Saturday, 29 June 2019

මා බාල කාලේ. 01


මේ කාලේ.. වගේ නෙවේ.. ඒ කාලේ...ඒ කාලේ..මහප්පා දෙන සත දෙක අරන් ට්‍රන්ක පෙට්ටියත් උස්සන් ඉස්ස්කෝලේ ගිහාම..ඔය  දැන් කාලේ වගේ......"

ඒ අත්තම්මා. වෙවුලන ස්වරයෙන් රස කර කර ඇගේ මතකයට එන එන ගානේ කියන ඒ කාලේ ගැන අහන්න අපි බාල කාලේ හරිම ආසයි නේද?

"අපේ කාලෙ නම් ඔය නාඩගම් තිබුනෙත් නෑ..අපි ඔය වයසට ඕවා දන්නෙත් නෑ."

ඒ අම්මා. ටිකක් විතර කේන්ති ගිහාම අපිට කියන ඒ කාලේ ගැන අත්තම්මා  වගේ රසට අපිට නොකිවුවට ඇයත් අත්තම්මා කෙනෙක් වුණ දාට අපේ ළමයින්ට කියාවි නේද ඒ කාලේ ගැන රස කතා.

එතකොට අපි? අපිත් මේ අපේ කාලේ ගැන අනාගතේ දවසක අපේ දරු මුණුබුරන්ට කියාවි ද ඒ කාලේ රස කතා.?

බොහෝ විට ෆේස් බුක් ටුවිටර් ඔස්සේ නෙත ගැටෙන මාතෘකා අතර විවිධ තේමා පාඨ යටතේ "ඒ කාල මේ කාල බේදය" මුල් තැනක් ගන්නවා නේද?

ටිකෙන් ටික කාලය අනාගතයට යන විට අතීතය රසවත් වෙලා වර්තමානය "අපේ ඒ කාලේ" තරම් රස නැති වෙලා ඉදිරි අනාගතයේ රස ගැන ප්‍රශ්නාර්තයක් හිතේ ඉතිරි වෙලා. ඒ විදිහට අපි දශක කීයක්, පරම්පරා කීයක් ගෙවාගෙන ඇවිත්ද.

වෙනස් වන ලොව නොවෙනස් වන එකම දේ වෙනස් වීම පමණයි කියලා කතාවක් තියනවනේ. ඉතින් අපි අපේ කාලයේ රස මුසු තැන් කතා කරමු. ඒවා මේ කාලයේ උන්දැලාට අත් විදින්න නැහැ කියලා අපේ කාලේ ඈයෝ කිඹුල් කඳුළු හෙලන්ට කාරි නෑ. අපේ කාලේ ඕවා තිබ්බේ නැහැ කියලා මේ කාලේ උන්දැලාට ඔරවන්ටත් කාරි නෑ. වෙනස් වීම තේරුම් අරන් ජීවිතයට මුහුණ දෙමු.

මා බාල කාලේ. . [එකදහස් නවසිය අනූ ගනන් වල ;) ]
අයන්න අල්මයන්න මායන්න අම්මා කියල අකුරු අමුනන කාලෙ ඉදල අපි දැක්ක,අපේ යටි හිතේ නොමැකෙන ලෙස තැම්පත් උන, ආයෙ ආයෙ ආසාවෙන් ආදරෙන් මතක් කරන්න කැමති, ඒ සුන්දර මතකයන් අතර ඇති රසමුසු දෑ අතරින් මසිතේ තවමත් රැදී ඇති රූපවාහිනී වැඩසටහන් කීපයක් ගැනයි මේ මුලින්ම මතකය ආවර්ජනය කරන්න හිතුවේ.

මේ වැඩසටහන් ජීවිතයට කොච්චර සමීප වුණාද කියනවා නම් අදටත් අහම්බෙන් ඇහෙන මේවායේ තේමා පාඨයකට පුලුවන් අතීත සුවඳ හාරාවුස්සලා දෑස් තෙත් කරන්න පවා!

💠 ටයි මාමාගේ තේමා ගීතය.


දැන් මේ වැඩසටහන,මේ වෙලාවට මේක' කියලා වත් කියන්න දැනුමක් නැති තරම් බාල කාලෙ.ඒත්.. රූපවාහිනිය දිහා බලන් ඉද්දි එක පාරටම ටයි මාමගෙ මේ රූපෙ යද්දි හිතට දැනුන සතුට!

💠 ඔශින්.


වයස් බේදයකින් තොරව කොයි කවුරුත් බොහොම ආසාවෙන් රසවිදපු කතාවක් තමයි මේ.

"ඔශින්.. ඔශින්... ඔශින් ... ඔශින්... පලමු වන හා දෙවන ලෝක සංග්‍රාමයන්  දෙක අතර තුර කාලයෙහි... ජපානයේ සිදුවූ සමාජ ආර්ථික සංස්කෘතික පරිවර්තන .. ඔශින් වෘතාන්තය පි‍ටුපසින් දිවෙයි...  ආදියේ සිට සිරිලක හා ජපානය අතර....... සමසංස්කෘතික සබැඳියාවෙන්... ජපානයේ එන් එච් කේ ආයතනය.. මේ සිංහල දෙබසින් තවද රසවත් වූ ඔශින්... ඔබ සැමගේ පහන් සංවේගය උදෙසා ... මෙසේ.... පිරිනැමෙන වගයි..."

මම කියන්නෙ නැහැ අද විකාශනය වෙන කාටූන් බහුතරයක් අරුත්සුන් වලියට බර හරිම කලබලකාරී කාටූන් කියලාම. ;) ඒත් මා බාල කාලයේ නම් ටයි මාමා ළමයින් වෙනුවෙන් හරි අපූරු කාටූන් පෙලක් තෝරාගෙන තිබුණා.

💠 පිස්සු පූසා.


සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්
අද මැදුරේ හෙට පැදුරේ පිස්සු පූසා මු..
පිස්සා මු පිස්සා මු පිස්සු පූසා මු..//


💠 දොස්තර හොද හිත.


මුහුඳ මගේ ගොඩබිමයි..
නැව මගෙ නිවසට සමයි..
සියළු සතුන් මගෙ තමයි..
දොස්තර හොද හිත මමයි..


දොස්තර සත්තු එක්ක කතා කරන රහස දැනගන්න පේවී සිටින දිය රකුස් ඇතුලු කන්ඩායම.
රූප රාමුවක් දුටුවත් මේ චරිත එක එකකගේ කටහඩ බොහොම පැහැදිලිව හදවතේ දෝංකාර දෙන තරමට මේ සියලු කතා හදවතේ රැදී තියනවා.


💠 වලස් මාමා.


මාමා වලස් මාමා..
නැන්දා වලස් නැන්දා..
කවුරුද කවුරුද රන්ඩු කරන්නේ..
නැන්දයි මාමයි රන්ඩු කරන්නේ..


💠 හා හා හරි හාවා.

හා හා හරි හාවා‍..
කැලේ මැදින් ආවා..
හිටගෙන ගඟ ගාවා..
වටපිට ඇහැ ලෑවා..


💠 ටින් ටින් ගේ වීරක්‍රියා.


ටින් ටින්,ස්නෝවී, කැප්ටන් හැඩොක්, මහාචාර්‍ය කැල්කියුලස්,තොම්ප්සන් සහ තොම්සන්, බියන්කා කැස්ටෆියුරි. මතකද මේ චරිත පෙල. ජාතික රූපවාහිනියේ වගේම පසුකලෙක සිරස රූපවාහිනියෙත් ටින් ටින් විකාශනය වුණා.

සෝරෝ, ඉඟුරු පාන් මල්ලී, වගේ එකී මෙකී නොකී කාටූන් පෙලක් අපි රසවින්දා. 

💠 සුරඟන කතා කරලිය.

  ⚫ ගෙඹි කුමාරයා.


සැනසෙයි මා මිතුරෙක් දැන්..
ප්‍රේමෙ විනෝදේ පාලා..
කුමරිය මාගේ මිතුරී..
මැඩියා ඔබේමයි රැජිණියේ..

නෙළුම් පතින් ආ ආලය මෝරා..
මට පෙම් බැන්දා මගෙ පෙම් සුදා..
මැඩියා ඔබේ මයි ප්‍රේම විනෝදේ පාලා..
ලිං ගැට්ටේ අපි ප්‍රේම කරන්නේ..



⚫හිම කුමරිය.
     

⚫ ජැක් සහ මායා බෝංචි වැල.


ඇලඩින්ගේ පුදුම පහණ, සුරූපී සහ විරූපී, ගිණිකූරු කෙල්ල වැනි සුරඟන කතා බොහොමයකද ඒ අතර වේ.

💠 රොබින්සන් අන්දරය.


සයුරේ..
ජීවිත නැව පෙරලී..
මුතු සොයනා අය කොහිදෝ..
පන නල පාගා...

ආයේ ආයේ ඇසුවත් අඩුවක් නැති ඒ තේමා ගීතයේ මිහිර වගේමයි බාල කාලයේ අප පෙම් බැදි ඒ චරිත. ක්‍රිස්ටිනා සහ සිය මිතුරන් බිලී, හෙන්ඩ්‍රියාටා, බානබස්,බෲනෝ, රොබින්සන්, එලිසබෙත්,අර්න්ස්ට්, ජොආනා, මිස් චෙං පාසන්, බෙන් මේ චරිත වටා ගෙතුන අපූරු කතාව බලන්න අපි කොතරම් ආසාවෙන් මඟ බලන් හිටියද ඒ කාලේ.


පන් පසිදුවන්, බෲම් ඇතුලු සිංහල හඩකැවූ නාට්‍ය රැසක් ඒ අතර තිබුණා


💠 සිංහල ටෙලි නාට්‍ය.

දූ දරුවෝ වගේ කොටස් 230 කින් පමණ සමන්විත වූ දැවැන්ත නාට්‍ය හැරුනකොට එකල විකාශය වූ බොහෝ නාට්‍ය කොටස් 20 කින් 30 කින් පමණ සමන්විත වුණා. ජාතික රූපවාහිණියේ රාත්‍රී 8 ප්‍රවෘර්ති විකාශයෙන් අනතුරුව දිනකට එක බැගින් නාට්‍ය හතක් රාත්‍රී 8.30 සිට 9.00 දක්වා විකාශනය වුණා. 


මේවැනි තේමා වාදනයන්ගෙන් ආරම්භවන නාට්‍යක් නම් ඒවා බොහොම රසවත් බව අප නාට්‍ය ආරම්භයේදීම දැන සිටියා.

අදටත් මේ වාදනය ඇසෙන විට හිතට දැනෙනවා ඒ වචනයෙන් විස්තර කල නොහැකි අතීත මිහිර. 

💠 වෙළඳ දැන්වීම්.

⚫ නාට්‍ය අතරතුර විකාශය වූ වෙළඳ දැන්වීම් අතරේ හේතුවක් කිව නොහැකි නමුත් මා පළමුව සදහන් කරන්නේ මේ  හොරණ සුගත රසායනාගාරයේ වෙළඳ දැන්වීම.

ඇලි මැලි කම් දුරු කරවන
වැයවන සිරුරට පන දෙන
ලඳුනගෙ ඇති රුව රැක දෙන
හෙල ඔසුවකි සුවෙන් සූ....
සුවෙන් සිටීමට සුවෙන් සූ

⚫ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වෙළඳ දැන්වීම.

සතෙන් සතේ..
රුපියලෙන් රුපියල..
එකතු කරලා..
එකතු කරලා..

⚫ අලියා බීම වෙළඳ දැන්වීම.

මිහිරෙන්.. මතකයේ ඇදේ..
ඒ රසේ.. රැදේ මා සිතේ..
සොදූරු මතක සිත පිරේ..

⚫සෙලාන් බැංකුවේ මුදල් හුවමාරු වෙළඳ දැන්වීම.

"ඔක්කොම හරිනෙ? "

"මුද්ද ඔයා ලඟනෙ?"

"ඔවු මං ගාව."

"ආහ්?"
("යං වෙලාව හරි")

"මොනව හරි කරන්න ඉක්මනට."

"ආහ් ලන්ඩන් වල ඇල්බට් අංකල්!"

⚫ ක්ලෝගාර්ඩ් වෙළඳ දැන්වීම.

"බබා.. තේ එක රසද?"

"ඒ වගේ තේ එකක් නම් මම කවදාවත් බීලා නෑ"

"ඇත්තද..? මමත් මීට කලින් කවදාවත් තේ හදලා නෑ"

මේ වගේ රසවත් වෙළඳ දැන්වීම රැසක් ඒ කාලේ රූපවාහිණියෙන් විකාශනය වුණා.

මතක ආවර්ජනය කරන අතර තුරේ වචනයෙන් විස්තර කල නොහැකි කියන වාක්‍ය කීප සැරයක්ම යොදන්න වුණ නිසා මම ටිකක් උත්සාහා කලා මේ වචනයෙන් කියන්න බැරි හැගීම වචනයෙන් කියන්න. ඒ අසාර්ථක උත්සාහයෙන් පස්සේ ආයෙත් ඒ වාක්‍යම යොදන්න මට සිද්ද වුණා. අනූව දශකයේ මේ සමහර නාට්‍ය, සංගීත කන්ඩ, ගීත මට අම්මගේ බඩේදීම ඇහෙන්න ඇති කියලා වෙලාවකට හිතෙන්නේ ඒ තරම්ම ඒවා හද ගැස්මේ රිද්මයට බලපෑම් කරන නිසා.

මට වගේම ඔයාලාටත් ඇති මේ වගේ මතක.
බාල කාලයේ අහපු දැකපු මතක ආයෙත් ඇහෙද්දී දකිද්දී ඔයාලටත් එහෙම දැනෙනවද? 

Friday, 21 June 2019

හිතුවක්කාර හීන.



නුඹෙ අතක එල්ලිලා යන්න සැනකෙලි
පොසොන් මහේ එක රැයක්
නුඹත් එක්ක හීනයක්
පාට නොවෙන හීනයක්

දෑත් පටලන් සෙනඟ පීරන් බලන්න යන්න කූඩු
හඳ අඳුර කපන රැයක හීනයක්
හිත කිතිකැවෙන හීනයක්

රළුද සියුමැලිද කියාවත් නොදන්න
නුබේ දෑත පටලන් හිම කිරන කන්න
පොසොන් සුළඟැති රැයක හීනයක්
අසම්මුතිත හීනයක්

නුඹෙ දෑසට එබී ආදරේ හැඟුම් හොයන්න
හුස්ම හිරවෙන තරම් හිනාවෙන්න
සිතුවිලි පියබන රැයක හීනයක්
හිතුවක්කාර හීනයක්

නුඹටත් ඇති හීනයක්
නුඹෙ හීන මැණිකෙ එක්ක හීනයක්
ආදරණීයම හීනයක්
මතු දිනක මම දකින සැබෑවක්


Tuesday, 11 June 2019

හිමි අහිමි

බටහිර අහසේ රත් පැහැයෙන් ගහ කොල පාටවෙලා. ඉර ගිලී ඇඳිරි වැටෙන්න තව හෝරාවක් දෙකක් ඇති. මුළු පරිසරයම ලා කහ පැහැයකින් වෙලාගෙන.සිසිල් පොසොන් සුළං රැලින් දහවල දැඩි හිරු රැසින් ගිනියම් වූ පරිසරය නිවාලයි. මිදුලේ සිලි සිලි හඩින් සුළං ලතාවට නටන වෙසක් කූඩු කීපයේ රැලි මගේ රූප රාමුවට තවත් සුන්දරත්වයක් එක් කලා. සවසට ගාළු පාර මෙන් කාර්‍ය බහුල වෙන මන්තීරු දෙකේ තාර පාර හෙට අනිදා අපේ ඉඩමෙනුත් කොටසක් ගිලගෙන තවත් ලොකු මන්තීරු උඩින් කාපට් එකකුත් එලා ගතාම කොහොමට තියෙයි දැයි මට සිතුනා.

පාරෙන් එපිට ගලා යන ඇල ජනයාගෙන් පිරී ඇති බව පාර අයිනේ නවතා ඇති ත්‍රී රෝද රථ හා මෝටර් බයිසිකල් ප්‍රමාණයෙන් අනුමාන කල හැකී.ඒ අතරේ සමහරෙක් රෙදි බේසම් බාල්දි පොදි බැදගෙන දැරු පැටවුන්ද කැටුව වාහන වලින් තදබදය අඩු මන්කඩක් සොයා ගැනීමේ උත්සාහයක යෙදී සිටියා.

පරිසරයට සමවැදී හුදකලාවේ සිටි මා හදිසියේ සවන් පත් ගෑවෙන නොගෑවෙන තරමේ දුරින් ඇසුනු සුපුරුදු කටහඩින් උඩගොස් බිම වැටුණා.

"කඳු පාමුල සිට දැහැනට සමවැද...මා ගයනා ගී ඔබට ඇසෙනවද...කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන...ආල වඩන සඳ කිඳුරු ලියේ..."

"චූටි අයියෙ ඔ ඔ ඔයා.."

" බය වුනාද ම්ම්ම්. මොකෝ මේ දැහැනට සම වැදිලා. කල්පනා කලේ නම් මං ගැන වෙන්න බෑ.. "

" හ්ම්ම් කල්පනා කලේ නම් ඔයා ගැන නෙවේ. ඒත් කොහොමද එහෙම කිවුවෙ? "

"තරු පාට නිලට දිලිසෙන..ඔය ඇස් කතා කරන ලස්සන.. මම නොදන්නවා නොවේ දන්නවා.. මම නොදන්නවා වගේ ඉන්නවා.. "

"හරි හරි.. ලස්සනයි ලස්සනයි. දන්නවද චූටි අයියෙ. මේ ලෝකේ කොච්චර ලස්සනට සිංග් කරන සංග්ර්ස්ලා හිටියත් ඒ හැම සින්දුවක්ම ඔයාගෙ කටහඩින් අහන තරම් මට ලස්සන නැහැ.
කියන්න ඇයි මේ හදිස්සියෙම?"

"හදිස්සියක් නෑ. හොද ළමය වගේ ගිහින් ලෑස්තිවෙලා එන්නකෝ..අපි ටිකක් එලියට යමු."

"අනේ ශෝක් චුටි අයියේ.මම හරි පාලුවෙන් හිටියෙ. අපි කොහෙද යන්නෙ.? "

"අපි...ම්ම්ම් අපි අද.. ඔලුව හැරිච්ච අතේ යමු."

"ශා මරු.මං ටුක් ගාලා එන්නම් හොදේ."

ඉදිරියේ ඇති ලස්සන මොහොතින් එක විනාඩියක් වත් නිකරුනේ නාස්ති කරන්න ලෝබ සිතෙන තරමට ඔහු හා රස්තියාදුවේ යාමට මා පෙම් කලෙමි.  කලබලයට ඇදීමට ඇදුමක් වත් සිතට නොඑයි.තත්පර දහයක් තුල ඇද දැමූ ඇදුම් පහ හයෙන් එකක් සාරාංශ කොට ඇගලා ගෙන සැහැල්ලු පාවහන් යුවලක් පයලාගතිමි.

"මම ලෑස්තී චූටි අයියේ.. අද මොන මල වගේද?"

මා දුටු විගසම ඇදුමේ වර්ණයෙන් ඇති මලක නමක් පටබැදීමේ ඔහුගේ සුපුරුදු පුරුද්ද සිහිවී මා විමසුවෙමි

"අද නම් හොදට ඉදිච්ච තක්කාලි ගෙඩියක් වගේ"

" :( අනේ..ඇයි ඒ? කමක් නෑ තක්කාලිනෙ. :D "

"ම්ම්ම් අද මගෙ පිච්ච මලේ සුවඳ..."

"මේ ඕඩිකොලෝන් නෙ චූටි අයියෙ.. "

"මොකද්ද බබා ඔය කොලොන් එක? "

"ජොන්සන්ස් බේබි ටෙඩි බෙයාර් කොලෝන් එක."

"යද්දි එකක් අරන් යන්න ඕනෙ. ඔයා ගාව ඉදලා ගියාම මගේ ශර්ට් එකේ මේ පැත්තෙම ඔයාගෙ සුවඳ. ඉතින් හෝදන්න ලෝබයි."

"අනේ...එච්චරටම මගේ සුවඳටත් ආසයිද?"

"බබා.. ඔයා අඩනවද? ඕකනේ ඉතින් මොකුත් කියන්න බෑ ටැප් එක ඇරගන්නවනේ.හ්ම් යමු"

නිදහසේ කඩා දැමූ කෙස් වැටිය සකසා හෙල්මටය පරිස්සමෙන් මගේ හිසට දමා තත්පර කීපයක් දෑසට එබී බලා සිට මුව පුරා ඉතිරී ගිය ආදරණීය සිනහවත් සමග ඔහු බයිසිකලයට ගොඩවුණා.

සෙනෙහස රැකවරනය හා නිදහස ඇති තැන දැනෙන සැනසීමෙන් හිත පිරී යද්දී මා ඔහුගේ බඳ වටා දෑත පටලා ගනිමින් උරහිසේ මුහුණ හොවා ගතිමි.


"දන්නවද චූටි අයියේ..කොච්චර සැප කොට්ට මෙට්ට තිබුනත් මට සනීපම මේ උරහිස.දැන් ඉතින් අපි කොහෙද යන්නේ.."

"ඉස්සරහා තියනවා පොඩි ලෑලි කඩයක්.එතන උණු උණු රොටී තියනවා ළුණුමිරිස් එක්ක."

"න් නෑහ්. ටීත් තියනවද? "

"ම්ම්ම් තියනවා. අපි එතනින් කාලා යමු වැවට."

මින්නේරිය වැව පේන මානයේ පාර අයිනට වෙන්න තිබූ ලෑලි කඩයේ සිටි සීයා රොටී පුච්චමින් සිටියා.
ඔහු උණු රොටියක් ලුණු මිරිස් සමඟ රැගෙන විත් පසෙකින් තිබූ ලෑලි බංකුවේ වාඩි වී මා අත තැබුවා.

"පළවෙනි කට මට..."

"ටිකක් සැරයි බබා. හොද වතුර තියනවද දන්නෙත් නෑ."

"සැරට ශෝක් චූටි අයියේ. සැරට කාලා ටී බොද්දි මාර රසයි. "

"ඉන්න මං ටී දෙකක් දාගෙන එන්නම්"

සොටු කදුළු පෙරාන උණු කිරි තේ එක බොන දිහා ආදරෙන් බලා සිට උගුරක් දෙකක් බී ඔහුගේ තේ එකත් මටම පෙවුවා. සීයාට සමු දී අප මින්නේරි වැවට යාමට පිටත් වුණා.

මින්නේරි දේවාලට පසු කර මද දුරක් ගොස් ගසක් යට බයිසිකලය නතර කර මාතින් අල්වාගෙන ගොස් වැවු බැම්මේ අතුරා ඇති කළු ගල් මත හිද ගත්තා.

අවසන් හිරු රැස් කීපය වැවු දිය සිප ගනිමින් සිටියා. ලිහිනින් කොකුන් දිය කාවන් වැනි නානාවිද පක්ෂීන් දවස නිමාකර කැදලි කරා යාමට පටන් ගෙන.
පැටලී තිබූ අපේ දෑගිලි මුදා ගනිමින් විටින් විට ඔහුගේ දෑසට හසුවෙන සොඳුරු දසුන් කුඩා දරුවෙකුට මෙන් මට පෙන්වීමට වෙහෙසුනා. නැවත පෙරටත් වඩා තදින් දෑගිලි පටලා ගනිමින් ඔහුගේ උණුහුමින් මා උණුසුම් කලා.
දිය රැලි නංවමින් වැවු දිය පිස එන සුළං රැලින් අකීකරු ලෙස මුහුණ පුරා දුවන හිතුවක්කාර කෙහෙරැලින් මගේ මුහුණ මුදන්නට ඔහුගේ අතැගිලි නිරන්තර අසාර්තක උත්සාහයක යෙදී සිටියා. මුහුනේ දැවටෙන ඒ අතැගිලි පහසත් ඔහුගේ සෙනෙහසේ උණුසුමත් මේ සුවදායක සොදුරු පරිසරයත් මා ඇසිල්ලකින් සුව නින්දකට ගෙන ගියා.


"දුව.....දුව...
පවු කම්මැලි කමේ කැරකි කැරකි හිටියෙ. පුටුවෙම නින්ද ගිහින්"

"ඇහැරවලා ඇදට යවන්න.නැත්තන් බෙල්ල උලුක්කු වෙයි"

සිහිනයෙන් මෙන් ඇසුන නැන්දම්මාගේත් මාමන්ඩියගේ ත් සංවාදයෙන් මා කෙමෙන් පියවි සිහියට එලබෙමින් සිටියා.

සිහිනය හා හැබෑව අතර පැටලුන සිතුවිලි තුලින් ඇතිවූ ව්‍යාකූල බවින් දෑස් පියාන විනාඩි දහයක් පමණ නිදි සේයාවෙන්ම ගෙවී ගියා. අවසානයේ සිත අරමුණක් නැති පිලිවෙලක් නැති සිතිවිලි අතර සැරි සරමින් සිටින බව සිහිවී නැගිට ගොස් කිරි තේ ජොගුවක් සාදාගෙන කියවමින් සිටි පොත නැවත කියවීමට පටන් ගතිමි.


"වසන්තය දෝතින් දරන්
පැමිණිදා සෙනෙහස අරන්
ඔබෙන් හදුනා ගතිමි සකිසද
ජීවිතේ නම් කිමැයි...."

Tuesday, 28 May 2019

මගේ නිවන මගේ පැල්පතයි.

දුම්බර මිටියාවතට තවත් උදෑසනක් උදාවෙලා.උදා හිරු කිරණ මීදුම් වලා අතරින් පෙනෙන තෙක් මානෙ ඇති  ගොයමට වැටිලා. පිනි බිංදු මුතු කැට මෙන් දිළෙයි .සුමනා ලිප මොලවන හඩින් අවදි වූ සියදෝරිස් වතුර පොල් කටුවද රැගෙන මිදුලට බැස්සා.

"පින්න සැරයි මයෙ දුවේ. මීදුම ටිකක් තුනී වෙනකල් හිටින්. "

අනුලා පාන්දරින්ම
මල් පැල නහවනවා දුටු සියදෝරිස් පැවසුවා.
මලක් මෙන් සොදුරු පියකරු සුයදෝරිස්ගේ එකම දියනිය අනුලාගේ දිනය ඇරබෙන්නේ ඇගේ අතින් හැඩවූ ගෙමිදුලේ ගස් වැල් මල් සමඟ කෙරෙන කුටු කුටුවෙන් අනතුරුව බව ඔහු දනී.

"බලන්ටකො අප්පච්චි මෙදා සැරේ මගේ දාස්පෙතියා පාත්තයෙයි සූරිය කාන්ත පාත්තියෙයි තරගෙට මල් පිපිලා."

පාන්දර ජාමේ හඩලන කෑරල හඩින් හිරුටත් කලින් අවදිවී මිදුල දෙපස එක සීරුවට වවා ඇති උදුපියලිය පලසට වැටී ඇති පින්නේ දෙපා දොවන්න අනුලා වඩාත් ආසා කලා. මීදුම අතරින් වැටෙන පළමු හිරු කිරනේ නැවුම් සුවද නැහැ පුඩු සීතල වෙනකල් සිබින්න ඇය ආසා කලා.

"අම්මගේ අත්ගුනේ බොලාටත් නැතුවායෑ."

කුස්සියේ උන් සුමනා මහත් ආඩම්බරයෙන් අප්පක්චිගේත් දෝණිඇන්දාගේත් කතාවට එකතු වුණා.

"මයේ මොන අත් ගුනේද.. මේ රත්තරන් පොලවේ දර ලීයටත් පණ එනවා අපේ මහත්තයෝ."

සිය සැමියාගේ වර්ණනාවෙන් උඩගු නොවීමට මෙන් සුමනා පැවසුවා.

"කෝ මේ සේපාල"

උදෑසන තවමත් සාමකාමී වීමට හේතුව සිහිවුනාක් මෙන් හදිසියේ සියදෝරිස් විපරම් කලා.

"බෙලෙක්කේ සද්දෙ ඇහෙනකල් ඉහෙන් කනින් පොරවන් ඇති. නැගිටලා මූණ කට හෝදනකල් තේ කහට වක් කොරන් නෑ ඕකාට මං අද."

"අම්මේ... තේක වැක්කෙරුවද..? "

සුමනාගේ අත්දැකීම් සාත්තරය නිවරදි බව ඔප්පු කරමින් සේපාල අවදි වුණා.

"ආ පුංචි හාමු පැටියා හිටින්ට මම විස්කෝතුත් එක්ක බන්දේසියට ඇරන් එනකල්."

"වූ තාම පොඩි එකා මැණිකේ.."

"අප්පච්චිගේ හුරතලේ හින්දා තමා මූ කම්මැලි වෙන්නෙ. "

"කරදඩු උස් මහත් උණාම උං අපි එක්ක හුරතල් වෙන්ට එන්නෙ නෑ මයෙ මැණිකේ. ඔය දැන් කොරන තරමක් තමා. "

සුමනාගේ දෑත දෝණි ඇන්දාට නොපෙනෙන්ට පිරිමැද සියදෝරිස් හකුරු කෑල්ල සමඟ තේ කෝප්පය සුමනා අතින් ගනිමින් පැවසුවා.

විවාහ වී වසර අහ අටක් විස්සක් ගෙවී ගියද සියදෝරිස්ගේ සෙනෙහස සුමනාට උදයට පායන හිරු මෙන් හැම දිනකම නැවුම්ව දැනුණා.

සියදෝරිස් කුඹුරට යන්ට කලියෙන් දිය බත සාදා පොල් සම්බෝලයක් ගලේ අඹරා ගත්  සුමනා ඉයේ පොලෙන් ගෙනා අලුත් කට්ටා කරවල කෑල්ලෙන් හොද්දක් ඒදන්ට කඩිසර වුණා. තක්කාලි යහමින් දමා රම්පේ කරපිංචා බැදපු පහේ එක්ක හොද්ද පිසෙන විට එන සුවද නිවැසියන්ට කුසගිනි වඩන බෙහෙතක් වැනිය.

"දුවේ.. මයෙ අම්මා විගහින් ගොහින් කවලං මැල්ලුමට කොල මිටක් කඩන් වරෙන්"

උණු පිට කැකුළු හාලේ බතට ගලේ අඹරා ගත් පොල් සම්බෝලයත් කට්ටා කරවල හොද්දත් කවලං මැල්ලුමත් එක්කාසු වුණ විට වෙන මක්කෙයි.

"අප්පච්චී කුඹුරට යන්ටෙයි? මාත් එනවා අද අප්පච්චී එක්ක."

ඊයේ පෙරේදා කොට කලිසම් කෑල්ලෙන් සරම් පොඩ්ඩට වැටුන දඟකාර හුරතල් කොලුපැටියා කන් කෙදිරි ගාමින් සියදෝරිස්ගේ පස්සෙන් වැටුණා

"හ්ම්ම් යමං එහෙනම්. දුවේ.. ඔය ලබු කැටේට  විගහින් වතුර එකක් පුරවන් වරෙන්."

"ආ මේං අප්පච්චි.
ඉදා..මල්ලි මේ කොහෙ යන්ටද අප්පච්චි පස්සෙන් වැටිලා ඉන්නෙ."

අනුලා සරදමට මෙන් විමසුවා.

"මාත් යනෝ කුඹුරට. අප්පච්චී මට අද අරක හදලා දෙනවා නේද?"

"සෙල්ලම් කරන්ටයැ කුඹුරට යන්නෙ.. මූට උදැල්ලක් හදවලා දෙන්ට අප්පච්චී හෙට ඉදන් කුඹුරට එයිද බලන්ට."

"හා හා උබලා මෙතන කෙහෙවලු පටලවාගන්නේ නැතුව දෙන්නත් එක්කම වරෙල්ලා. අද අපි පබයෙක් හදලා හිටවමු. ගිරවු ටික දැන්ම ලෑස්තිවෙයි නැත්තන්."

තවත් පුවක් හුනු දුන්කොල යහමින් මැදි වූ බුලත් කොලයක් නවා කටේ ඔබා ගත් සියදෝරිස් උදැල්ල කරේ තබා ගනිමින් පැවසුවා.

"මල්ලිගේ සරමකුයි කමිසෙකුයි ගන්ටද අප්පච්චී පබයට.."

කෝපයට පත් සේපාල වැලේ වනා තිබූ අනුලාගේ ගවුමක් ගෙන ගේ වටේ දුවමින් අනුලාට සරදම් කරන අතරේ
දෙමහල්ලෝ දරු දෙදෙනාගේ කෙලි කවට බලා සිනාසෙයි.

"අප්පච්චිලා පුතාලා යන්ටකෝ එහෙනම් මම ඉර මුදුන් වෙන්ට කලියෙන් තේ ඩිංගිත්තක් හදාන එන්නම්."

"අම්මේ මට ලැවරියා හදා ඕනෙ අද නම්"

"හරි හරි උඹ හරියට මහන්සි වෙනවා නොවැ.. මං හදන් එන්නම්කෝ පුංචි මහත්තයෝ"

පොඩි දුවගේ සිනා වැළයි                          පොඩි පුතුගේ කතා පෙළයි
ප්‍රිය බිරිදගේ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි..

"අප්පොච්චී.. මේ බලන්ටකෝ..."

කෙලීගේ බෙරිහන් දීම නිසා කලබල වූ සියදෝරිස් වහා දිව ආවා.

"මං බය වෙච්ච තරමක්. උබලෑ අම්මගේ හපන්කන් වලට දැන් දැන් මට පුදුම හිතෙන්නෙත් නැති ගානයි දුවේ."

සියදෝරිස් හා දරු දෙදෙනා කුඹුරට ගිය අතරේ නිවසේ තනි වූ සුමනා පෙරදා හවස පිල්ලෑවේ ඇල ඉවුරේ හුබහෙන් කපාගෙන ආ හුඹස් මැටි ගොම හා අනා මුළු නිවසම මැටි පිරියම් කොට තිබුණා.

අල්පේච්ච ජීවිතයක් ගෙවූ සියදෝරිස්ගේ නිවසේ තිබූ ගැණිය හැකි බඩු මුට්ටු කීපය නිවසේ ඉතා පිළිවෙලට තබා තිබුණා. ගොම හා මැටි ඇතිරූ බිම ඇලවෙන පමාවට ඇහැ පියවෙන සිසිලක් රැදී තිබුනා.

වහලයේ පොල් අතු අතරින් විත් ගෙබිමට වැටෙන එළි බෝල අතින් මුවා කරමින්  කොලු පැටියා කරන සෙල්ලම දෙස සියදෝරිස් මොහොතක් බලා සිටියා.

කටුමැටි ගෑ බිත්ති පුරා
පළිගු මැණික් එළිය දිළෙයි
ගොම මැටි ගෑ ගෙබිම මගේ
පියවිලි බුමුතුරුණු වගේ

"මැණිකේ... මං කඩමන්ඩියට ගොහින් කලමනා ටිකක් කාරිය අරන් එන්නං."

"පොලෙනුත් ගෙනාවා නොවැ. සුනංගු නොවී එන්ට ඕනෙ ඕං. තිවුනොත් සක්කර ටිකක් ඇන්න එන්ට තේ බොන්ට."

එසේ කිවුවත් සියදෝරිස් කඩමන්ඩියට යන්නේ ඇයිදැයි ඈ දනී. ඈ දන්නා වග සියදෝරිස්ද දනී.

සියදෝරිස් නිවසට ඒමට පෙර සුමනා කෑම පිස අවසන් කලා.
සේපාල ඇදිරි වටෙන විටම කා බී නින්දට වැටෙයි.

"අප්පොච්චා තාම නැහැනොවැ දුවේ."

සුමනාගේ නොයිවසිල්ල හා බිය  කෙමෙන් කෙමෙන් වැඩි වෙයි.

"මෙලහකටත් එනවා ඇති. මට නිදිමතයි අම්මේ කමුකෝ.."

"කාලා නිදාගන්න මයෙ දුවේ. අප්පොච්චා ආවම මං කන්නම්."

ඉද හිට උදාවෙන මෙවන් දිනක හැරුනුකොට අන් දිනවල වේලාසන කාබී අවසන් වී හෝරාවක් දෙකක් පොඩි වුන්ගේ පාඩම් වැඩ නිමවෙන තෙක් සියල්ලෝම දොඩමළු වෙයි.
හෝරා කීපයක් ගෙවී ගියා. බල්ලන්ගේ උඩු බිරීමත් රාත්‍රී නිහඩ බවත් ඇයගේ බිය තවත් වැඩි කලා.

"මැණිකේ... ම..ගෙ මැණි..කේ.. "

"හප්පොච්චියේ මං බයවෙච්ච තරමක්.. කොහෙද දෙයියො මෙච්චර වෙලා ගොහින් උන්නේ."

"මේ..න්න මයෙ මැණිකෙට රෙදි කෑල්ලක්. බලන්ට ලස්සනද කියලා. මයෙ මැණිකේ මට තාමත් පේන්නේ එදා බුලත් හෙප්පුව අරං.. ඇඹරි ඇඹරී ආව පුංචි දැරිවි වගේ නොවැ"

"ඇයි අපෙ මහත්තයෝ මේ.. මට මේ කරන කරුණාවම ඇති අපේ මහත්තයට නිවන් යන්ට."

"කාලෙකින් මයෙ මැණිකෙට රෙදි කෑල්ලක් අරන් දෙට බැරි වුණා. සිංහල අවුරුදුත් ලඟ එනවා නොවැ. මේකෙන් දෝණිට ගවුමක් මහලා දෙන්ට. මේක මගෙ කොලු පැටියට."

"අනේ අපෙ මහත්තයට පිං. උං දෙන්නට හෙට තමා අවුරුදු."

"වී මිල හොදටම බැහැලා මැණිකේ. මේ අවුරුද්ද ටිකක් පිරිමහ ගන්ට වෙයි."

"අපි තිබුණා නැතා කියලා නෑ නොවැ මහත්තයෝ.. පිරිමහලා නේන්නං ජීවත් වුනේ.
අවුරුද්දම කන්ට හරි මේ බිමේ අපි වවලා තියන හරිය මදෑ."

"මොන නියං සාය ආවත් කුඹුක් උල්පතේ වතුර හිදෙනේකක් නෑ මැණිකේ.. ඒක තමා අපේ ඉඩමේ තියන ඉල්ලම."

"හා හා දැන් ඔය මදෑ. යමු බත් ඩිංගිත්තක් කාලා ඉන්ට"

"යමු මැණිකේ.. මයෙ මැණිකෙගෙ අතින් බත් කටක් කන්ට හිතේ අද මට."

"මොකෑ මේ පොඩි දරුවෙක් වගේ අපෙ මහත්තයා.
හහ් හහ් ඔය බලාන වැටෙයි.
සේතංගේ කිතුල සරුයි වගේ."

සරුයි මැණිකේ සරුයි.. මැණිකෙගේ සිරියාවන්ත හිනාවයි මේ දරු දෙන්නගේ මූණු පොඩියි බලාන ඉදලා ගොහින් මට මේ  කුඹුරු යායම තනියෙං අස්වැද්දුවෑකි අම්මපා මයෙ මැණිකේ.. "

"නිකං ඉන්ට අපේ මහත්තයා.. දරුවොන්ටත් ඇහෙයි. නාකි කෝලං. හිටින්ට මං බත් බෙදාන එනකල්."

නොක්කාඩු මූනක් පෙන්වා සුමනා සියදෝරිස්ගේ ග්‍රහනයෙන් අකමැත්තෙන් මිදුනා.

ලබන නමුත් දුක් පීඩා
කූඩු වුනොත් පුංචි පැලේ
අඹු දරුවන් අතරතුරේ
මට නිම්නැති සුවය ගෙනේ..

පොඩි දුවගේ සිනා වැළයි                          පොඩි පුතුගේ කතා පෙළයි
ප්‍රිය බිරිදගේ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි..

ගායනය: සෝමතිලක ජයමහ
පදරචනය: සුනිල් ආරියරත්න
සංගීතය: රෝහණ වීරසිංහ