Tuesday, 25 January 2022

අඩි ශබ්දය.


ඒ අඩි සද්දෙ! ඒ අඩි සද්දෙ තාලය හැමදාමත් එක වගේ. ඒ නිසාමද කොහෙදො එච්චර දුරක ඉදන් උනත් මට ඇහෙන්නෙ.


"ඔන්න අප්පච්චි එනවා" ^_^

"බලු කන් දෙකක්ද තියෙන්නෙ?"

නෑ. ඒ තරම් තියුණුව ඒ ශ්‍රවණය මගේ සවනට දැනෙන්නේ ඒ ශබ්ද තාලයට විතරයි. ජීවිතේ අහන්න ආසම කරන අඩි සද්දය. ඒ මතකයත් එක්ක තවමත් ඒ හඩ කන් දෙකේ දෝන්කාර දෙනවා.

ගේ දෙරකඩට අප්පච්චි ආවම මුලින්ම මතු වෙන්නේ මගෙයි මල්ලිගෙයි ඔලු දෙක.කාමෙරේ දොර රෙද්දෙන්.අම්මාත් මොන වැඩක හිටියත් ඒ සද්දෙත් එක්ක සාලෙට ඇදිලා එනවා. ගෙදර පිරෙන්නේ අප්පච්චි ආවම. ගෙදරට සතුට ගේන්නේ අප්පච්චි.අම්මාටත් එක්ක ඉවසීම ප්‍රගුණ කරන්නේ අප්පච්චී.කොච්චර වෙහෙස වෙලා ගෙදරට ආවත් ඒ වෙහෙස අප්පච්චිගේ මුහුණේ ගෑවිලා වත් නැහැ. සුපුරුදු හිනාවකින් මුව සරසාගෙන ගෙට ගොඩවෙන අප්පච්ගේ අතේ මල්ලක් නැති දවසක් තිබුණා නම්..

"අද මොකුත් ගන්න බැරි උනා. පාරට එනකොටම හතයි කාල ආවා. ඒකේ ආවෙ නැත්තන් අට වෙනකල් ඉන්න එපැයි."

එහෙම කියන අප්පච්චී සාක්කුවට අත දාලා ටොෆි දෙක තුනක් මගේ හරි මල්ලිගේ හරි අතට දෙනවා.

ගෙදරට ගේන බඩු මල්ලට අමතරව එක එක දවසට එක එක ජාතියේ කෑමක් තියන මල්ලක් තියනවා. ඒ මල්ලේ තියෙන කෑම තියෙන්නේ තුන් දෙනෙක්ට සෑහෙන්න. වැඩිපුර තිබුණත් කොතරම් පෙරැත්ත කලත් අප්පච්චී නෙවේ කටේ තියන්නේ.! මල්ලී මමයි ගොඩක් ආසාවෙන් කනවා කියලා දැනුනොත් අම්මා කන්නෙත් නැහැ.
එහෙම වෙන හැම වෙලාවකම මම මගේ පුංචි හිතෙන් හැමදාම ඇහුවා,

"මෙච්චර රස දෙයක් වෙලත්, අම්මයි අප්පච්චී කන්නෙ නැතුව අපිට කන්න කියලා කොහොම ඉන්නවද දන්නෙ නෑ. ආසාවක් නැද්ද, රස්සාවක් කරලා පඩියකුත් ගන්නවා. මම එහෙම රස්සාවක් කරලා පඩියක් ගත්තා නම් මේවා ලොරියක් ගෙනත් කනවා!"

දිවට රස දෙයක්
ඇසට ප්‍රිය දෙයක්
ගතට සුව දෙයක්
ලොවට ප්‍රිය දෙයක් වෙතොත් දරුවන්ට දීලා ඒ පුංචි මුහුණේ සතුට බලලා අම්මා අප්පච්චී විදින සතුට දැනේවී හැමෝටම දවසක!

අනෝරා වැසි වැස්සත් අප්පච්චිගේ අතේ ඒ මල්ල තිබුණා! ඒක ඇතුලේ තිබුණ රස දේ පෙගිලා තිබුණත් ඒකේ රසේ අඩුවක් අපි තුන්දෙනාට දැනුනේ නැහැ.

"අප්පච්චි පවු!"
මගේ පුංචි හිත ඒ දවසට මට රහසින් කිවුවා.
හදිසියේ වැටුන වැහිකොඩයකට අහු වුනොත්, සිලි මල්ල  නිසා ඔළුව විතරක් නොතෙමෙන්න මුළු ඇඟම තෙමිලා. මේස් දෙක තෙමිලා කකුල් සුදුම සුදු වෙලා සීතලට.
රෑ වෙලා ඇවිත් ආයෙත් පාන්දර හතරට නැගිටලා හැමදාම කොහොම යනවද වැඩට! වැස්ස දවසට, දෙසැම්බරේ සීතලට අප්පච්චිට කොයින්ද නිවාඩු. මගේ පුංචි හිත මගෙන් ඇහුවා.

අප්පච්චිගේ ජීවිතේ උනේ අපි. ජීවිතේ වැඩි කාලයක් වෙන් උනේ අපි වෙනුවෙන්. අපි රැකගන්න රැකියාව වෙනුවෙන්.ගෙදරට එන බස් එකක් මඟ හැරුනොත්,අනිත් බස් එක එනකල් ගතවෙන හෝරාව ගැනත් එයා දුක් වුණා.
මත් ද්‍රව්‍ය කිසිවක් කිසිදාක  පාවිච්චි නොකල අප්පච්චී ඒ ගැන මල්ලීට නිතරම ආඩම්බරෙන් කියනවා මම අහගෙන!

අපේ පුංචි පවුලේ හැම අවශ්‍යතාවයක්ම අඩුවක් නැතිව සම්පූර්ණ කරමින් හරි සරුසාරවට ජීවත් වෙන්න කාලය වගේම මාසික වැටුප කලමනාකරණය කරපු හැටි!
මමත් මල්ලීත් වගේම
අම්මාත් මේ ලෝකේ ඉන්න වාසනවන්තම බිරින්දෑවරුන් අතරින් කෙනෙක්!

ඒ වාසනාව අපිට දීපු අප්පච්චීටත් අම්මාටත් නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා!

වෙනස්කම් නොගැලපීම් අඩු වැඩිය තිබුණට ඔයාලා හැමෝටමත් අති බාල කාලේ මේ වගේ මතක.

"රටකජු රඹුටන්
අරගෙන නාරං
කෝච්චියෙන් දැන්
තාත්තා එනවා"








14 comments:

D.G.M බස්සා said...

හ්ම්... ලස්සන මතකයක්.

කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි) said...

අපුරුයි.....

නමියගෙ වීදිය said...

ගල් පිළිම ළඟ
දනින් වැටෙන
බුදු පිළිමය - තාත්ත
(ප්‍රින්ස් සේනාධීර)

විනීත පූ... said...

හරිම සංවේදී සටහනක් සඳ ඉඳුවරී.

සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත said...

ආදරණීය සටහනක්! <3

Mahesh Rathnayake said...

ම්ම්ම්.. අපූරු සටහනක්...
ඔයත් ඔය පාඩං පොත් කාලෙ කෙනෙක්ද .. 😃😃😃
දිගටම ලියමු..ජය

අහස් යාත්‍රිකයා said...

හ්ම්, අපූරු සටහනක් තමයි, දිගටම ලියන්න තිළිණි

තිළිණි said...

හ්ම්.. හ්ම්.. ස්තූතියි බස්සා! ❤️

තිළිණි said...

බොහොම ස්තූතියි...! ❤️

තිළිණි said...

ඒ වදන! ස්තූතියි නමියා ❤️

තිළිණි said...

බොහොම ස්තූතියි පූ... ❤️

තිළිණි said...

බොහොම ස්‍තූතියි..! ❤️

තිළිණි said...

බොහොම ස්තූතියි මහේෂ් මේ වචන වලට! ඔවුනේ මමත් 90 දශකයේ කෙනෙක්.

තිළිණි said...

බොහොම ස්තූතියි අහස් මේ දිරිගැන්වීමට! ❤️