Friday 14 January 2022

ජීවිතේ නියම සතුට.

 

මට මතක් වෙන්නෙ සමහර වෙලාවට අපිට දැනෙන අහසටත් නැති පොලවටත් නැති හදේ ඉන්න ගගනගාමියෙක් වගේ හැගීමක්.
අර උණ වැඩි උනාම දැනෙන්නෙ.


එකම මහ පොලවෙ විවිධාකාර ඉරනම් එක්ක හුස්ම ගන්න මිනිස්සු.

එකෙක් මහන්සියෙන් කැපවීමෙන් ලබා ගන්න දේ තව එකෙක්ට ඉබේම ලැබෙනවා. පිනේ පොඩි අඩු වැඩියක් ද?.

එකෙක් බලාපොරොත්තු පොදි බැදගෙන  එකින් එක  ඉලක්ක පහු කර කර තමන්ගෙ සාර්ථකත්වය හොයද්දි තව එකෙක් ඉබේ ලැබුන දේ බලා කියාගෙන දවස ගෙවන්න උත්සාහ කරනවා.

ඔය සාර්තකත්වය තියෙන්නෙ කොතනද?

ලැබ් එකේ දර්ශකයක් දාල අම්ල භශ්ම අනුමාපනය කරද්දි අන්ත ලක්ෂයේදි වෙන වර්ණ විපර්යාසය වගේ බලාගන්න පුලුවන්ද ඒතනට  ලඟා උනාම?

නැත්නම් ඔෆිස් එකේ රතු ඉර ගහනව වගේ කවුරු හරි ලකුණු කරන සීමාවක්ද?

එහෙමත් නැත්නම් අර ග්‍රිනිච් රේකාව වගේ මනකල්පිත එකක්ද??

හිතේ සතුටේ අන්ත ලක්ශයද?

ඒත් සතුටට කොහෙද අන්තයක්?

කෙලවරක් නැති සසර වගේනෙ ඒකත්.

ඒ කියන්නෙ ඔය කියන සාර්තකත්වයත් ඒ වගේ දෙයක්ද?

ඔයා හරි. මහා ලොකුවට බලාපොරොත්තු පොදි බැදගෙන පිස්සු බල්ලට හැතැම්ම නෑ වගේ අපි දුවනවා.

හොස් ………ගාල ගිහාම ඒ ඔක්කොම දාල කූඩැල්ල වගේ. මේ ඔක්කෝටම මුල වුන වින් වින් වින්…අනේ… මට ඒ වචනෙ කොටන්න මේ හෙලකුරේ අකුරු හො‍යන්න බෑ.
(ඒ වචනත් ඒවගෙ යථාර්තය තේරුනත් පිලිගන්න බෑ වගේම ගැඹුරුයි.) අන්න ඒ කිවුව ඒක වෙන තැනක් අල්ල ගන්නව. ආයෙත් පිරුදු සසර චක්කරේ කැරකෙනව.

අර කිවුව එක නියපොත්තෙන් කඩල දානව වගේ අත හැරිය නම් නිවන් දකින්න තිබ්බා.

ඔවු ඒක දන්නවා.

ඒත් කොහොමද කරන්නෙ??

ටික ටික පිරුදු වෙන්න…

ආත්මෙන් ආත්මෙ ඒ පුරුදු ටික ටික එකතු උනාම මේ නොතිර සසරට තිත තියන්න තරම් ශක්තිමත් ආත්මයක් එක්ක උපදී…

එතකොට අද දවස, හෙට දවස?? මේ මොනව කලත් මැරෙනවනෙ නේද? ඔන්න ඔහෙ මේ තියන දෙයක් කරගන ඉමූ…

බෑ එහෙම බෑ මැරෙන බව හිතේ තියාගෙන අපි මේ ජීවිතේ සාර්ථක කරගමු.

සාර්තක?????

නෑ මහප්‍රාන තයන්න.

මගෙ සිංහල දුර්වලයි.

සිංහල විතරද?

දන්නෙ නෑ අසම්පූර්ණ ගොඩක් තැන් ඇති..

ජීවිතේ නියම සතුට තියෙනෙ නිවනෙ.

ඒක සතුටක් නෙවේලු.

එහෙනං

හරියට නිකන් රික්තයක් ඇතුලෙ වගේ හිස් බවක් ඇති..

මට මතක් වෙන්නෙ සමහර වෙලාවට අපිට දැනෙන අහසටත් නැති පොලවටත් නැති හදේ ඉන්න ගගනගාමියෙක් වගේ හැගීමක්.
අර උණ වැඩි උනාම දැනෙන්නෙ.

මං කොහොමද බං දන්නෙ.

එහෙනං ඔක්කොම අතෑරල නිවන් දකිමු. මේ මොනව කලත් මැරෙනවනෙ නේද?

බෑ ඒක කරන්න මට හයියක් නෑ.ඔන්න ඔහෙ මේ තියන දෙයක් කරගන ඉමූ…

කොහොමින් කොහොමින් හරි ඉතින් ආයෙත් කැරකිලා ආවෙ උන්නු තැනටමනෙ
එහෙම ඉන්න තිබ්බා මම මට විතරක් අයිති උනා නම්. අම්මා,අප්පච්චි,එයා .
මම ඒ හැමෝගෙම.

මතක් කරල බලපන් ඒ අය විතරද කියල?

සීයයි අම්මම්මයි අමතක උනා.
නෑ ඒ විතරක් නෙවේ. ඇයි උබෙ හීන අස්සෙ ඉන්න නූපන් පුතාල දෙන්නයි දුවල දෙන්නයි??

දෙවියනේ!! අපෙ හීන ලෝකෙ. මීට කලින් කවුරුත් දැකල නැති තරම් ලස්සන වෙඩින් එකක්. ලස්සන ගෙයක්. මටම කියල චූටි කාර් එකක්.

තව ඉස්සරහට ජීවිත මීට වඩා සංකීර්ණ වෙයි.

ඔවු,ඉඩ කඩම් වගේ හැමදේකම මිල ඉහල යන්නෙ දවසින් දවස.

උන් හතර දෙනාට ලේසි වෙන එකක් නෑ උඹ මෙතන තියන දේවල් කරගෙන දවස ගෙවුවොත්.

ඔවු. මම උන්ට ලස්සන ලෝකයක් හදන්න ඕනෙ.

ඒත් හුස්ම කොයි වෙලාවෙ යයිද දන්නෙ නෑ. ඒ ඔක්කොම දාල යන්න********

ඇති ඇති ඇති  ආයෙත් කියවන්නෙ පරණ බනේමනෙ

නෑ. ඇයි හැමදාම කියවන බනේ තේරුම් නොගන්නෙ?? ඔය කියන "මම" ඒ මිනිස්සුන්ට තියා උබටවත් අයිති නෑ.ඒක පටවි ආපෝ තේජෝ…

හා හා ඇති මට ඕක කටපාඩම්. ඒත් මම ඒක ප්‍රායෝගිකව හිතන්නම් පස්සෙ.

පස්සෙ? ඊට කලින් මැරිල, තිරිසනෙක් වෙලා ඉපදුනොත්?

මොනවද එහෙනං මට කරන්න කියන්නෙ >:( ?

ඔය ඉන්නවා වගේ හිනාවෙලා වැඩ ටික කරගෙන සතුටින් ඉදපං. මතක ඇතුව මැරෙනව කියල මතක් කරගෙන.

විකාර.ඒකද උත්තරේ?

ඔවු

පිස්සු

ඔවු. කාටද නැත්තෙ? .

නෑ.ඒ ප්‍රශ්නෙට උත්තර හොයල මූන දෙන්න තියන කම්මැලිකමට කියන දශක බර ගානක් පරන බොරුවක් ඕක.

ටිකක් හිතපං. ඔය හිටපු විද්‍යඥයො දර්ශනිකයො හැමෝමත් ඔහොම හිතුව නං අද උබ මම මෙතන නෑනෙ.

එතකොට ඔය සෝමා එදිරිසිංහ වගේ ප්‍රකෝටිපති ව්‍යාපාරික සමාජසේවිකාවො සාර්තක ඇති නේද? පරම්පරා ගානකට හම්බකරල තව අයගෙ බඩ කට පුරවල පිනුත් කරගන්නවනෙ.

ඒ පිං ඉන්කම්ටැක්ස් වල හිලවුවටලු කියන්නෙ?

සෝමාලියාවෙ ඇට සැකිලි වගේ දරුවො මැස්සො වහ වහ අම්මගෙ තනේ එල්ලිලා ඉද්දිම මැරිල වැටෙනව දැකල උබ නොකා නොබී ඇමරිකාවට බැන බැන හිටිය මතකද? එහෙමවත් දෙයක් කරන මනුස්සයෙක් ගැන ඔහොම කියන්නෙ ඇ‍යි?

පූජේමි බුද්ධන් කියල මල් පූජ කරද්දි කායෝ තතායාති විනාස භාවං කියල අනිත්‍ය මෙනෙහි කරල ඔය කිරල මැනල කන පලතුරු බොන වතුර හෙට ඉදන් නොකා නොබී ඉන්න එක නෙවේ බං කරන්න ඕනෙ. කරන කියන අනිත් හැමදේමත් ඒ වගේ තමා.

ඔවු ඒ යතාර්ථය තේරුම් ගන්න ඕනෙ. හැබැයි බොහොම පරිස්සමෙන් අවබෝදෙන්. නැද්ද?

ඔවු.හරියට සර්පයාගෙ නැට්ටෙන් අල්ලන්නෙ නැතිව ඔලුවෙන් අල්ලනව වගේ.

නැත්නම් අපිත් අලිය කාපු දුවුල වගේ වෙයි.

අපි පැටලිලා. කොහෙන් ලිහන්නද තේරෙන්නෙ නෑ වගේ. ලිහාගෙන යද්දි ආයෙත් ගැට ගැහිල.

ඒත් ගැටේ තද නොකර ලිහා ගන්න ඕනෙ.

ඇත්තටම සතුට තියෙන්නෙ කොහෙද?ඒකට යන පාර මොකක්ද? ඒ පාරෙ යන්න ඕනෙ කොහොමද?

හිතන සිතුවිලි පිට කරන වචන කරන වැඩ හැම එකකින්ම පවක් නොවෙන්න වග බලා ගෙන ජීවත් වෙන්නෝනෙ. එන හැම ප්‍රශ්නෙකටම හේතු ඵල න්‍යාය දාල බැලුවොත් එතන ඇති ප්‍රශ්නයක් නෑ. ජීවිත කාලෙම දුක් මහන්සියෙන් ධනය රැස් කරන්න. ඒව දාර්මිකව පරිහරනය කරන්න වගේම හැමදේම හොරු අරන් ගි‍යොත් හලන කෙල පිඩක් වගේ ඒව හිතෙන් හලන්නත් ඒ අයට අනුකම්පා කරන්නත් පුලුවන් නම්!! අන්න ඒ රිද්මය අල්ලගන්න ඕනෙ.

විශාකාව අවුරුදු 7 දි  සෝවාන් වෙලා ජීවිතේ හැම අවදියක්ම පහු කලා. වගකීම් යුතුකම් නොපිරිහෙලා ඉටු කලා. එහෙවු එකේ පන්සිල් පද පහ රකින අපි සතුට හොයාගෙන වනගත වෙන්න ඕනෙ නෑ. හැමදේම අතහැරල ඉන්න ඕනෙත් නෑ.

ඒ නිසා අපි ඒ ගැන නොහිතා ජීවිතේ දිහා සුභවාදීව දකිමු.

මේ වගේ පුංචි පුංචු මානසික තත්ව වල එල්ලිලා දිගටම හිටියොත් අපිටත් නොදැනීම අපි ලොකු අමාරුවක වැටෙනවා. ඔවු ඔවු ඒ වාක්‍ය නම් කවුරුත් පිලිගන්න කැමති නෑ.

ඇත්තටම ජීවිතේ නියම සතුට කියන්නෙ මොකක්ද? ඒකට යන පාර මොකක්ද? ඒ පාරෙ යන්න ඔනෙ කොහොමද?

2 comments:

නමියගෙ වීදිය said...

ඇත්තටම අපි මුලාවී පාර හොයාගෙන
හසරක් අසමින්ස යන ගමනක් ඉන්නෙ..
සඳ ඉඳුවරී. නියමයි ආ ...

තිළිණි said...

ස්තූතියි නමියා!