Wednesday 12 January 2022

සමරු.

බාල කාලයේ පොත්, පරිස්සමට පිළිවලට එකතු කරපු පුරුද්ද තිබුණ කෙනෙක් නම් ඔයා දන්නවා.. බාල කාලේ පොත් අල්මාරියේ පොත් පෙරලලා ඒ කාලේ අකුරු කරපු හැටි ආයෙත් දකිද්දී හිතට දැනෙන සතුට!. ඒ සතුට දෙගුන තෙගුන වෙන්නේ ඒ පොත් පිටු අතරේ මුල් අදින්න දාපු අක්කපාන කොල.. මල්.. කොල.. මුද්දර.. ස්ටිකර්..සල්ලි කොල 🤑 වගේ දේවල් දකිද්දි.

නව යොවුන් විය එලබෙත්ම පොත් අතරේ වැඩිපුර හමු වෙන්නේම සින්දු ලියපු කොල කෑලි. එකම සින්දුව කීප වතාවක්ම. අද හිතද්දීත් මුවගට හිනා ගෙනාවත්..අහලා රස විදිනවා වෙනුවට ගුවන් විදුලියේ ඇහෙන ගීත කොල කෑලක සැනින් කුරුටු ගාගන්න පිස්සුවක් එක වයසක තිබුණා.

ආසාවෙන් එකතු කරපු මුද්දර පොත අද දකිද්දීත් පුදුම හිතෙන තරම්.
වෙසක් කාඩ් එකතුව නම් මතක සාගරයක්. හොදම යාළුවාට ලස්සනම එක. හිතේ කහටක් තියනවා නම් තියන බාලම එක. අනේ අපොයි ඒ කාලෙත් පොඩි කමට! වෙසක් කාඩ් හැම එකකම පාහේ මුද්දර වලට වෙලා තිබුන අකරතැබ්බි නම් හරිම අවාසනාවන්තයි. :(

ඒ අස්සේ බාල සන්දියේ පොත් අල්මාරියේ ඉඩ කඩ තියන තැන් වල තිබූ පුංචි පුංචි භාජන වල තියන ලට්ට ලොට්ට. "මොකට හරි ඕන වෙයි. විසිකලොත් ඕන වෙන දවසට අපරාදෙ කියලා හිතේවි" ඒ ලට්ට ලොට්ට ගොඩට හේතුව ඒක. ඒ අතරේ පෑන්.  පෑන් කියන්නේ ඉතින් ඔය අතරේ පෑන් බට, පෑන් කොපු, පෑන් තුඩු පවා තිබුණා. උල් මාරුකරන පැන්සල්, ඉරේසර් කෑලි, පැන්සල්, පැන්සල් කොට, බොත්තම්, රිබන් කෑලි.ෆ්ලොෆී ඩිස්ක්,එකී මොකී නොකී සියල්ල. අනේ මන්දා ඔය පුරුද්ද ඒ කාලේ කොහෙන් ආව එකක්ද කියලා.

කාලයත් එක්ක පරණ පොත් අල්මාරියේ කොටසක් විශේශ වෙනවා. ඒ කොටසේ රැපින් පේපර්, පුංචි පුංචි කී ටැග්,සුවඳ විලවුන්, පොත් තරම් ලොකු තට්ටු තට්ටු උපන්දින සුභ පැතුම් පත් වෙසක් කාඩ් ඇතුලු ලස්සන ලස්සන සර්ව පිත්තල සමරු එකතුවක් වෙනවා.විශ්වාස කරන්න ඒ එකතුවේ පුංචි සෙලෝටේප් කෑලි ස්ටේපර් කටු පවා තියෙනවා ලැබුන  දිනය හා හේතුවත් සමඟ ! ❤️😉

ඒ ඒ සමරු අස්සේ තියන සමහර පසුබිම් කතා මතක තිබුණත් අගක් මුලක් මතක නැති සමරුත් තිබුණා.

බාල කාලේ නිදාගත්ත කාමරේ නින්ද යනකල් බිත්තිය කොනිත්තමින් හාරපු කැටයම් වල හැඩය පවා තවමත් හිතේ ඇදිලා තියන හැටි හරි පුදුමයි.

හැම සතියනකම නොවරදවාම අරන් එකතුවක් විදිහට තිබුන විජය හා සතර පත්තර මිටිය තමා මට ඒ කාලේ තිබුන සර්ච් එන්ජින් එක. ගූගල් තරම් ස්පීඩ් නැති වුනත් මගේ පත්තර මිටි දෙක උසස් පෙල පන්තියට යනකල් මට තිබුන වටිනාම වස්තුවක්. පැවරුම් ඇගයීම් ව්‍යාපෘති ලැබුණම පත්තර මිටි දෙක මුල සිට අගට පෙරලන්න වෙනවා.හැම පොතකම ඇලවෙන එකම අච්චුවේ රූප කොලයේ ඇති පින්තූර වෙනුවට හුරුබුහුටි වෙනස් දෙයක් කරලා ලකුණු වැඩියෙන් ගන්න ඒ නිසා හැකි වුණා. අවශ්‍ය කරුණට අමතරව බොහෝ දේ ඒ අතරේ නිරන්‍තරයෙන් ඇස ගැටෙන නිසා මතකයට බොහෝ දැනුම එකතු වුණ තෝතැන්නක් වුණා. උසස්පෙල පන්තියට එනකොට නම් බොහෝ පත්තර වල වාටි විතරක් ඉතුරු වුණා.

සමරු කියන්නේ පරණ වෙන තරමට වටිනාකම වැඩිවෙන වස්තූන්. ❤️❤️

සමරු ගැන මේ විදිහට සිතැගි අකුරු කරන්න මට මතක් වුන විශේෂ හේතුවක් නිසා. පොත් කියවන්න.. කියවන පොත් එකතු කරලා..එකතු කරලා.. දවසක ලොකූ පොත් එකතුවක් හදාගන්න දකින තවත් එක හීනයක් පාට කරන්න මට උදවු කරන නංගීත් මස්සිනා මල්ලීත් මට විශේෂ තෑග්ගක් එවලා තිබුණා. ඒ තෑග්ග නිසා මගේ පොත් අතරට කතෘගේ සමරු අත්සන සහිත පළමු පොත එකතු වුණා.

මොහාන් රාජ් මඩවල මහත්මයාගේ නිල් කටරොල් නවකතාව බිසෝ ප්‍රකාශනයක් ලෙස පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දොරට වැඩුම සිදු වුණා.




4 comments:

නමියගෙ වීදිය said...

හ්ම්...

අහස් යාත්‍රිකයා said...

සමරු පොත් කුරුටු ගෑ හැටි මතක් උනා..

තිළිණි said...

හ්ම්.. හ්ම්..

තිළිණි said...

ඒක නම් ලස්සන මතකයක් නේද. ඒත් මම නම් මතක් කරන්න වත් කැමති නැහැ. මොකද මගේ සමරු පොත නැති වුණා. 🙁