Thursday 8 November 2018

සිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ

"කී පාරක් කෝල් ගත්තද චූටි අයියෙ දැක්කෙ නැද්ද? බය වෙන්නෙ නැද්ද මම?"

"මම මජන් නාලා හිටියෙ දෝණී ඔයා කෝල් කරනකොට."

"මෙච්චර වෙලාවක් කෝල් එකක් ගත්තෙ නැත්තෙ?"

"ලන්ච් එක එනකල්ම වැඩ තිබුණා. අද එන්ජින් එකක් ආවා. යාඩ් එකේ සීනියර්ම ඉන්ජිනියර් කෙනෙක් එක්ක වැඩ කලේ. ගොඩක් දේවල් ඉගෙන ගත්තා අද"

"ඔය කෝච්චි එන්ජින් එක වගේද මම.හ්ම් 😋"

" 😃 හරි හරී ඉතින් දැන් කතා කලානේ. "

"ආයේ වැඩ නෑ?"

"නෑ. දැන් කෝච්චි පෙට්ටියකට වෙලා පොඩි ඇලට් එකක් දාගෙන සුදු අම්මි එක්ක කයියක් දාගෙන ඉන්නවා"

"මොකද්ද ඔය සද්දෙ?"

"එහා පෙට්ටියේ සෙට් එකක් ඕමි ගහනවා"

"හපෝ රජයෙන් පඩි අරගෙන මේ මිනිස්සු අයිස් ගහන තරමක්."

"කරන්න දෙයක් නෑ ඉතින්. මේ මේවායේ පුරාණයේ ඉදන් පැවත එන සිරිත්."

"මං ආසයි ඔයා අර එක්සෑම් එක කරලා ඒක පාස් වෙලා ස්ටේශන් මාස්ටර් කෙනෙක් වෙනවා දකින්න චූටි අයියේ"

"මේක ස්ථිර වුනොත් ගොඩේ ගොඩ දෝණි. මට කිසිම බයක් නැහැ එහෙනම්. මෙතෙන්ට එන්න මම කොච්චර කට්ටක් කෑවද?කොළඹ එද්දි මෙහේ පාරක් වත් දන්නෙ නැහැ. තනියම රස්සා හොයාගෙන බෝඩිම් හොයාගෙන. මෙහේ පාරක් ඇහැවට වත් මනුස්සයෙක් කියන්නෙ නෑ දෝණි."

"ඔවු ඔවූ ඉතින් මම දන්නවනේ. ඒත් ඔයා මජන් නාගෙන මහන්සි වෙනවට වඩා මම ආසයි අරම ඉන්නවට.ඔයාගෙ කේන්දරෙත්  තියනවා මහන්සි වෙලා කරන රස්සා ගැලපෙන්නෙ නෑ කියලා"

" :-D ඔයා නොදන්න කොච්චර දේවල් තියනවද. සමහර ජොබ් කරන කාලේ බෝඩිමට ගෙවුවම කෑමට මදි මාසෙ අන්තිමේට. උදේටයි දවල්ටයි දෙකටම පාන් බාගයක් අරන් තේ එකක් හදන් බීලා හිටපු දවස් තිබුණා දෝණි."

ඒ අතින් බලද්දි දැන් මම කොච්චර හොද තැනකද ඉන්නෙ. ටෙක් එකේ ඉද්දි සමහර දවස් වලට කොන්ඩෙ කපන්න සල්ලි ඉල්ලගත්තෙ ඔයාගෙන්. බස් එකේ යන්න ඔයාටයි මටයි දෙන්න මගෙ අතේ සල්ලි නැතුව ඔයාගෙ අතේ සල්ලිත් ඉල්ලා ගත්ත දවස් තිබුණා. මම ජීවිතේ මොකුත්ම නැතුව ගොඩ ආව කොනෙක්නෙ දෝණී. "

"ඇයි චූටි අයියේ ඕවා කියලා මාව අඩවන්නෙ. ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ."

"මේ හැම දේම අපේ අනාගතේ වෙනුවෙන් දෝණි. ඔයාගෙ ගෙදරින් මට බය නැතුව ඇවිත් අහන්න පුලුවන් වෙන්නෙ මේ ජොබ් එක ස්ථිර කරපු දවසට. දැන් මම බෝඩිමටත් ගෙවලා.. ගෙදර වියදමටත් දීලා. නංගිටත් දීලා මගෙ වියදමටත් තියාගෙන.ඉතුරුත් කරනවනේ. දැන් මගේ ස්ථාවර තැම්පතුවේ හැට දාහක් තියනවා. ටික ටික ඉතුරු කලොත් වෙඩින් එක කවර් කරගන්න පුලුවන් වෙයි ඒ කාලෙ වෙනකොට.

" ඇයි තව තියනවනේ. ඒවා කියන්නෙ නැද්ද? දෝණිටත් බැංකු පොතක් හදල දීලා මාසෙකට ඒකටත් දාහක් දෙදාහක් දාලා.. බලන්න එන හැමදාම කඩචෝරු ගේන්නත් තියාගෙන.. ඇදුම් සපත්තු අරන් දෙන්නත් තියාගෙන..ක්ලාස් පීස් දෙන්නත් තියාගෙන.."

"මගේ එකම ආසාව ඔයා හොදට ඉගෙන ගෙන හොද තැනක ඉන්නවා දකින්න දෝණි. ඔයා පාඩම් කරනවා නේද? අම්මලා කවදා හරි දවසක අපේ ආදරේ නිසා ඔයාගෙ ඉගෙනීම කඩාකප්පල් වුණා කියනවා අහන්නත් මම  කැමති නෑ. ඔයා හිත හිත ඉදී කියලා තමා හැම සතියෙම මෙච්චර දුරක් ඇවිත් ඔයාව බලලා යන්නේ. ඔයාට තියෙන්නෙ පාඩම් කරන්න විතරයි දෝණි."

"මම පාඩම් කරලා හොදට එක්සෑම් පාස් වෙනවා චූටි අයියේ. එතකොට හැමෝගෙම කටවල් වැහෙයි"

"හොද ළමයා"

උදයට අනූව මුණ ගැහෙන්නේ පාසලේදි. අනූ කියන්නේ ලස්සන අහිංසක් පුංචි කෙල්ලෙක්. සතුට ,කඳුල, ජය පැරදුම ජීවිතේ නනාවිද හැල හැප්පීම් එක්ක නොවෙනස් වුණ මේ ආදරේට වසර දහයකුත් ගෙවී ගියා. අම්මා අප්පච්චීට නොපෙනෙන නොදැනෙන තැන් වලදී අනූව රැකගත්තේ උදය. තාත්තී කියල අනූ කට පුරා කිවුවේ ඒ ගෞරවයත් හිතේ තියාන. විටෙක සොයුරෙක්. චූටි අයියා කියලා ගෙදරට කියන නම අනූ කිවුවේ ඒ නිසා. උදයගේ මුල්ම හීනය වුණේ මේ පුංචි කෙල්ලට හොදට උගන්නලා හොද තැනක තියන්න.  මනමාලියක් කරලා කැන්දන් යන හීනය තිබුණේ දෙවනුව. ඇගේ ගෞරවය උදය දිවිසේ රැකගත්තා.

"ගෙදරටම වෙලා ඉදලා ඇතිවෙලා චූටි අයියේ. අම්ම ගෙන් කනක් ඇහෙන්න නෑ රස්සාවක් ගැන කියවනවා. අරයා විද්‍යා පීටලු..අරයා කැම්පස්ලු..අරයා නර්සින් ලු. අනේ මට ජොබ් එකක් හොයල දෙන්නකො. පඩියක් එපා. නිකන් වැඩ කරන්නම්. මට ඕනෙ රස්සාවක්."

"හරි හරී මම හොයල බලන්නම්. මගෙ යාලුවෙක්ගෙ ගර්ල් ටත් හොයනවා. මම ගැසට් එක බලලා කියන්නම්. ආවට ගියාට බෑනෙ දෝණි. ඔයාට හොද තැනක් වෙන්න ඕනෙනෙ. ඔයා දන්නෙ නෑ දෝණි මේවගෙ තියන දේවල්."

"ඇප්ලිකේශන් කීයක් දැම්මද. තාම එකකට වත් ආවෙ නැහැ"

"එහෙම තමා. මගෙ ජොබ් එකත් ස්ථිර කරයි හෙට අනිද්දා. එතකොට කෙලින්ම ක්ලාස් ටූ එකට ගන්නෙ. සැලරි එකත් වැඩි වෙනවා."

උසස් පෙළ විභහගයෙන් පස්සේ රැකියා සඳහා අයදුම් කරමින් අනූ නිවසේම කාලය ගත කලා.

"චූටි අයියෙ මට අරකෙන් ඉන්ටවිව් කෝල් කලා. දැන් කෝල් කලේ. කොළඹ හෙඩ් ඔෆිස් යන්න වෙනවා ඉන්ටවිව් එකට. අනේ මට පිස්සු වගේ චූටි අයියෙ..මං මැරෙයිද දන්නෙ නෑ අනේ.. අනේ මට මේක හීනයක් වගේ චූටි අයියේ.. අනේ මට බයයි.."

"හී හී ඔයාට වරදින්නෙ නෑ දෝණි. මම කිවුවෙ ටිකක් ඉවසන්න කියලා.ඔයා බය නැතුව ඉන්ටවිව් එකට යන්න. ලස්සනට පිලිවෙලට යන්න. අප්ප්ච්චි එක්කද යන්නෙ?

"හුම් ඔවු"

"මොකද්ද ඇදන් යන්නෙ"

"ම්ම්ම් ඔසරියක් තමා"

"බලන්නත් ආසයි. පරිස්සමෙන් ගිහින් එන්න මගෙ අම්මි"

**********************************

"චූටි අයියෙ මාව සිලෙක්ට් වුණා.  අනේ චූටි අයියෙ ඔයාට විස්වාස කරන්න පුලුවන්ද දැන් මට රස්සාවක් තියනවා?

මට පිස්සු වගේ චූටි අයියේ. "

"මට ගොඩක් සතුටුයි දෝණි."

"චූටි අයියේ .ඔයා අඩනවද?

"මට සතුටුයි. ගොඩක් ආඩම්බරයි ඔයා ගැන. ඔයා මගෙනෙ. "

"අඩන්න එපා චූටි අයියෙ. හෙට ඉදලාම මට යන්න වෙනවා."

"ඇදන් යන්න සාරි තියනවාද?"

"හෙටට ඉන්ටවිවු ඇදපු එක අදිනවා. අනිද්දාට එකක් අම්මා හෙට අරන් මහල තියයි. "

"ලස්සන සාරි ටිකක් ගන්න. මම එකවුන්ට් එකට සල්ලි දාන්නම්."

"මට හෙට ඉදලා දවසම ඔයාට කෝල් කරන්න බැරි වෙයි. ඔෆිස් ටයිම් එකේ ෆෝන් පාවිච්චි කරන්න එපාලු."

"හ්ම්ම් ඔයා කල්පනාවෙන් වැඩ ටික කරගන්න. බස් එකේ පරිස්සමෙන් යන්න.පාර පනිද්දි පරිස්සමෙන්. ටික දවසක් යද්දි ජොබ් එක ඔයාට හුරුවෙයි. එතකල් ටිකක් අමාරුවෙයි. ඉවසීමෙන් ඉන්න. කාත් එක්ක වත් ඕනාවට වඩා කතාවට නොගිහින් ගානට ඉන්න. පෞද්ගලික දේවල් කියන්න යන්න එපා. කවුරුත් මොකුත් කිවුවට ඒක අහගෙන ඉදලා පරිස්සමෙන් උත්තර දෙන්න. කා ගැනවත් කාත් එක්කවත් විවේචනය කරන්න එපා. "

"හ්ම්ම්ම්ම්ම් හිතට ගත්තා ඔක්කොම. එසේම කරන්නම් දේවයන් වහන්ස"

දින සති මාස ගෙවිලා ගියා. උදය ඔහුගේ රැකියාව සමඟ දවස ගෙවන අතරේ අනූ ඇගේ රැකියාව සමඟ කාර්‍ය් බහුල වුණා. මාස ගණනකින් ඔවුන්ට එකිනෙකා දැකගන්න ලැබුණේ නැහැ.

"ඩුවල් සිම් ෆෝන් එකක් ගන්නකල් කම්පැනි සිම් එක දාන්න වෙන නිසා කපල් සිම් එක අයින් කරන්න වෙනවා චූටි අයියේ."

"කමක් නැහැ දෝණි. මේ දවස් වල මගෙ අතේ වැඩිපුර සල්ලි නැහැ. අපි හිමීට ෆෝන් එකක් ගමු. "

"මට හරි මහන්සී චූටි අයියේ. උදේ පාන්දර හතරෙ ඉදන් ඇහැරලානෙ. ඔෆිස් එකේ දවසම ඔලුව වෙහෙසලා පැය දෙකක් බස් එකේ ඇවිත්. හම්මෝ බස් වල උදේටයි හවසටයි ඉන්න සෙනඟ. මම දැන් ගොඩාක් කෙට්ටු වෙලා චූටි අයියෙ."

"ඔයාව බලන්නත් ආසයි දෝණි.අපේ උන් මට විහිලුත් කරනවා මම දැන් ඔයාව බලන්න එන්නෙ නැති නිසා. මම එන්නම් ඕෆ් වෙද්දි දවසක්"

"හ්හ්ම් මට නිදිමතයි. මම තියන්නද චූටි අයියෙ"

"මවා දී තරු රටා අහසේ සිනාසී උන් තරු කිනිත්තෙන්
මලානික වූ පුංචි තරුවක් පොලෝ තලයට කඩා වැටුනා
සරා සඳකට දරාගන්නට බෑ"

පාන්දර වෙනකලුත් රහසින් කොදුරන වෙනදා ගන්න රාත්‍රී ඇමතුම, එකිනෙකාගේ හුස්ම වැටෙන සද්දය හරි ආදරෙන් අහගෙන..නිදි වදිනකල්ම සවනේ රැදෙන ඇමතුම, දැන් විසන්දි වෙලා.ඔවුන් එකිනෙකාගේ හිත් වලින් ඇහුවා.
"මේ අපිද?"

දවස් කිහිපයක් තිස්සේ දිනූගේ ජංගම දුරකතනයට එන නාදුනන ඇමතුම් ගැන දිනූ ගන්නා හුස්මක් පාසාම සිතුවා.
මාස ගණන් ඇයව නොදැක ඉන්න, ඇයට කතා නොකර කිසිවක් නොකියා ඉන්න උදයට පුලුවන් වුණේ කොහොමද කියලා ඇය සිතුවා.

කවුරුත් නොදන්න අලුත්ම දුරකතන අංකය පවා ඔවුන් දන්නේ කොහොමද
ෆේස් බුක් ගිණුම ඔවුන් දන්නේ කොහොමද.
එවලා තිබුණ පින්තූර වල ඉන්න ගෑණු කෙනා   කෙසේවෙතත් එනිත් කෙනා නම් උදය බව දිනූට සියයට දෙසීයක් විස්වාසයි.


සති කීපයකට පසු අනූට උදයගෙන් ඇමතුමක් ලැබුණා

"අපේ අප්පච්චිට සනීප නැහැ දෝණි. එයාට ගොඩක් අමාරුයි ."

"අප්පච්චිට ඇයි චූටි අයියෙ?"

"කැන්සර් එකක් ලු. හොයාගද්දි   පරක්කු වැඩියි ලු. පැතිරිලාලු. වයසත් එක්ක ඔපරේට් කරන එක අවදානම්ලු. අනේ අපි ගොඩක් අසරණ වෙලා දෝණි."

"අනේ චූටි අයියේ.. අප්පච්චිට මතකය ටික ටික අඩු වුණේ ඒක වෙන්න ඇති. ඔයා ශක්තිමත් වෙන්න චූටි අයියෙ. දැන් මොකද කරන්නෙ?"

"ඔපරේශන් එකට කැමැත්ත දෙන්න ඕනෙලු. එයා විදවනවා බලන් ඉන්න බැහැ. ඩොක්ටර්ලා කියන්නේ හොදම දේ එයාව බලාගන්න එක කියලා තවත් වේදනා නොදී. අම්මා මගෙන් අහනවා මොකද කරන්නෙ කියලා. මම මොකද දෝණි කරන්නෙ"

"ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක්නේ චූටි අයියෙ. ඔහොම වැටෙන්න එපා. හොදට හිතලා වැඩ කරන්න මේ වෙලාවෙ. මම ඔයාට හවස් වෙලා ගන්නම් චූටි අයියේ. මම පොඩි වැඩ වගයක ඉන්නේ."

"හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ"

හවස ඇමතුම සති කීපයක්ම මග හැරී ගියා. රෑ හත හමාරේ බසය නොතිබුන නිසා ගෙදරට පනිවිඩයක් යවා ත්‍රී රෝද
රථයක් ගෙන්වාගෙන නිවසට යමින් සිටි අනූගෙ දුරකතනයට කෙටි පණිවුඩයක් ලැබුණා.

"අපේ අප්පච්චිට ගොඩක් අමාරුයි අනූ නංගී.මට කතා නොකලාට කමක් නැහැ. එයාට සුව වෙන්න කියලා ප්‍රාර්තනා කරන්න..ඔයා ජීවිතේ ගොඩක් දුර ගමනක් යන්න ලෑස්ති වෙනවා කියලා මට ආරංචි වුණා. මම ඔයාට බාදා කරන්නෙ නැහැ නංගී"

"වසන් වන සඳ වලාකුලකට හඩා වැටුනට තාරකාවක් ආයේ එන්නේ නෑ
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ"

අනූගේ පපුව පසාරු කරගෙන ගිය ඒ වචන අතරින් ඇගේ ආත්මය හඩා වැටුණා. "අනූ නංගී" කවදාවත් ඔහුගෙන් නොඅසා තිබූ ඒ ආමන්ත්‍රණය ඇගේ හදවතේ දෝන්කාර දුන්නා. ඔහු මෙතරම් අසරණ ව ඉන්න මොහොතක මුළු ජීවිතේම දුක සැප බෙදාගන්න පෙරුම් පිරූ ඇයට මේ දුක බෙදාගන්න වත් වරම් නැතිවීම ගැන ඇය තුල ඇය ගැනම ඇති වුණේ  කලකිරීමක්.


"ආයෙ හැරෙන්න බැරි තරම් දුරකට ඔයා  මගෙන් ඈත්වෙලා චූටි අයියේ. ජීවිතේ ආපස්සට ගිහින් වැරදුන තැනක් නිවරදි කරලා එන්න ලැබුනොත්.. මට ඔයාව අත අත හැරුන තැනින් ආයේ අල්ලා ගන්න තිබුනා. ඒත් බැහැ . ආයෙ කවදාවත්ම මට ඔය අත අල්ලා ගන්න බැහැ. විශ්වාස කරන්න අමාරු වුණත් ඇත්ත ඒක. ඔයා අතක් අල්ලන් අලුත් ගමනක් යන්න පටන් අරන්. ඒ ගෑණු ළමයා කිවුව හැටියට ඒ ගමනට තියන එකම බාදකය මම.ඉතින් ඔන්න දැන් හරි. අවුරුදු දහයක් පුරාවට අපි දෙන්නා ගොඩනගපු මතක ජීවිතේ අවසන් හුස්ම වැටෙනකල්ම මතකයේ තියේවි. ජීවිතේ සමහර කාල වලදී අපේ ජීවිත වල වෙන හැල හැප්පීම් පාලනය කලේ අපිමද කියලා හිතෙනවා කාලය ගතවෙලා ආපහු හැරිලා බලද්දි. ඔයාගෙ ආදරේ හිතේ මතුවෙන හැම මොහොතකම හිත හඩාවි. ඇස් බොදවෙන කඳුලු ලෝකෙන් සැගවේවි,අපේ ආදරෙත් එක්කම.

"නිවීයන තරුවක කතාවේ බිඳීගිය මතකයේ සැමරුම
හිතේ ගැඹූරුම තැන තියාගෙන ආදරේ ඉකිබිඳුම් ඇසුනා
මලානික ඇස් හිනාවෙන්නේ නෑ
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ."

කාලය ඉක්මන් ගෙවී ගියා. උදයත් අනූත් දැන් විවාහකයින්. මවු පියවරුන් වෙලා. ඔවුන් එකිනෙකා හා ගොඩනැගූ අනාගතය, හීන අද ඔවුන් දෙදෙනාම වෙන හිත් දෙකක් සමඟ ගොඩනගාගෙන.ඒ අලුත් හිත් දෙකෙන් ලැබෙන ආදරේ හිස් තැන් අතරින් මතුවෙන හදවතේ ගැඹුරේම තැන්පත් වෙලා තිබුණු ආදරේ මතක සිතුවම් මනසේ ඇදෙන්නේ නිතැතින්ම. උනන කඳුලු සුසුම් රහසේම සගවාන මුවගට හිනාවක් නගාගෙන ඔවුන් ආයෙත් ඔවුනොවුන්ට උරුම වුණු හිත් අස්සේ ආදරේ උණුහුම හොයනවා.

"වසන් වන සඳ වලාකුලකට හඩා වැටුනට තාරකාවක් ආයේ එන්නේ නෑ
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ"



ගීතය රසවිදින්න මෙතනින්...

No comments: