Thursday, 28 November 2024

තනිකම.


කාගේවත් ආදරයක් නොලබා ජීවත් වෙන එක කොච්චර අමාරු දෙයක් කියලද ඔයාලා හිතන්නේ? මම එහෙම ඇහුවට ඔයාලා ඒ ගැන හිතන්න යන්න එපා. මොකද.. මහ ගොඩක් ආදරේ ලැබෙන තැන ඉදන් පුංචිම හරි ආදරයක් ලැබෙන තැන වෙනකල් ඉන්න ඈයොන්ට ඒ හැගීමට ආරූඩ වෙන්න බැහැ කියලයි මට හිතෙන්නේ. ගොඩක් තැන්වල ආදරේ කියලා ලැබෙන්නේම යුතුකම. 

අඩුම ගානේ කාට හරි ප්‍රියමනාප කෙනෙක් හැටියට ජීවත් වෙන එක.. කාටවත් ප්‍රියමනාප නෑ කියන්නේ මොනවගේ දෙයක්ද? සමහර මිනිස්සු ඉන්නවා අපිට කිසි වරදක් නොකලත් අඩුම තරමේ හිනාවෙලා කතාබහ නොකරපු කෙනෙක් වුනත් ඒ මනුස්සයා කිසිම හේතුවක් නැතිව අපිට පේන්න බැරි. ඔයත් මේ ලෝකේ කිසිම වරදක් නොකර ගොඩක් දෙනෙක්ට පේන්න බැරි මනුස්සයෙක් වුනොත් ඔයාට කොච්චරක් දුක දැනෙයිද? හ්ම්ම් ඒක නම් කාටවත් දැනෙන්න හොද දුකක් නෙවේ. 

ඔයත් කිසිම වරදක් නොකර හැමදේටම වැරදි කාරයා වෙලා හැමෝගෙන්ම බැනුම් අහන කෙනෙක් නම්... මං කියන්නේ ගෙදර කාගෙ හරි චූටි ඇගිල්ල පුටුවක හැප්පෙන පොඩි අකරතැබ්බේ ඉදන් ගෙදරට පූසෙක් පැනලා උදේ ගත්ත තලපත් මාලු කිලෝ පහම කන එක තරම් ලොකු අකරතැබ්බිය වෙනකල් හැමදේටම වැරදි කාරයා ඔයා වෙලා බැනුම් අහන එක. නෑ නෑ එහෙම ජීවිතයක් ගැන ඔයාට හිතන්නවත් ලැබෙන්න එපා.

ඒ මදිවට කරන කරන හැම වැඩේම ලේසියකට කරන්න බැරි වෙන එකත් එකතු වුණාම. ඉස්පිරිතාලේ දත් ගලවන පෝලිමේ අංක තුනට හිටියලු ගෑණු ළමයෙක් බොහොම සතුටින්. පපුව ටිකක් වැඩිපුර ඩක් ඩක් ගෑවට මොකද ඉක්මනට වැඩේ වෙනවනේ අද නම්. මොනහ්! එක්ස් රේ එකක් අරන් එන්න කියලා ආපහු හරවලා යවපි. ඉතින් දුවලා දුවලා එක්ස්‍ රේ කාමරේට යද්දී එතන පෝලිමේ අංක දෙක. ම්ම්ම් අද නම් හොද දවසක්. ඉක්මනින් මෙතනින් වැඩේ  කරගන්න ඇහැකී කියලා කෙල්ල සතුටින්. මොනහ්. ඇටන්ඩන්ට් නෝනා ඉතුරු වෙන්න ඔක්කොම ගියා උදේ කෑමට. විනාඩි පහෙන් එන්න ගියත් එද්දී පැයකටත් කිට්ටුයි. එතකල් එතන එයත් එක්ක කල් මරපු එක්ස්රේ පෝලිම රජ්‍ය සේවයට සෙත් පිරිත් සජ්ජායනා කලත් ඒ ගෑල්ලමයා හිතුවේ අදත් හැමදාම වෙන දේම නේද මේ වෙන්නේ කියලා. කොහොමින් කොහොමින් හරි ඒ ළමයා ආපහු ඩෙන්ටල් එකට ගිහින් දත ගලවන් ගිය අන්තිමයා විදිහට  ගෙදර ගියා.
බස් එකක යන්න පාරට බැස්සොත් බස් ස්ට්‍රයික් එකක් එන. මොකක් හරි ව්‍යාපාරයකට සම්බන්ධ වුනොත් ඒ ව්‍යාපාරය පාඩු පිට වැහිලා යනවා වගේ. ලොකු පඩියක් එක්ක රස්සාවක් කවුරු හරි බලෙන් අතට දුන්නත් ඒකේ පළවෙනි පඩිය වත් ගන්න බැරුව රස්සාව නැති වෙලා යනවා වගේ. විභහගයකට ලියන්න ගියාම වැස්සක් වැහැලා ගංවතුර ගලලා විභහගේ කල් යනවා මදිවට ලියලා ඉවර වෙලා අත් ඇරලා දාපු විශයක් ආයේ ලියන්න වෙනවා වගේ.වඩයක් වත් කාගෙන්වත් නොලැබෙන කාලෙක අමාරුවෙන් ඩයට් ප්ලෑන් එකක් පටන් ගත්තම ලොකේ තියන රසම කෑම අතට වැටෙනවා වගේ. ඒවගේ එකී මොකී නොකී ගොඩක් අකරතැබ්බි ෆෘට් සැලඩ් ජීවිතයක්. 

විශ්වාස නෑ? එහෙම වෙනවා අනේ මිනිස්සුන්ට.  ඒ නිසා ඔයා පුංච් පුංචි දේවල් වලට හිත රිද්දාගන්නේ නැතුව හිනාවෙලා ඉන්න. නොකිවුවට තව කොච්චර දේවල් වෙනවද මිනිස්සුන්ට. ඔයාලා හිතන්නේ ඒ වගේ ජීවිතයක් පොලියානට වගේ සතුටු සෙල්ලම කරලා ගොඩ දාන්න පුලුවන් වෙයිද? ඔය කියන විශ්ව සංකල්ප වලින් ගොඩදාන්න පුලුවන් වෙයිද?

කාත් කවුරුත් නැති ජීවිතයකට දැනෙන තනිකමට වඩා බරයි ගොඩක් අය වටේට ඉදලා දැනෙනෙ කාත් කවුරුත් නෑ කියලා දැනෙන හැගීම.

ලෝකයට ඔයා කොහොම පෙනුනත්. ඔයාගේ ජීවිතේ ඔයා කැමති පාටින් පාට කරගන්න පුලුවන් හැටියට. එච්චරයි