Tuesday 11 June 2019

හිමි අහිමි

බටහිර අහසේ රත් පැහැයෙන් ගහ කොල පාටවෙලා. ඉර ගිලී ඇඳිරි වැටෙන්න තව හෝරාවක් දෙකක් ඇති. මුළු පරිසරයම ලා කහ පැහැයකින් වෙලාගෙන.සිසිල් පොසොන් සුළං රැලින් දහවල දැඩි හිරු රැසින් ගිනියම් වූ පරිසරය නිවාලයි. මිදුලේ සිලි සිලි හඩින් සුළං ලතාවට නටන වෙසක් කූඩු කීපයේ රැලි මගේ රූප රාමුවට තවත් සුන්දරත්වයක් එක් කලා. සවසට ගාළු පාර මෙන් කාර්‍ය බහුල වෙන මන්තීරු දෙකේ තාර පාර හෙට අනිදා අපේ ඉඩමෙනුත් කොටසක් ගිලගෙන තවත් ලොකු මන්තීරු උඩින් කාපට් එකකුත් එලා ගතාම කොහොමට තියෙයි දැයි මට සිතුනා.

පාරෙන් එපිට ගලා යන ඇල ජනයාගෙන් පිරී ඇති බව පාර අයිනේ නවතා ඇති ත්‍රී රෝද රථ හා මෝටර් බයිසිකල් ප්‍රමාණයෙන් අනුමාන කල හැකී.ඒ අතරේ සමහරෙක් රෙදි බේසම් බාල්දි පොදි බැදගෙන දැරු පැටවුන්ද කැටුව වාහන වලින් තදබදය අඩු මන්කඩක් සොයා ගැනීමේ උත්සාහයක යෙදී සිටියා.

පරිසරයට සමවැදී හුදකලාවේ සිටි මා හදිසියේ සවන් පත් ගෑවෙන නොගෑවෙන තරමේ දුරින් ඇසුනු සුපුරුදු කටහඩින් උඩගොස් බිම වැටුණා.

"කඳු පාමුල සිට දැහැනට සමවැද...මා ගයනා ගී ඔබට ඇසෙනවද...කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන...ආල වඩන සඳ කිඳුරු ලියේ..."

"චූටි අයියෙ ඔ ඔ ඔයා.."

" බය වුනාද ම්ම්ම්. මොකෝ මේ දැහැනට සම වැදිලා. කල්පනා කලේ නම් මං ගැන වෙන්න බෑ.. "

" හ්ම්ම් කල්පනා කලේ නම් ඔයා ගැන නෙවේ. ඒත් කොහොමද එහෙම කිවුවෙ? "

"තරු පාට නිලට දිලිසෙන..ඔය ඇස් කතා කරන ලස්සන.. මම නොදන්නවා නොවේ දන්නවා.. මම නොදන්නවා වගේ ඉන්නවා.. "

"හරි හරි.. ලස්සනයි ලස්සනයි. දන්නවද චූටි අයියෙ. මේ ලෝකේ කොච්චර ලස්සනට සිංග් කරන සංග්ර්ස්ලා හිටියත් ඒ හැම සින්දුවක්ම ඔයාගෙ කටහඩින් අහන තරම් මට ලස්සන නැහැ.
කියන්න ඇයි මේ හදිස්සියෙම?"

"හදිස්සියක් නෑ. හොද ළමය වගේ ගිහින් ලෑස්තිවෙලා එන්නකෝ..අපි ටිකක් එලියට යමු."

"අනේ ශෝක් චුටි අයියේ.මම හරි පාලුවෙන් හිටියෙ. අපි කොහෙද යන්නෙ.? "

"අපි...ම්ම්ම් අපි අද.. ඔලුව හැරිච්ච අතේ යමු."

"ශා මරු.මං ටුක් ගාලා එන්නම් හොදේ."

ඉදිරියේ ඇති ලස්සන මොහොතින් එක විනාඩියක් වත් නිකරුනේ නාස්ති කරන්න ලෝබ සිතෙන තරමට ඔහු හා රස්තියාදුවේ යාමට මා පෙම් කලෙමි.  කලබලයට ඇදීමට ඇදුමක් වත් සිතට නොඑයි.තත්පර දහයක් තුල ඇද දැමූ ඇදුම් පහ හයෙන් එකක් සාරාංශ කොට ඇගලා ගෙන සැහැල්ලු පාවහන් යුවලක් පයලාගතිමි.

"මම ලෑස්තී චූටි අයියේ.. අද මොන මල වගේද?"

මා දුටු විගසම ඇදුමේ වර්ණයෙන් ඇති මලක නමක් පටබැදීමේ ඔහුගේ සුපුරුදු පුරුද්ද සිහිවී මා විමසුවෙමි

"අද නම් හොදට ඉදිච්ච තක්කාලි ගෙඩියක් වගේ"

" :( අනේ..ඇයි ඒ? කමක් නෑ තක්කාලිනෙ. :D "

"ම්ම්ම් අද මගෙ පිච්ච මලේ සුවඳ..."

"මේ ඕඩිකොලෝන් නෙ චූටි අයියෙ.. "

"මොකද්ද බබා ඔය කොලොන් එක? "

"ජොන්සන්ස් බේබි ටෙඩි බෙයාර් කොලෝන් එක."

"යද්දි එකක් අරන් යන්න ඕනෙ. ඔයා ගාව ඉදලා ගියාම මගේ ශර්ට් එකේ මේ පැත්තෙම ඔයාගෙ සුවඳ. ඉතින් හෝදන්න ලෝබයි."

"අනේ...එච්චරටම මගේ සුවඳටත් ආසයිද?"

"බබා.. ඔයා අඩනවද? ඕකනේ ඉතින් මොකුත් කියන්න බෑ ටැප් එක ඇරගන්නවනේ.හ්ම් යමු"

නිදහසේ කඩා දැමූ කෙස් වැටිය සකසා හෙල්මටය පරිස්සමෙන් මගේ හිසට දමා තත්පර කීපයක් දෑසට එබී බලා සිට මුව පුරා ඉතිරී ගිය ආදරණීය සිනහවත් සමග ඔහු බයිසිකලයට ගොඩවුණා.

සෙනෙහස රැකවරනය හා නිදහස ඇති තැන දැනෙන සැනසීමෙන් හිත පිරී යද්දී මා ඔහුගේ බඳ වටා දෑත පටලා ගනිමින් උරහිසේ මුහුණ හොවා ගතිමි.


"දන්නවද චූටි අයියේ..කොච්චර සැප කොට්ට මෙට්ට තිබුනත් මට සනීපම මේ උරහිස.දැන් ඉතින් අපි කොහෙද යන්නේ.."

"ඉස්සරහා තියනවා පොඩි ලෑලි කඩයක්.එතන උණු උණු රොටී තියනවා ළුණුමිරිස් එක්ක."

"න් නෑහ්. ටීත් තියනවද? "

"ම්ම්ම් තියනවා. අපි එතනින් කාලා යමු වැවට."

මින්නේරිය වැව පේන මානයේ පාර අයිනට වෙන්න තිබූ ලෑලි කඩයේ සිටි සීයා රොටී පුච්චමින් සිටියා.
ඔහු උණු රොටියක් ලුණු මිරිස් සමඟ රැගෙන විත් පසෙකින් තිබූ ලෑලි බංකුවේ වාඩි වී මා අත තැබුවා.

"පළවෙනි කට මට..."

"ටිකක් සැරයි බබා. හොද වතුර තියනවද දන්නෙත් නෑ."

"සැරට ශෝක් චූටි අයියේ. සැරට කාලා ටී බොද්දි මාර රසයි. "

"ඉන්න මං ටී දෙකක් දාගෙන එන්නම්"

සොටු කදුළු පෙරාන උණු කිරි තේ එක බොන දිහා ආදරෙන් බලා සිට උගුරක් දෙකක් බී ඔහුගේ තේ එකත් මටම පෙවුවා. සීයාට සමු දී අප මින්නේරි වැවට යාමට පිටත් වුණා.

මින්නේරි දේවාලට පසු කර මද දුරක් ගොස් ගසක් යට බයිසිකලය නතර කර මාතින් අල්වාගෙන ගොස් වැවු බැම්මේ අතුරා ඇති කළු ගල් මත හිද ගත්තා.

අවසන් හිරු රැස් කීපය වැවු දිය සිප ගනිමින් සිටියා. ලිහිනින් කොකුන් දිය කාවන් වැනි නානාවිද පක්ෂීන් දවස නිමාකර කැදලි කරා යාමට පටන් ගෙන.
පැටලී තිබූ අපේ දෑගිලි මුදා ගනිමින් විටින් විට ඔහුගේ දෑසට හසුවෙන සොඳුරු දසුන් කුඩා දරුවෙකුට මෙන් මට පෙන්වීමට වෙහෙසුනා. නැවත පෙරටත් වඩා තදින් දෑගිලි පටලා ගනිමින් ඔහුගේ උණුහුමින් මා උණුසුම් කලා.
දිය රැලි නංවමින් වැවු දිය පිස එන සුළං රැලින් අකීකරු ලෙස මුහුණ පුරා දුවන හිතුවක්කාර කෙහෙරැලින් මගේ මුහුණ මුදන්නට ඔහුගේ අතැගිලි නිරන්තර අසාර්තක උත්සාහයක යෙදී සිටියා. මුහුනේ දැවටෙන ඒ අතැගිලි පහසත් ඔහුගේ සෙනෙහසේ උණුසුමත් මේ සුවදායක සොදුරු පරිසරයත් මා ඇසිල්ලකින් සුව නින්දකට ගෙන ගියා.


"දුව.....දුව...
පවු කම්මැලි කමේ කැරකි කැරකි හිටියෙ. පුටුවෙම නින්ද ගිහින්"

"ඇහැරවලා ඇදට යවන්න.නැත්තන් බෙල්ල උලුක්කු වෙයි"

සිහිනයෙන් මෙන් ඇසුන නැන්දම්මාගේත් මාමන්ඩියගේ ත් සංවාදයෙන් මා කෙමෙන් පියවි සිහියට එලබෙමින් සිටියා.

සිහිනය හා හැබෑව අතර පැටලුන සිතුවිලි තුලින් ඇතිවූ ව්‍යාකූල බවින් දෑස් පියාන විනාඩි දහයක් පමණ නිදි සේයාවෙන්ම ගෙවී ගියා. අවසානයේ සිත අරමුණක් නැති පිලිවෙලක් නැති සිතිවිලි අතර සැරි සරමින් සිටින බව සිහිවී නැගිට ගොස් කිරි තේ ජොගුවක් සාදාගෙන කියවමින් සිටි පොත නැවත කියවීමට පටන් ගතිමි.


"වසන්තය දෝතින් දරන්
පැමිණිදා සෙනෙහස අරන්
ඔබෙන් හදුනා ගතිමි සකිසද
ජීවිතේ නම් කිමැයි...."

4 comments:

Kalana said...

හරිම පිළිවෙලට ලියල තියනවා. අවට පරිසරය යොදා ගෙන ගලපපු යෙදුම් ඉස්තරම් . හරිම ලස්සණයි ඔයාගේ මේ කෙටි කථාව .

තිළිණි said...

බොහොම ස්තූතියී.. :)

කිඹුලී said...

කතාව ඉවර කරන්න ඉක්මන් උනා කියලා මට හිතෙනවා එක හුස්මට කියෙව්වා තව ටිකක් දිග උනා නම් හොදයි කියලා හිතෙනවා....ආ අර රොටි ලුණු මිරිස් ගැන කියද්දී කෙල ගිලුනා අප්පා😍

තිළිණි said...

ස්තූතියි කිඹුලී..
ඔයාටත් එහෙම හිතුනද.. හීනයක් නිසා මම වැඩි දුර ගියේ නෑ ඉතින් :D
හී හී ඔයාට කිවුවම මොකද මම ඔය කොටස ලිවුවෙත් කෙල ගිල ගිල 😃