Thursday 20 January 2022

ගතින් බැරිනම් හිතින් යමු!

 නිතරම ගිහින් එන්න, ටිකක් නතර වෙලා යන්න වැඩිපුරම ආසා කරන තැනක් ඔයාට තියනවද? ඔවු. "මැරෙන්න කලින් ගිහින් එන්න ඕනේ" කියලා කතාවට කියන, ගිහින් ආවම "දැන් සැනසිල්ලේ මැරෙන්න පුලුවන්" කියලා කතාවට කියන ආසා කරන තැන් අපි හැමෝටම තියනවා.මටත් තියනවා. 

ඒ තැනට හැබැහින් යන එක හීනයක් නම්.. ඒ හීනය සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න! ප්‍රාර්ථනාව සැබෑ වුණාම ගතින් යනකල් හිතින් ගිහින් එමු. අද කාලේ හිතෙන් ගමන් යන එක තමා ලේසිම! මුලින්ම ඇස් දෙක පියගන්න.දැන් අවශ්‍ය තැනට හිතට යන්න දෙන්න. සරලයි. හුඳකලාව විතරයි අවශ්‍ය.

හිත කියන්නේ කාල යන්ත්‍රයක්. අතීතයේ ගත කල සොඳුරු හෝරාවක් වුණත් ඒ විදිහට ආයෙත් විඳලා එන්න අපිට පුලුවන්. අනේ මෙතනට යන්න තිබුණා නම් කියලා ලස්සන ජායාරූපයක් දැක්කම අපිට හිතෙන්න පුලුවන්. ඒ වගේ ජායාරූපයක් දිහා බලාන අපිට පුලුවන් ඒ ජායාරූපයේ ජීවත් වෙන්න. ඇස් දෙකෙන් දකින සුන්දරත්වය හදවතින් විදින ගමන් එතැන මොහොතක් සමවැදෙන්න හිතට පුලුවන්. :D

එක පසකින් හුන්නස්ගිරි කඳු වැටිය. අනෙක් පසින් නකල්ස් කඳු වැටිය.එක් කඳු වැටියකින් එපිට මාතලේ නගරය. දැවැන්ත කඳු වැටි අතරේ මෑත පුංචි කඳු ගැටයේ පිහිටි මගේ නිවසත් කඳු පාමුල වෙල් යායට යාන්තමට දිස්වෙයි. වෙල් යායේ එක කෙලවරකින් සුදු ගඟ ගලා බසී. සුදු ගඟේ සැඩ ජල පහරේ හෝ ශබ්දය වෙල් යායේ මෙහා කෙලවරටම ඇසෙයි. ඇල්කඩුව කඳු මුඳුනේ සිට ගලා එන ඇල මාර්ගය වෙල් යායේ අනෙක් පසින් සුදු ගඟ බලා ගලා බසී. ඇල අයිනේ ඇති වසර ගණනාවක් පැරණි රූස්ස සියඹලා ගහ වෙල් යාය තවත් සුන්දර කලා. අත්තම්මා කියාපු විදිහට මේ සියඹලා ගහ ගමේ හැමෝටම සියඹලා, සෙවන හා සුන්දරත්වය විතරක් නෙවේ ආරක්ශාවත් සපයා තිබෙනවා. ඔය ජේවීපී කලබල තිබුණ කාලේ ගමේ ඈයො කීප දෙනෙක් මේ ගස් බෙනේ ඇතුලේ හැංගිලා ජීවිතේත් බේරගෙන තියනවලු. ;)
වනාත දිහාවෙන් ඇහෙන කුරුළු ගීතත් රැහැයි ගීතත් කන් පුරයි. වනාතේ ඇති ඇඹුල් පේරෙ, ජෑම් පේරෙ උගුරැස්ස වගේ ගඩා ගෙඩි රස බලන්නේ අපිට වඩා කුරුලු කිරිලියෝ.

ගොයම පීරාගෙන විත් ඇගේ හැපෙන සුළඟ සිහින් සීතලකින් ගත වෙලයි. බහින හිරු රතු පාටට වෙල් යායට වැටෙද්දී හැන්දෑව කොයි තරම් ලස්සනද කියලා මට හිතුනා. ඈත පේන කඳු පන්ති බහින හිරු එළියෙන් එක පාටින් පාට වෙලා.මට පේන මානය කඳු වටියෙන් කෙලවර වෙන නිල් පැහැ අහස් කුසේ තැන තැන රත් පැහැ වලාකුළු මවන සිතුවම දකින මගේ ජීවිතේ මොන තරම් සුන්දරදැයි මට සිතුනා. තැනින් තැන වල් නෙලන ගමේ ඈයින්. ඈතින් පිල්ලෑවේ එළවළු හා දොඩමළුවෙන සීයාත් වක්කඩ හා ඔට්ටු වෙමින් වතුර බදින අප්පච්චීගේත් ආරක්ශාව මෙගේ හිතේ නිදහස තවත් වැඩි කළා.

ඉර බැහැගෙන යන්න හෝරා තුන හතරකට කලියෙන් හැමදාම පොතකුත් අරන් වෙල් යාය පැත්තට යන්නේ.. මම මගේ ජීවිතේ වැඩිපුරම විදින්න ආසකරන සිසිලක් ඇත්නම්,විදින්න ආසකරන සුවදක් ඇත්නම්,දකින්න ආසකරන දසුනක් ඇත්නම්.. ඒ මගෙ අම්මයි,අප්පච්චි,
පන්සල් බිමයි ඇරුනම මේ වෙල් යාය නිසා. ඇල අයිනෙ රූස්ස සියබලා ගහ යටින් පොත තියල පිල්ලෑවට ගිහින් ගඩාගෙඩි ටිකකුත් කඩාගෙන ඇවිත් සියඹලා ගහ යටින් වාඩි වුණාම වෙල් යායෙ ඈත කෙලවරේ කදු අතරින් මුලු අහසම රත් පාටට ඉර බැහැගෙන යන හැටි හරි අපූරුවට බලාගතහකි.

ඇළේ වතුරට ඉර එලිය වටිල දිලිසෙන පාට පාට වීදුරු එලි සියබලා ගහට වැටෙද්දි හරිම අපූරුයි. බැහැගෙන යන ඉ‍ර එලියේ නෑවුනු ගොයම පීරගෙන වනාතෙන් එන සුළඟ මිදුලෙ සිමෙන්ති බංකුවට එන සුළඟට වඩා හරි සනීපයි.රංචු පිටින් පියාසර කරන කුරුළු රෑන්, සින්දු කියන කුරුලු කිරිලියො දිහා බලාගෙන ඉද්දි හිතට දැනෙන හැගීම මාලු ටැංකියේ එහෙට මෙහෙට කැරකෙන මාලු දිහා බලන් කොහොම විදින්නද.

සමහර දවසට හිටි හැටියේම ඒ නිල් පාට අහස රත් පාට කරන් යන්න හදන ඉර, පාවෙලා ආව ලොකූ කළු වලාවකින් වසා ගන්නවා.එතකොට මුළු පරිසරයම ඇස් කෙවෙන ගුප්ත කහ පාටකින් වැහිල යනව. ඒ ගුප්ත බව විදින්නත් මම හරි ආසයි. ටික ටික අහස අදුරු වෙද්දි පොතත් අරන් දුවන්නේ වෙල් යාය මැද හිටෝලා තියන පුංචු පැලට. කාගේ හරි කොරටුවකින් කඩා ගන්න පිපිඤ්ඤා ගෙඩි දෙක තුනකුත් ඇලෙන් සෝදගෙන තමා යන්නෙ. ලොකු වැහි කැට වේලුනු පොලවට වැටෙද්දි සීතල සුලගත් එක්ක එන නැවුම් සුවද ලොකූ හුස්මක් එක්ක අරන් පිට කලාම මට හිතෙන්නෙ.. ඇග ඇතුලෙ තියන විෂත් ඒත් එක්ක පිට වෙනව කියල. ඒ.. ඒ පරිසරය ඒ තරමට නැවුම් නිසා.

පැලේ ලී මැස්ස උඩ ඉදගෙන කකුල් දෙක පද්ද පද්ද පිපිඤ්ඤා කන ගමන් වැස්ස දිහා බලාගෙන, වැස්සට අහුවුන කුරුලු පැටවුන්ගෙ කෝලං දිහා බලාගෙන විදපු ඒ ආත්මීය ජීවිතේ මේ නගරෙත් මම හොයනව. පැලේ පොල් අතු අස්සෙන් බේරිලා ඇවිත් හිස්මුදුනට වැටෙන වතුර බින්දු වල ඇග කිලිපොලන සීතල, පොල් අතු වලින් රූරල  අග්ගිස්සෙන් බිමට වැටෙන වතුර කැට අල්ලමින් ලබපු සතුට වහලේ අගින් බේරෙන වතුර කැට අලපුවම මගේ අතට දැනෙන්නෙ නැති උනත්.. ඒ මතකයට ආයෙත් හිත දුවනවා. තාමත් පුරුද්දට වගේ වැස්සදාට පීල්ලෙන් බේරෙන වතුරට අත යන්නේ පුරුද්දට.

වෙල් යාය වැඩිපුරම ලස්සන ඉර බහින හවසටද ඉර පායන උදේටද? ඔයා වැඩිපුර ආදරේ අම්මටද අප්පච්චිටද කියලා අහන එක සාදාරණද? සීයා වෙලට යන්න පිටත් වෙන්නේ ඉර පායන්නත් කලියෙන්. ඒ වෙලාවට වෙලට ගියෝතින් මීදුම අතරින් වැටෙන ඉර එළිය ගොයමට වැටුනම ඇදෙන සිතුවම සිත්සේ දැකගතහැකි.වෙනදා පාන්දරට දැනෙන සීතලට  දත් ඇදි වැදෙන කිටි කිටි කිටිය  නත්තල් මාසය කිට්ටු වෙද්දී කි ටි ටි ටි ටි කි ටි ටි ටි ටි කිටි ටි ටි ටි ශබ්ධයට ගැහෙන තරමට සීතලක් එක්ක ඝන මීදුමක් අපිව වෙලාගන්නවා.මීදුම අතරින් සීතල විදින්න එකත් හරි සොදුරු ගැගුමක්. පින්නට තෙමුණ ගොයම අතින් අල්ලද්දී දැනෙන සීතල විදින්න මම පිං කරලා තිබුණා.

අඩුපාඩුවක් මොටද,හිමිදිරි උඳුවප් සීතල විදීම සම්පූර්ණ වෙන්න නම් අයිස් වගේ සීතල ඇලේ වතුරේ මොහොතක් දෙපා ඔබාගෙන ඉන්නත් ඕනෙ. කඳු අතරින් එඹෙන ලා හිරු රැස් වෙල් යායේ මීදුම අතරින් වැටෙද්දි පිණි කැට දිලිසෙන අපූරුව. හිරු රැස් වනාතේ රූස්ස ගහ කොළ අතරින්  බෙදී වැටෙන
විට ඉරී යන මිහිදුම් සේලය  අහසට ඇදී යන දසුන දෑස් වශී කරයි.

යන්න එනවද මාත් එක්ක ගමේ. හිතින් ගිහින් විදලා එන්න මේ සොඳුරු දසුන්.?



6 comments:

නමියගෙ වීදිය said...

සඳ ඉන්දුවරිත් මාර ලස්සන ගමකනේ ඉඳල තියෙන්නෙ.. කොන්ක්‍රීට් මෙහෙ වෙනුවට ස්වභාවික පරිසරේ සිරි විඳගන්න නම් කැමති උපරිමයෙන්.

තිළිණි said...

ඇත්තටම කාලෙකට ඉස්සර ඒක මාර ලස්සන ගමක්.ප්
ඒ ලස්සන ගමත් දැන් කාලයත් එක්ක ටිකක් වෙනස් වෙලා.
සීයා වගේම ඒ සමකාලීනයින් දැන් නැහැ. දැන් ඉන්න ගමේ උදවියගේ සිතුම් පැතුම් ආචාරධර්ම වෙනස් වෙලා. ඉස්සර තිබුණු ගමේ කම නම් දැන් අඩු වෙලා. ඉස්සර වෙල් යාය පුරාම දියේ මඩේ ඇවිද්දාට දැන් නම් ඒ යායට ආවේනික වෙච්ච මඩ සුවඳ පවා වෙනස් වෙලා. ගොයම් කපන කාලෙට ඉස්කෝලේ ඇරිලා ආව ගමන් දිවුව කමත, මී හරක්, ගමේ තිබුණ එකමුතුව දැන් කොහේද නැහැ.මතක විතරක් ඉතුරු වෙලා.

//මේ කාලේ.. වගේ නෙවේ.. ඒ කාලේ...ඒ කාලේ...//
https://sandaiduwari.blogspot.com/2019/06/01.html?m=1

බොහොම ස්තූතියි නමියා ❤️❤️❤️

නමියගෙ වීදිය said...

ආ සඳ ඉඳුවරී තිළිණි ද... ගියා දැම්ම කොමෙන්ට් එකක්.
ලස්සන උනත් වෙනස් වෙනවනෙ නේද තිළිණි, මොකෑ ඉතිං ඒකට කොරනවා. අනිත්‍ය ලෝකෙ අපි කරක් ගහනව පරක්තෙරක් නොපෙනී

සේපාලිකා මල් said...

හිත හිත ඉඳල බෑ. මං මේ යන ගමන් ගමේ. මාත් පොඩි කාලේ හිටියේ ඔය වගේම ලස්සන ගමක තමයි.❤️❤️


තිළිණි said...

😃 එක හැබැයි නමී.

තිළිණි said...

අනේ වාසනාවන්. පරිස්සමෙන් ගිහින් එන්න. ලියමුකො ඒ ලස්සන ගම ගැන ලස්සන ලියවිල්ලක්. ස්තූතියි ආවට මේ පැත්තේ.. ❤️❤️❤️