Monday 2 July 2018

උපහාරය!

"අප්පච්චී.. අප්පච්චි"
"ම්ම්ම්"
"අප් පච්චීඊඊඊ"
"ඇයි දෝණී.."
"ඇයි අප්පච්චි කළුවර"
"දැන් රෑනෙ පුතේ"
"ඇයි රෑට කළුවර"
"ඉර මාමා රෑට නෑනෙ පුතේ.හඳ මාමානෙ ඉන්නෙ
"ඉර මාමා කොහෙ ගිහින්ද"
"අහසෙම තමයි පුතේ ඉන්නෙ"
"අහසෙ කොහෙද"
"අහසෙ අපිට පේන්නෙ නැති පැත්තක"
"අත්තම්මලාගෙ ගෙවල් හරියෙද?"
"නෑ පුතේ තව ගොඩක් දුර"

අප්පච්චී හැමදේම දන්නවා!
අම්මයි අප්පච්චියි මේ ලෝකේ තියන හැමදේම දන්න,ඕනෙම දෙයක් කරන්න පුලුවන් වීරයෝ දෙන්නෙක් විදිහට දැකපු කාලයක් අපේ ජීවිත වල තිබුණා මතකද?. මොන වැඩ රාජකාරි තිබුණත්.. දවසේ නිමාව කොච්චර වෙහෙසකර වුණත්.. පුංචි හිතට තේරුම් ගන්න පුළුවන් සීමාව තුල මේ ප්‍රශ්න පත්තරයට උත්තර දෙන්නෙ එයාලා හරි කල්පනාවෙන් ඉවසීමෙන් ආදරෙන්.

"දෝණී.. දෝනි..පුතේ.."
"අනේ ඇයි අම්මා.."
"අද ක්ලාස් තිබුණද පුතේ.."
"ඔවු අම්මා"
"උදේ කෑම එක කෑවද"
"හ්ම්ම්"
"යාළුවා ආවද මැණික"
"ඔවු අම්මා ඔවු"
"ඇයි දරුවෝ මේ? මහන්සිද? ඉන්න මම තේකක් හදන් එන්නම්"

අම්මලා අප්පච්චිලා එහෙමයි! කාලයත්  එක්ක අපි ටිකෙන් ටික පරිණත වෙලා. අපි දෙමවුපියන්ගෙන් ප්‍රශ්න අහන යුගය නිමා වෙලා.අම්මා දන්න ඉටි ගෙඩියක් නෑ කියලා හිතෙන කාලයක් ජීවිතයට එබිකම් කරන්න ගන්නේ ඊට පස්සෙ.

යාළුවෝ ජීවිතයට ගොඩක් සමීප වෙන්නේ මේ කාලයේදිනේ.ජීවිතේ දිනන්නත් ජීවිතේ පරදින්නත් යාළුවෝ උදවු වෙනවා.

අප්පච්චිට වඩා අම්මට තියනවා "ඉවක්" ඒක අපිට නොතේරෙන මහ පුදුමාකාර ඉවක්. අම්මලාට ඒ ඉව ලැබිලා තියෙන්නෙ පැටවුන්ව රැකගන්න. නිදහස ඉල්ලලා කොච්චර අරගල කලත් අම්මයි අප්පච්චී නෙවේ සැලෙන්නෙ. එදා වගේම ඉවසීමෙන් ආදරෙන් අපේ හෙවනැල්ල වගේ ඒ දෙන්න හිටිය නිසා අද අපි මෙහෙම ජීවිතයක් ගත කරනවා

අම්මයි අප්පච්චීයි ලඟ ඉද්දී..ජීවිතේ එක කාලයක් ඒවී..ඒ ආදරේ..ඒ ආරක්ෂාව
එක වෙලාවකට නිදහසට බාදාවක් වගේ දැනෙන..
පස්සෙ කාලයක් එනවා..ඒ ආදරේ,ඒ ආරක්ශාව,ඒ නිදහස මහ මෙරක් තරම් උසට දැනෙන.එදාට ආයෙත් ඒ තුරුලට දුවලා යන්න හිතේවි. ඒත් යන්න බැරිනම්..ඒ දුක කවියක නිසදැසක පේලි කීපයකට වත් බ්ලොග් පිටුවක රචනාවකට වත් ගොණු කරන්න බැරිවේවි.
බාල කාලෙ වගේ..
"අම්මයි අප්පච්චී හරි!" කියලා හිතෙන කාලයක් ආයෙත් ජීවිතයට උදාවෙනවා.

සඳ ඉඳුවරී බ්ලොග් පිටුවේ තබන මේ මුල්ම සටහන මගේ අම්මටයි අප්පච්චිටයි මේ ලොව වෙසෙන සියලුම දෙමවුපියන්ට.!
ස්තූතියි පවුලේ සැමට!
ස්තූතියි මගේ හිතේ කවි කතා මවන සජීවී අජීවී හැමෝටම! :)


No comments: