරන සෙල්ලම දෙස සියදෝරිස් මොහොතක් බලා සිටියා.

කටුමැටි ගෑ බිත්ති පුරා
පළිගු මැණික් එළිය දිළෙයි
ගොම මැටි ගෑ ගෙබිම මගේ
පියවිලි බුමුතුරුණු වගේ

"මැණිකේ... මං කඩමන්ඩියට ගොහින් කලමනා ටිකක් කාරිය අරන් එන්නං."

"පොලෙනුත් ගෙනාවා නොවැ. සුනංගු නොවී එන්ට ඕනෙ ඕං. තිවුනොත් සක්කර ටිකක් ඇන්න එන්ට තේ බොන්ට."

එසේ කිවුවත් සියදෝරිස් කඩමන්ඩියට යන්නේ ඇයිදැයි ඈ දනී. ඈ දන්නා වග සියදෝරිස්ද දනී.

සියදෝරිස් නිවසට ඒමට පෙර සුමනා කෑම පිස අවසන් කලා.
සේපාල ඇදිරි වටෙන විටම කා බී නින්දට වැටෙයි.

"අප්පොච්චා තාම නැහැනොවැ දුවේ."

සුමනාගේ නොයිවසිල්ල හා බිය  කෙමෙන් කෙමෙන් වැඩි වෙයි.

"මෙලහකටත් එනවා ඇති. මට නිදිමතයි අම්මේ කමුකෝ.."

"කාලා නිදාගන්න මයෙ දුවේ. අප්පොච්චා ආවම මං කන්නම්."

ඉද හිට උදාවෙන මෙවන් දිනක හැරුනුකොට අන් දිනවල වේලාසන කාබී අවසන් වී හෝරාවක් දෙකක් පොඩි වුන්ගේ පාඩම් වැඩ නිමවෙන තෙක් සියල්ලෝම දොඩමළු වෙයි.
හෝරා කීපයක් ගෙවී ගියා. බල්ලන්ගේ උඩු බිරීමත් රාත්‍රී නිහඩ බවත් ඇයගේ බිය තවත් වැඩි කලා.

"මැණිකේ... ම..ගෙ මැණි..කේ.. "

"හප්පොච්චියේ මං බයවෙච්ච තරමක්.. කොහෙද දෙයියො මෙච්චර වෙලා ගොහින් උන්නේ."

"මේ..න්න මයෙ මැණිකෙට රෙදි කෑල්ලක්. බලන්ට ලස්සනද කියලා. මයෙ මැණිකේ මට තාමත් පේන්නේ එදා බුලත් හෙප්පුව අරං.. ඇඹරි ඇඹරී ආව පුංචි දැරිවි වගේ නොවැ"

"ඇයි අපෙ මහත්තයෝ මේ.. මට මේ කරන කරුණාවම ඇති අපේ මහත්තයට නිවන් යන්ට."

"කාලෙකින් මයෙ මැණිකෙට රෙදි කෑල්ලක් අරන් දෙට බැරි වුණා. සිංහල අවුරුදුත් ලඟ එනවා නොවැ. මේකෙන් දෝණිට ගවුමක් මහලා දෙන්ට. මේක මගෙ කොලු පැටියට."

"අනේ අපෙ මහත්තයට පිං. උං දෙන්නට හෙට තමා අවුරුදු."

"වී මිල හොදටම බැහැලා මැණිකේ. මේ අවුරුද්ද ටිකක් පිරිමහ ගන්ට වෙයි."

"අපි තිබුණා නැතා කියලා නෑ නොවැ මහත්තයෝ.. පිරිමහලා නේන්නං ජීවත් වුනේ.
අවුරුද්දම කන්ට හරි මේ බිමේ අපි වවලා තියන හරිය මදෑ."

"මොන නියං සාය ආවත් කුඹුක් උල්පතේ වතුර හිදෙනේකක් නෑ මැණිකේ.. ඒක තමා අපේ ඉඩමේ තියන ඉල්ලම."

"හා හා දැන් ඔය මදෑ. යමු බත් ඩිංගිත්තක් කාලා ඉන්ට"

"යමු මැණිකේ.. මයෙ මැණිකෙගෙ අතින් බත් කටක් කන්ට හිතේ අද මට."

"මොකෑ මේ පොඩි දරුවෙක් වගේ අපෙ මහත්තයා.
හහ් හහ් ඔය බලාන වැටෙයි.
සේතංගේ කිතුල සරුයි වගේ."

සරුයි මැණිකේ සරුයි.. මැණිකෙගේ සිරියාවන්ත හිනාවයි මේ දරු දෙන්නගේ මූණු පොඩියි බලාන ඉදලා ගොහින් මට මේ  කුඹුරු යායම තනියෙං අස්වැද්දුවෑකි අම්මපා මයෙ මැණිකේ.. "

"නිකං ඉන්ට අපේ මහත්තයා.. දරුවොන්ටත් ඇහෙයි. නාකි කෝලං. හිටින්ට මං බත් බෙදාන එනකල්."

නොක්කාඩු මූනක් පෙන්වා සුමනා සියදෝරිස්ගේ ග්‍රහනයෙන් අකමැත්තෙන් මිදුනා.

ලබන නමුත් දුක් පීඩා
කූඩු වුනොත් පුංචි පැලේ
අඹු දරුවන් අතරතුරේ
මට නිම්නැති සුවය ගෙනේ..

පොඩි දුවගේ සිනා වැළයි                          පොඩි පුතුගේ කතා පෙළයි
ප්‍රිය බිරිදගේ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි..

ගායනය: සෝමතිලක ජයමහ
පදරචනය: සුනිල් ආරියරත්න
සංගීතය: රෝහණ වීරසිංහ




6 comments:

Kalana said...

හරිම ලස්සනට ලියල තියෙනවා . ඒ පුංචි පවුල ඇතුලට මමත් ගියා වගේ දැනුණා . හරිම අගෙයි !

දිගටම ලියන්න . ඔයා ලියන විදිය තාත්විකයි !

තිළිණි said...

මේ වෙහෙසකර දවසක් අවසානයේ හිතේ ඇදිච්ච හීන ජීවිතයක්. ^_^ තාත්වික බවක් දැනෙන්නේ කතාවේ ජීවත් වෙන ගමන් ලියුව නිසා වෙන්න ඇති නේද. බොහොම ස්තූතියි...

Kalana said...

ඔව් ඇත්තෙන්ම . ඔයා කොහොමත් ලියද්දී ඒ ලෝකයට ගිහිලා ඒ තුල ඉදගෙන තමයි ලියන්නේ . හරිම අව්යාජ ලියවිල්ලක් .

වෙහෙස කර දිනයක් අවසානයේ මෙහෙම ලියන එකත් කොච්චර දෙයක් ද .

හැමදාම ලියන්න ඔයාටහැකියාව ලැබේවා කියලත් ඔන්න මම ප්‍රාර්තනා එකතු කරනවා .

තිළිණි said...

බොහොම ස්තූතියි...

කිඹුලී said...

තිලිණි ඔයාගේ භාෂාව හැසුරුම හරි ඉහල තැනක තියෙනවා දිගටම ලියන්න...ලියද්දී ලියද්දී හැකියාව තව පොලිෂ් වෙනවා....ඒකට ලොකුම උදාහරණයක් මම...මගේ මුල් කාලේ ලිපි බැලුවොත් දෙකේ පන්තියේ පොඩි එකෙක් වගේ....ලියන්න ලියන්න හැමදේම හදා ගන්න පුළුවන්

තිළිණි said...

ඔවු ඒක ඇත්ත.ඇත්තටම මම ලියවිල්ලට උපන් හපන්කම් තිබුණ කෙනෙක් නෙවේ. මට ඕනෙ වුනේ වෙහෙසකර මනස නිවාගන්න ක්‍රමයක්. මුල් කාලයේ කලේ මගේ හිතට එන සිතුවිලි අමු අමුවේම කොලවල පොත් වල ලියපු එක.නවකතා කෙටිකතා පොත් ටිකක් කියවලා තිබුණ හුරුව හැරෙන්න භාෂාව,ව්‍යාකරන, අක්ශර වින්‍යායසය ගැන නම් හිතුවෙම නැති තරම්.පස්සෙ අහම්බෙන් ලස්සන බ්ලොග් කීපයක් කියවන්න ලැබුණා. දිගටම බ්ලොග් කියවද්දී මටත් ආසා හිතුනා බ්ලොග් එකක් අටවාගන්න.අටම්පහුරේ ලිපි බොහොමයක් මගේ බ්ලොග් පිටුව හදාගන්න උදවු වුණා. ටුවිටරයෙන් හමුවුන "හිතනලන්තයේ" කාන්චනා අමිලානි අක්කාගෙන් තමා අපේ බ්ලොග් පෝස්ට් හැමෝටම කියවන්න පුලුවන් වෙන්න සින්ඩි වලට ඇතුලත් කරන්න ඕනෙ කියලා පවා දැනගත්තේ :D .මමම ආයෙ ආයෙ කියව කියවා හුදකලාවේ ලියමින් හිටිය බ්ලොග් ලිපි කියවලා ප්‍රථිචාර දක්වපු පළමු බ්ලොග් මිතුරා තමයි කලණ අයියා (ආටියා).
දැන් නම් කිඹුලී ඇතුලු මිතුරන් දෙතුන් දෙනෙක්ම ඉන්නවා..
ඒ අයගේ බ්ලොග් ලිපි බොහොමයක් තියනවා කියවන්න. මගේ අභ්‍යාසය වගේම ඒ හැම අත්දැකීම් බහුල ලියවිල්ලක්ම මගේ හැකියාව පොලිශ් කරගන්න උදවු වේවි. බොහොම ස්තූතියි.. ☺️