Tuesday 19 March 2019

පෙම් හසුනක්.

ආදරණීය ගීතය වෙත,

ජීවිත කාලය පුරාවට මා සිත තුල පැලපදියම් වූ ආදරවන්තයා නුඹයි. මගේ දෙසවන් තුලින් විත් මගේ හද තුල හිදිමින් මා නිවා සනසාලූ ඔබට විසිනව වසරකට පසු මෙසේ ලියමි. නුඹේ මිහිරි පද මාලා නුබේ මිහිරි තනු මගේ මුළු ජීවිත කාලය පුරාවට මට දැනුනා.

අම්මගේ බඩ ඇතුලේ ඉද්දිත් මට නුඹව ඇහෙන්න ඇති. විටෙක සමහර පැරණි ගී තනු ඇසෙන විට දැනෙන වචනයෙන් විස්තර කල නොහැකි සුපුරුදු ලෙන්ගතු බව ඒ නිසා යැයි මට හැගේ.

මතකයේ නැති වුණත් අම්මාත් අත්තම්මාත් මා නලවන්න ඇත්තේ නැලවිලි ගී ගයායි. මල්ලී නැලවූ අයුරු මතකයේ රැදී ඇති නිසා මට එසේ සිතුනා. ඒ දෙස බලා සිටි මාත් මල්ලී උකුලේ හොවා නැලවූ හැටි මගේ මතක ගබඩාවේ අදටත් පැහැදිලි මතකයක්.

"දොයි..දොයි..දොයි..දොයිය බබා..
බයි..බයි..බයි..බයිය බබා..
ඔන්න බබෝ..ඇතින්නියා..
ගල් අරඹේ..සිටින්නියා..
ගලින් ගලට..පනින්නියා..
බබුට බයේ..දුවන්නියා.."

අප්පච්චී මුලින්ම මට පුංචි ගීතයක් උගන්වපු හැටි යන්තමින් මතකයි.

"පුංචි බලු රාලේ..
මා ගෙදර නැති වේලේ..
කවුද මගෙ බෝලේ ..
පෙරල පෙරලා සිටියෙ මිදුලේ.."

ඒ දෝණී කාලයත් එක්ක ලොකු වුණා. බාල කාලයේ පටන්ම මම හිතුවේ ඔයා ඉන්නේ සතුට දෙන්න විතරයි කියලා. ඒත් ටිකෙන් ටික ලොකු වෙනකොට ඔයාව මට වැඩි වැඩියෙන් දැනෙන්න පටන් ගත්තා.

කාමරේ තිබුණ රේඩියෝවෙන් රෑ නින්දට යන්න කලින් ඔයාව අහගෙන ඉන්න මම පුරුදු වුණා. කරන්ට් නැති දවසට නින්ද නොයන තරමට මම ඔයාට ඇබ්බැහි වුණා.

උසස්පෙල විභාගයට නුවර පන්ති ගෙනියන්න අප්පච්චි අරන් දුන්න චූටි දුරකතනයට පින් සිදු වෙන්න එහි කන් බනුව නුඹව පෙරට වඩා සියුම්ව මගේ දෙසවනට මිහිරක් ගෙනාවා. ඒකෙන් ලොකුම පාඩුව වුණේ මගේ නින්දට.ඇස් දෙක පියාගෙන  පාන්දර වෙන තෙක්ම මම නුඹට සමවැදෙනවා. නුඹ මගේ හද පතුලට කිදා බහින්නේ හරියට අයිස් කිනිස්සක් වගේ. හේතුවක් නැතුවත් විටෙක නුඹ මගේ දෑස් තෙත් කලා.

"ඈත එපිට හිම කන්දෙන්..
කළු වලාව සමගින් ආ..
ආදරයේ පිණි කැට පොඩි
සිලි සිලි ගා සැලුනා..
පිනි කැට බිදුණා.."

සොබාදහමේ රස හුදකලාවේ මම නුඹත් එක්ක විදින්න හුරු වුණා. විරහව රසක් බවත් එය රස විදින හැටිත් නුඹගෙන් මම ඉගෙන ගත්තා. කන් පෙති උණු කඳුලින් පිරෙනකල් නුඹ මාව සංවේදී කලා.

"නටුවෙන් ගිලිහුන පින්න මලක්..
සුළගට පාව ඇවිත්..
මගෙ හද මඩලේ නතර වෙලා
සෙනෙහස් සුව විදිමින්.."

සමහරු කියනවා සංගීතය භාවනාවක්ලු. ම්ම්ම්හ් ඒ ගැන නම් ටිකක් හිතන්න ඕනෙ. ඔයා නම් කලේම මාව පිස්සු වට්ටපු එක.!

"ඒ මෙරේ හම් සෆර්...
එක සරා ඉන්තසාර්...
සුන් සදායේ දේ රහි හේ... 
මන්සිල් ප්යාර් කී."

ගීතය රස විදීම මගේ ජීවිතයේ කොටසක් වෙද්දී ගිටාරයත් වයලීනයත් මගේ ආහාරය වුණා. .

යොවුන් වියට එලබෙත්ම ආදරයේ සෙවනැලි හදට වැටෙද්දී නුඹ තව තවත් මගේ හදට ලං වුණා.

හා හා පුරා ලැබුණු පෙම් හසුන් වලත් අග්ගිස්සේ නුඹ හිටියා!
අදටත් ප්‍රථම ප්‍රේමයේ සොදුරු තැන් හිටි හැටියේම නුඹ මගේ මතකයට ගේනවා.

"ඩේලියා මලෙන් සුවඳ ගලන 
සීතල රටට..
එහි ලියා තියෙන දිනයට ඔබ ඇවිත් යනවද.." 

කාලයත් සමඟ ජීවිතයේ දුක සැප බෙදාගන්න ජීවිතයට කවුරු ආවාත් පෙම්වත, නුඹ තරම් මගේ පාළු මැකූ අයෙක් නැත! අදටත් මගේ ඇස් පියවෙන්නේ නුඹ මාගේ සවන්පත් තුලින් හදට වඩිද්දීයි.


ඉතින් සොඳුර, අපේ මේ බැදීම හැමදාමත් මගේ හදවතේ තියේවි.. ඒ ඔයාව නැතිව ඉන්න මට බැරිම නිසා.. එහෙම වුනොත් මගේ හිතට මං විතරයි..සමහර විට මමත් නැති වෙයි..

මීට ,

ඉඳුවරී.


2 comments:

Kalana said...

ෂා ලස්සන නිර්මාණයක් තිළිණි.

තිළිණි said...

බොහොම ස්තූතියි! මගේ ආඳුනික බ්ලොග් ලියවිල්ලට ඔබ වැනි ප්‍රවීනයෙකුගේ ඇගයුම ලොකු දිරියක්. :)