Tuesday 21 December 2021

සොබාදහම් මතක යන්ත්‍රය.

මාස ගාණක් වැස්ස නොවැටුන පොළවේ දූවිලි අවුස්සාගෙන ගිය සුළඟ.. එක පාරටම වැහි වළාවක් ඇදගෙන ඇවිත්.


දහවල ගොම්මන පැටලෙන තරමට වැහි අඳුර.
හීනියට හමපු නැවුම් සුවඳ මහ වැස්සක නිමිති කියද්දී..
හදිසියේ ආ වැස්ස, කලින් නොදැණුන තටු ඇති, තටු නැති කුරුළු කිරිළියන් වැස්සට බේරිලා පියාඹන්න අසාර්ථක උත්සාහයක!

මට මාවවත් පේන්නෙ නැති තරමට මීඳුම. වැස්ස නම් ටිකක් පායල. ඒත් තාම ටික් ටික් ටික් ගාල ගස් වල කොල වලට එකතුවෙන වැහි බින්දු වැටෙනව. මම ආස නෑ මේ උහුලන්න බැරි සීතලේ ගුලිවෙලා උණුහුමට නිදියන්න. මට ඕනේ..මට ඕනෙ මේ සීතල විදින්න. මේ වැහි බින්දු වැටෙන සද්දෙ අහගෙන ඉන්න. ගස්වල වතුර බින්දුත් අරගෙන ඇගේ හැපෙන හුළඟට කිටි කිටියෙ වෙවුලන්න. නැහැ පුඬු සීතල වෙනකල් මේ නැවුම් හුළඟින් මගේ පෙනහළු පුරෝගන්න. 

කදු වලින් මීදුම් පටල පාවෙලා යන හැටි බලන් ඉන්නකොට.. මට හිතෙනවා… මේ ගල් ගැහෙන සීතලේ නාන්න. 

මේ සීතල මීදුම අස්සෙ මේ සිමෙන්ති බංකුව උඩට වෙලා ඈත පේන හන්තාන දිහා බලාගෙන ක්ලැ‍රන්ස්ගෙ සින්දු අහන්න.  මේ වැහි අදුරට මම ආදරෙයි. මොකද්දෝ හුරු පුරුදු හැගීමක් දැනෙනව මේ මීදුම් හිරිකඩ එක්ක.

මට හිතෙනව… මට වගේම මේ හැගීම දැනෙන, ඒ…ඒ මගේ හිතේ අයිතිකාරයා ..මගෙත් එක්ක මේ ලස්සන විදින්න උන්නනම් කියල. හ්ම් මේ වැස්ස වහින්නෙ අද විතරක් යෑ.. කවද හරි දවසක... මෙන්න මෙන්න මෙතනින් මගේ ලගින්ම ඉදගෙන මේ වගේම සීතල වැස්ස දවසක උණු උණු කෝපි බිබී සින්දු අහන්න අපිට පුළුවන්. අපි ඈත කදු දිහා බලාගෙන හීන,ප්‍රාර්ථනා,බලාපොරොත්තු එකතු කරමු. එදාට මේ සීතල නම් ටිකක් අඩුවෙයි..මම ඒ උණුසුම් හුස්ම ලගින්ම ඉන්න නිසා.
                           ***********

සමහර සුවඳ, අපේ මතක හාරවුස්සන්නේ හරියට.. හරියට දිව අඟ්ගිස්සේ තියන නමක් මතකයට ගන්න වෙහෙසෙනවා වගේ.කොහේදි හරි විඳලා පුරුඳු ලෙන්ගතු, ඒත් කොහේදිද කියලා නිච්චියක් නැති.ඒ  ආයෙ ආයෙ ඉව කර කර හෙවුවත් මතකයට එන්නෙම නැති මතක සුවඳ වගේම සමහර ගීතත් අපේ මතක වල පැටලිලා තියෙනවා. සංගීත කන්ඩයක් ඇහුවත් මතක වැලක් ගලාගෙන එන! 

සොබාදහමත් ඒ වගේම මතක යන්ත්‍රයක් කියලා මට අද දැනුණා. හඳවතේ කොනක හොර රහසේ හැංගෙන සොඳුරු දින,හෝරා,මිනිත්තුවක් හෝ ගෙවී යන මොහොතේ ඒ වටා තියන සොභාදහමේ ලතාව ආයෙත් දවසක විදින්න ලැබුණොත් එදා හිත අස්සට රිංගපු මතකයේ හැගීම ආයෙත් ඔයාට දැනේවි. දැනිලා තියනවද ඒ වචනයෙන් කියාගන්න බැරි හැගීම?

                              **********
දවසක්දා මේ වගේම අහසක් යට.. තෙමි තෙමී.. මගේ රුවත්, මා රැගත් බසයේ අවසන් දසුනත් නොපෙනී යනකල්.. දුරින් ඉදන් කෙනෙක් බලන් උන්නා කියලා සොබාදහම මට මතක් කලා. 

හිසට ඉහලින් නළල මත තිබූ අතින්,  වැස්ස මුවා කරනවා කියලා ලෝකෙට පෙන්නන්නෙ හරියට... 

"ඇති තරම් වැහැපන් මට කමක් නෑ" 

කියලා සීරුවට තෙමෙන්න ලැජ්ජා නිසා වගේ..
 

මම අද ඒ ආදරෙන් තෙතබරි වෙලා තිබුණු හඳවතත්, රුවත් සිත්සේ දැක ගත්තා. ඒ මොහොත විදගත්තා.. සොභාදහම් මතක යන්ත්‍රයට ස්තූතියි!

Sunday 19 December 2021

නත්තල් නිවාඩුව.


සිංගර් මහන මැශිමේ
අම්මා මහන නත්තල් ගවුම
ඇදගෙන මහ පාන්දරම
අවුරුදු නිවාඩුවට යන්ට ගම
ඇදුම් මල්ලත් හදාන කලින්දා
පාන්දට හතරට ඇහැරෙයිද මට?
ලොකු කට්ට පොඩි කට්ට
හතරට තව තියන පැය ගාන
ගණින අතරේ හිතේ දෙඟිඩියාව
අම්මා එලාම් එක තිබ්බාද?
ඇහැරෙයි නේද අප්පච්චිට?
ඇහැරින්න කෝ මට නින්ද?
වත්ත පහල යෝද ඇල
යන එන ජයගඟ බන්ට් එක
බෙලි දිවුල් අඹ ඇබිල්ල
අයියලා අක්කලා රොත්ත
එනකල් මඟ බලන් ඇති සීයා
ආ කිරිදුවලා ආවද
අත්‍තම්මා දොදොල් හැලියක්
හැදිගාලා ඇති මෙලහකට
මාතලේට හිම වැටෙන සීතලේ
මහ පාන්දර හතරට
හතර වටින් කිරල්ලු කෑගනකොට
අදටත් මගේ හිත හිරි වැටයි
හිත දුවන මේ සංසාර මතකෙට
පහයි කාලට ඇල්කඩුවෙ බස් එකේ
අප්පච්චිගේ උකුලේ කකුල් තියාන
අම්මාගේ ඔඩෙක්කේ හිස තියාන
ජනේලෙන් එපිට කලුවරේ
උඩ බලාන ගිය ගමන ගමේ
අදටත් මතකයක් දෑස් තෙමන
මාතලේට හය කිට්ටු කරන කොට
වට පිට ටික ටික එලිය වැටෙන හැටි
ගස් මුදුන් ලයිට් වයර් එකින් එක
ඇස් පහු කරනකොට එන කරකැවිල්ල
කට ඇබුල් වේගන එද්දී
දෑස් තදින් පියාගෙන
බඩ දැගලිල්ල යටපත් කරගන්න
පුංචි මං කරපු යුද්දෙ!
හයට මාතලෙන් තලාව පාර
අනුරාධපුර සීටීබී බස් එක
නාවුල පහු කරන් දඹුල්ල කිට්ටු වෙද්දී
මගේ සුන්දර කාන්‍තාරය
පාර අයිනේ වේලිච්ච ඉලුක් පදුරු
තෙක් මානෙ වෙල් යාය
අතරින් පතර වැවු
අනේ මං ගමේ ආවා!
හිරිපිටියාගම හන්දියෙන් බැහැලා
කරඹෑව පාරේ අම්මා එක අතකින්
අප්පච්චී අනිත් අතින් අල්ලන්
ඒ දෙන්නගේ අනිත් අත් දෙකේ
කද මලු ඇදුම් කැඩුම් බර
කොච්චරක් දුර පයින් ගාටන්නද
අනූ ගනන් වල කොයින්ද ටුක් ටුක්
උඩ පැන පැන මං ගිය සතුට
ලොකු මාමලාගේ ගෙදර මහපළවෙනියට
තේ බීලා ගිමන් නිවන් එතනින්
ජය ගග බන්ට් එක දිගේ මහ ගෙදරට
ඔන්න පාර යනවානම් මගේ ගමට
ඒසී වාහනේ සුව පහසු ආසනේ
ගම යද්දි අද හීල්ලෙන්නෙම
ඒ මතක අතරේ දුවන හිත
තේ බොන්න නවතින්න
ලොකු මාමා නැති ගෙදර
මඟ බලන්න නැති සීයා
දොදොල් හැදිගාන්න නැති අත්තම්මා
දීගතල ගොස් ගමෙත් නැති
අයියලා අක්කලා රොත්ත
නොනැවතී දුවන කාලය
අතරේ අතරමංවෙන හිත
මෙල්ල කරන්න හැකිනම් ආයෙ නුදුවන්න!





Sunday 12 December 2021

නුඹේ පෙරමං

 නුඹේ පෙරමං


දවස පුරාම ආකාසේ වෙලාගෙන තිබුණ මන්දාරම රෑ අඳුරටම හැරිලාත් හෝරා කීපයක් ගෙවී ගිහින්.
මම තවම නුඹ එන පෙරමඟ බලාන. 
වැහි අඳුරත් රෑ අඳුරත් බැලූ බැල්මට වෙන් කරගන්න බැරි වුණත්.. 
වෙනදාට වඩා සෞම්‍ය මේ සීතල රෑ හුළඟ ට වැහි ලකුණු කියනවා.

හෙට කලා සොලස පිරෙන්න ලැහැස්ති හඳේ පේන්නේ..
ඝණ වැහි වළාකුළු අතරින් යාන්තමට කහ පාටට ආලෝක ධාරාවක් විතරයි.
ඈත තෙක් මානයේ ආකාසේ..
රටාවකට එක්කාසු වුණ වැහි වලාකුළු මත හඳ එලිය වැටිලා
දෙවු ලොව මනු ලොවින් වෙන් කරන මායිමක් වගේ.

වැහි එන පෙරමං මේ සොඳුරු සොබාදහම මට එහෙම කියද්දී..
සොඳුර නුඹේ මේ නුපුරුදු රුඳු පෙරමං..
නුඹේ හිත මට කියන්නේ මොකක්ද කියලා මම තවම හිතනවා.. 
සොබාදහමේ මේ ලතාවන් කොයිතරම් වෙලා නිහඬව රස විදින්න මගේ හිත ආසාද..
නුඹේ ඔය මොන ලතාවත් ඊටත් වඩා කල් නිහඩව රසවිදින්න මං හරි ආසයි,
නුඹ නොදන්නවා වුනාට.

නුඹේ පරමං