Showing posts with label මා බාල කාලේ. Show all posts
Showing posts with label මා බාල කාලේ. Show all posts

Tuesday, 25 January 2022

අඩි ශබ්දය.


ඒ අඩි සද්දෙ! ඒ අඩි සද්දෙ තාලය හැමදාමත් එක වගේ. ඒ නිසාමද කොහෙදො එච්චර දුරක ඉදන් උනත් මට ඇහෙන්නෙ.


"ඔන්න අප්පච්චි එනවා" ^_^

"බලු කන් දෙකක්ද තියෙන්නෙ?"

නෑ. ඒ තරම් තියුණුව ඒ ශ්‍රවණය මගේ සවනට දැනෙන්නේ ඒ ශබ්ද තාලයට විතරයි. ජීවිතේ අහන්න ආසම කරන අඩි සද්දය. ඒ මතකයත් එක්ක තවමත් ඒ හඩ කන් දෙකේ දෝන්කාර දෙනවා.

ගේ දෙරකඩට අප්පච්චි ආවම මුලින්ම මතු වෙන්නේ මගෙයි මල්ලිගෙයි ඔලු දෙක.කාමෙරේ දොර රෙද්දෙන්.අම්මාත් මොන වැඩක හිටියත් ඒ සද්දෙත් එක්ක සාලෙට ඇදිලා එනවා. ගෙදර පිරෙන්නේ අප්පච්චි ආවම. ගෙදරට සතුට ගේන්නේ අප්පච්චි.අම්මාටත් එක්ක ඉවසීම ප්‍රගුණ කරන්නේ අප්පච්චී.කොච්චර වෙහෙස වෙලා ගෙදරට ආවත් ඒ වෙහෙස අප්පච්චිගේ මුහුණේ ගෑවිලා වත් නැහැ. සුපුරුදු හිනාවකින් මුව සරසාගෙන ගෙට ගොඩවෙන අප්පච්ගේ අතේ මල්ලක් නැති දවසක් තිබුණා නම්..

"අද මොකුත් ගන්න බැරි උනා. පාරට එනකොටම හතයි කාල ආවා. ඒකේ ආවෙ නැත්තන් අට වෙනකල් ඉන්න එපැයි."

එහෙම කියන අප්පච්චී සාක්කුවට අත දාලා ටොෆි දෙක තුනක් මගේ හරි මල්ලිගේ හරි අතට දෙනවා.

ගෙදරට ගේන බඩු මල්ලට අමතරව එක එක දවසට එක එක ජාතියේ කෑමක් තියන මල්ලක් තියනවා. ඒ මල්ලේ තියෙන කෑම තියෙන්නේ තුන් දෙනෙක්ට සෑහෙන්න. වැඩිපුර තිබුණත් කොතරම් පෙරැත්ත කලත් අප්පච්චී නෙවේ කටේ තියන්නේ.! මල්ලී මමයි ගොඩක් ආසාවෙන් කනවා කියලා දැනුනොත් අම්මා කන්නෙත් නැහැ.
එහෙම වෙන හැම වෙලාවකම මම මගේ පුංචි හිතෙන් හැමදාම ඇහුවා,

"මෙච්චර රස දෙයක් වෙලත්, අම්මයි අප්පච්චී කන්නෙ නැතුව අපිට කන්න කියලා කොහොම ඉන්නවද දන්නෙ නෑ. ආසාවක් නැද්ද, රස්සාවක් කරලා පඩියකුත් ගන්නවා. මම එහෙම රස්සාවක් කරලා පඩියක් ගත්තා නම් මේවා ලොරියක් ගෙනත් කනවා!"

දිවට රස දෙයක්
ඇසට ප්‍රිය දෙයක්
ගතට සුව දෙයක්
ලොවට ප්‍රිය දෙයක් වෙතොත් දරුවන්ට දීලා ඒ පුංචි මුහුණේ සතුට බලලා අම්මා අප්පච්චී විදින සතුට දැනේවී හැමෝටම දවසක!

අනෝරා වැසි වැස්සත් අප්පච්චිගේ අතේ ඒ මල්ල තිබුණා! ඒක ඇතුලේ තිබුණ රස දේ පෙගිලා තිබුණත් ඒකේ රසේ අඩුවක් අපි තුන්දෙනාට දැනුනේ නැහැ.

"අප්පච්චි පවු!"
මගේ පුංචි හිත ඒ දවසට මට රහසින් කිවුවා.
හදිසියේ වැටුන වැහිකොඩයකට අහු වුනොත්, සිලි මල්ල  නිසා ඔළුව විතරක් නොතෙමෙන්න මුළු ඇඟම තෙමිලා. මේස් දෙක තෙමිලා කකුල් සුදුම සුදු වෙලා සීතලට.
රෑ වෙලා ඇවිත් ආයෙත් පාන්දර හතරට නැගිටලා හැමදාම කොහොම යනවද වැඩට! වැස්ස දවසට, දෙසැම්බරේ සීතලට අප්පච්චිට කොයින්ද නිවාඩු. මගේ පුංචි හිත මගෙන් ඇහුවා.

අප්පච්චිගේ ජීවිතේ උනේ අපි. ජීවිතේ වැඩි කාලයක් වෙන් උනේ අපි වෙනුවෙන්. අපි රැකගන්න රැකියාව වෙනුවෙන්.ගෙදරට එන බස් එකක් මඟ හැරුනොත්,අනිත් බස් එක එනකල් ගතවෙන හෝරාව ගැනත් එයා දුක් වුණා.
මත් ද්‍රව්‍ය කිසිවක් කිසිදාක  පාවිච්චි නොකල අප්පච්චී ඒ ගැන මල්ලීට නිතරම ආඩම්බරෙන් කියනවා මම අහගෙන!

අපේ පුංචි පවුලේ හැම අවශ්‍යතාවයක්ම අඩුවක් නැතිව සම්පූර්ණ කරමින් හරි සරුසාරවට ජීවත් වෙන්න කාලය වගේම මාසික වැටුප කලමනාකරණය කරපු හැටි!
මමත් මල්ලීත් වගේම
අම්මාත් මේ ලෝකේ ඉන්න වාසනවන්තම බිරින්දෑවරුන් අතරින් කෙනෙක්!

ඒ වාසනාව අපිට දීපු අප්පච්චීටත් අම්මාටත් නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා!

වෙනස්කම් නොගැලපීම් අඩු වැඩිය තිබුණට ඔයාලා හැමෝටමත් අති බාල කාලේ මේ වගේ මතක.

"රටකජු රඹුටන්
අරගෙන නාරං
කෝච්චියෙන් දැන්
තාත්තා එනවා"








Thursday, 20 January 2022

ගතින් බැරිනම් හිතින් යමු!

 නිතරම ගිහින් එන්න, ටිකක් නතර වෙලා යන්න වැඩිපුරම ආසා කරන තැනක් ඔයාට තියනවද? ඔවු. "මැරෙන්න කලින් ගිහින් එන්න ඕනේ" කියලා කතාවට කියන, ගිහින් ආවම "දැන් සැනසිල්ලේ මැරෙන්න පුලුවන්" කියලා කතාවට කියන ආසා කරන තැන් අපි හැමෝටම තියනවා.මටත් තියනවා. 

ඒ තැනට හැබැහින් යන එක හීනයක් නම්.. ඒ හීනය සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න! ප්‍රාර්ථනාව සැබෑ වුණාම ගතින් යනකල් හිතින් ගිහින් එමු. අද කාලේ හිතෙන් ගමන් යන එක තමා ලේසිම! මුලින්ම ඇස් දෙක පියගන්න.දැන් අවශ්‍ය තැනට හිතට යන්න දෙන්න. සරලයි. හුඳකලාව විතරයි අවශ්‍ය.

හිත කියන්නේ කාල යන්ත්‍රයක්. අතීතයේ ගත කල සොඳුරු හෝරාවක් වුණත් ඒ විදිහට ආයෙත් විඳලා එන්න අපිට පුලුවන්. අනේ මෙතනට යන්න තිබුණා නම් කියලා ලස්සන ජායාරූපයක් දැක්කම අපිට හිතෙන්න පුලුවන්. ඒ වගේ ජායාරූපයක් දිහා බලාන අපිට පුලුවන් ඒ ජායාරූපයේ ජීවත් වෙන්න. ඇස් දෙකෙන් දකින සුන්දරත්වය හදවතින් විදින ගමන් එතැන මොහොතක් සමවැදෙන්න හිතට පුලුවන්. :D

එක පසකින් හුන්නස්ගිරි කඳු වැටිය. අනෙක් පසින් නකල්ස් කඳු වැටිය.එක් කඳු වැටියකින් එපිට මාතලේ නගරය. දැවැන්ත කඳු වැටි අතරේ මෑත පුංචි කඳු ගැටයේ පිහිටි මගේ නිවසත් කඳු පාමුල වෙල් යායට යාන්තමට දිස්වෙයි. වෙල් යායේ එක කෙලවරකින් සුදු ගඟ ගලා බසී. සුදු ගඟේ සැඩ ජල පහරේ හෝ ශබ්දය වෙල් යායේ මෙහා කෙලවරටම ඇසෙයි. ඇල්කඩුව කඳු මුඳුනේ සිට ගලා එන ඇල මාර්ගය වෙල් යායේ අනෙක් පසින් සුදු ගඟ බලා ගලා බසී. ඇල අයිනේ ඇති වසර ගණනාවක් පැරණි රූස්ස සියඹලා ගහ වෙල් යාය තවත් සුන්දර කලා. අත්තම්මා කියාපු විදිහට මේ සියඹලා ගහ ගමේ හැමෝටම සියඹලා, සෙවන හා සුන්දරත්වය විතරක් නෙවේ ආරක්ශාවත් සපයා තිබෙනවා. ඔය ජේවීපී කලබල තිබුණ කාලේ ගමේ ඈයො කීප දෙනෙක් මේ ගස් බෙනේ ඇතුලේ හැංගිලා ජීවිතේත් බේරගෙන තියනවලු. ;)
වනාත දිහාවෙන් ඇහෙන කුරුළු ගීතත් රැහැයි ගීතත් කන් පුරයි. වනාතේ ඇති ඇඹුල් පේරෙ, ජෑම් පේරෙ උගුරැස්ස වගේ ගඩා ගෙඩි රස බලන්නේ අපිට වඩා කුරුලු කිරිලියෝ.

ගොයම පීරාගෙන විත් ඇගේ හැපෙන සුළඟ සිහින් සීතලකින් ගත වෙලයි. බහින හිරු රතු පාටට වෙල් යායට වැටෙද්දී හැන්දෑව කොයි තරම් ලස්සනද කියලා මට හිතුනා. ඈත පේන කඳු පන්ති බහින හිරු එළියෙන් එක පාටින් පාට වෙලා.මට පේන මානය කඳු වටියෙන් කෙලවර වෙන නිල් පැහැ අහස් කුසේ තැන තැන රත් පැහැ වලාකුළු මවන සිතුවම දකින මගේ ජීවිතේ මොන තරම් සුන්දරදැයි මට සිතුනා. තැනින් තැන වල් නෙලන ගමේ ඈයින්. ඈතින් පිල්ලෑවේ එළවළු හා දොඩමළුවෙන සීයාත් වක්කඩ හා ඔට්ටු වෙමින් වතුර බදින අප්පච්චීගේත් ආරක්ශාව මෙගේ හිතේ නිදහස තවත් වැඩි කළා.

ඉර බැහැගෙන යන්න හෝරා තුන හතරකට කලියෙන් හැමදාම පොතකුත් අරන් වෙල් යාය පැත්තට යන්නේ.. මම මගේ ජීවිතේ වැඩිපුරම විදින්න ආසකරන සිසිලක් ඇත්නම්,විදින්න ආසකරන සුවදක් ඇත්නම්,දකින්න ආසකරන දසුනක් ඇත්නම්.. ඒ මගෙ අම්මයි,අප්පච්චි,
පන්සල් බිමයි ඇරුනම මේ වෙල් යාය නිසා. ඇල අයිනෙ රූස්ස සියබලා ගහ යටින් පොත තියල පිල්ලෑවට ගිහින් ගඩාගෙඩි ටිකකුත් කඩාගෙන ඇවිත් සියඹලා ගහ යටින් වාඩි වුණාම වෙල් යායෙ ඈත කෙලවරේ කදු අතරින් මුලු අහසම රත් පාටට ඉර බැහැගෙන යන හැටි හරි අපූරුවට බලාගතහකි.

ඇළේ වතුරට ඉර එලිය වටිල දිලිසෙන පාට පාට වීදුරු එලි සියබලා ගහට වැටෙද්දි හරිම අපූරුයි. බැහැගෙන යන ඉ‍ර එලියේ නෑවුනු ගොයම පීරගෙන වනාතෙන් එන සුළඟ මිදුලෙ සිමෙන්ති බංකුවට එන සුළඟට වඩා හරි සනීපයි.රංචු පිටින් පියාසර කරන කුරුළු රෑන්, සින්දු කියන කුරුලු කිරිලියො දිහා බලාගෙන ඉද්දි හිතට දැනෙන හැගීම මාලු ටැංකියේ එහෙට මෙහෙට කැරකෙන මාලු දිහා බලන් කොහොම විදින්නද.

සමහර දවසට හිටි හැටියේම ඒ නිල් පාට අහස රත් පාට කරන් යන්න හදන ඉර, පාවෙලා ආව ලොකූ කළු වලාවකින් වසා ගන්නවා.එතකොට මුළු පරිසරයම ඇස් කෙවෙන ගුප්ත කහ පාටකින් වැහිල යනව. ඒ ගුප්ත බව විදින්නත් මම හරි ආසයි. ටික ටික අහස අදුරු වෙද්දි පොතත් අරන් දුවන්නේ වෙල් යාය මැද හිටෝලා තියන පුංචු පැලට. කාගේ හරි කොරටුවකින් කඩා ගන්න පිපිඤ්ඤා ගෙඩි දෙක තුනකුත් ඇලෙන් සෝදගෙන තමා යන්නෙ. ලොකු වැහි කැට වේලුනු පොලවට වැටෙද්දි සීතල සුලගත් එක්ක එන නැවුම් සුවද ලොකූ හුස්මක් එක්ක අරන් පිට කලාම මට හිතෙන්නෙ.. ඇග ඇතුලෙ තියන විෂත් ඒත් එක්ක පිට වෙනව කියල. ඒ.. ඒ පරිසරය ඒ තරමට නැවුම් නිසා.

පැලේ ලී මැස්ස උඩ ඉදගෙන කකුල් දෙක පද්ද පද්ද පිපිඤ්ඤා කන ගමන් වැස්ස දිහා බලාගෙන, වැස්සට අහුවුන කුරුලු පැටවුන්ගෙ කෝලං දිහා බලාගෙන විදපු ඒ ආත්මීය ජීවිතේ මේ නගරෙත් මම හොයනව. පැලේ පොල් අතු අස්සෙන් බේරිලා ඇවිත් හිස්මුදුනට වැටෙන වතුර බින්දු වල ඇග කිලිපොලන සීතල, පොල් අතු වලින් රූරල  අග්ගිස්සෙන් බිමට වැටෙන වතුර කැට අල්ලමින් ලබපු සතුට වහලේ අගින් බේරෙන වතුර කැට අලපුවම මගේ අතට දැනෙන්නෙ නැති උනත්.. ඒ මතකයට ආයෙත් හිත දුවනවා. තාමත් පුරුද්දට වගේ වැස්සදාට පීල්ලෙන් බේරෙන වතුරට අත යන්නේ පුරුද්දට.

වෙල් යාය වැඩිපුරම ලස්සන ඉර බහින හවසටද ඉර පායන උදේටද? ඔයා වැඩිපුර ආදරේ අම්මටද අප්පච්චිටද කියලා අහන එක සාදාරණද? සීයා වෙලට යන්න පිටත් වෙන්නේ ඉර පායන්නත් කලියෙන්. ඒ වෙලාවට වෙලට ගියෝතින් මීදුම අතරින් වැටෙන ඉර එළිය ගොයමට වැටුනම ඇදෙන සිතුවම සිත්සේ දැකගතහැකි.වෙනදා පාන්දරට දැනෙන සීතලට  දත් ඇදි වැදෙන කිටි කිටි කිටිය  නත්තල් මාසය කිට්ටු වෙද්දී කි ටි ටි ටි ටි කි ටි ටි ටි ටි කිටි ටි ටි ටි ශබ්ධයට ගැහෙන තරමට සීතලක් එක්ක ඝන මීදුමක් අපිව වෙලාගන්නවා.මීදුම අතරින් සීතල විදින්න එකත් හරි සොදුරු ගැගුමක්. පින්නට තෙමුණ ගොයම අතින් අල්ලද්දී දැනෙන සීතල විදින්න මම පිං කරලා තිබුණා.

අඩුපාඩුවක් මොටද,හිමිදිරි උඳුවප් සීතල විදීම සම්පූර්ණ වෙන්න නම් අයිස් වගේ සීතල ඇලේ වතුරේ මොහොතක් දෙපා ඔබාගෙන ඉන්නත් ඕනෙ. කඳු අතරින් එඹෙන ලා හිරු රැස් වෙල් යායේ මීදුම අතරින් වැටෙද්දි පිණි කැට දිලිසෙන අපූරුව. හිරු රැස් වනාතේ රූස්ස ගහ කොළ අතරින්  බෙදී වැටෙන
විට ඉරී යන මිහිදුම් සේලය  අහසට ඇදී යන දසුන දෑස් වශී කරයි.

යන්න එනවද මාත් එක්ක ගමේ. හිතින් ගිහින් විදලා එන්න මේ සොඳුරු දසුන්.?



Sunday, 19 December 2021

නත්තල් නිවාඩුව.


සිංගර් මහන මැශිමේ
අම්මා මහන නත්තල් ගවුම
ඇදගෙන මහ පාන්දරම
අවුරුදු නිවාඩුවට යන්ට ගම
ඇදුම් මල්ලත් හදාන කලින්දා
පාන්දට හතරට ඇහැරෙයිද මට?
ලොකු කට්ට පොඩි කට්ට
හතරට තව තියන පැය ගාන
ගණින අතරේ හිතේ දෙඟිඩියාව
අම්මා එලාම් එක තිබ්බාද?
ඇහැරෙයි නේද අප්පච්චිට?
ඇහැරින්න කෝ මට නින්ද?
වත්ත පහල යෝද ඇල
යන එන ජයගඟ බන්ට් එක
බෙලි දිවුල් අඹ ඇබිල්ල
අයියලා අක්කලා රොත්ත
එනකල් මඟ බලන් ඇති සීයා
ආ කිරිදුවලා ආවද
අත්‍තම්මා දොදොල් හැලියක්
හැදිගාලා ඇති මෙලහකට
මාතලේට හිම වැටෙන සීතලේ
මහ පාන්දර හතරට
හතර වටින් කිරල්ලු කෑගනකොට
අදටත් මගේ හිත හිරි වැටයි
හිත දුවන මේ සංසාර මතකෙට
පහයි කාලට ඇල්කඩුවෙ බස් එකේ
අප්පච්චිගේ උකුලේ කකුල් තියාන
අම්මාගේ ඔඩෙක්කේ හිස තියාන
ජනේලෙන් එපිට කලුවරේ
උඩ බලාන ගිය ගමන ගමේ
අදටත් මතකයක් දෑස් තෙමන
මාතලේට හය කිට්ටු කරන කොට
වට පිට ටික ටික එලිය වැටෙන හැටි
ගස් මුදුන් ලයිට් වයර් එකින් එක
ඇස් පහු කරනකොට එන කරකැවිල්ල
කට ඇබුල් වේගන එද්දී
දෑස් තදින් පියාගෙන
බඩ දැගලිල්ල යටපත් කරගන්න
පුංචි මං කරපු යුද්දෙ!
හයට මාතලෙන් තලාව පාර
අනුරාධපුර සීටීබී බස් එක
නාවුල පහු කරන් දඹුල්ල කිට්ටු වෙද්දී
මගේ සුන්දර කාන්‍තාරය
පාර අයිනේ වේලිච්ච ඉලුක් පදුරු
තෙක් මානෙ වෙල් යාය
අතරින් පතර වැවු
අනේ මං ගමේ ආවා!
හිරිපිටියාගම හන්දියෙන් බැහැලා
කරඹෑව පාරේ අම්මා එක අතකින්
අප්පච්චී අනිත් අතින් අල්ලන්
ඒ දෙන්නගේ අනිත් අත් දෙකේ
කද මලු ඇදුම් කැඩුම් බර
කොච්චරක් දුර පයින් ගාටන්නද
අනූ ගනන් වල කොයින්ද ටුක් ටුක්
උඩ පැන පැන මං ගිය සතුට
ලොකු මාමලාගේ ගෙදර මහපළවෙනියට
තේ බීලා ගිමන් නිවන් එතනින්
ජය ගග බන්ට් එක දිගේ මහ ගෙදරට
ඔන්න පාර යනවානම් මගේ ගමට
ඒසී වාහනේ සුව පහසු ආසනේ
ගම යද්දි අද හීල්ලෙන්නෙම
ඒ මතක අතරේ දුවන හිත
තේ බොන්න නවතින්න
ලොකු මාමා නැති ගෙදර
මඟ බලන්න නැති සීයා
දොදොල් හැදිගාන්න නැති අත්තම්මා
දීගතල ගොස් ගමෙත් නැති
අයියලා අක්කලා රොත්ත
නොනැවතී දුවන කාලය
අතරේ අතරමංවෙන හිත
මෙල්ල කරන්න හැකිනම් ආයෙ නුදුවන්න!





Friday, 30 July 2021

අපූරු සුවඳේ කතන්දරය.

අපූරු සුවඳේ කතන්දරය.


වෙල් යාය මැදි කරන්
ගලන දොල පාර අද්දර
නියරේ රූස්ස සියඹලා ගහයට
ඉඳගෙන දවසක් දා
සෙන්කොට්ටන් කියවපු හැටි
වනාතේ රූස්ස ගස් මුදුන් මතට
වැටී දිලෙන රන් පාට හිරු රැසත්
දොලේ ඳියේ පළිඟු මෙන් දිදුලමින්
මගේ වත සිඹින වීදුරු එළිත්
සැනින් ඉඟිල යන සුඳු කොක් රෑනත්
ඈත නිල් අහසෙ ගෑවෙන
නකල්ස් කඳු වළලුත්
මඳ සුළඟත්
නිවපු දෙනෙතේ විඩාව
ඊ බුක් කියවද්දි
සුදු පාට බිත්ති හතර අතරින්
නිකමට මට මතක් වුණා

අපූරු සුවඳේ කතන්දරය.

https://youtu.be/m5fZapWFAIQ



Thursday, 21 March 2019

වැසි වනාන්තරයෙන් සුන්දර කාන්තාරයකට.


මගේ ජීවිත කාලයෙන් වැඩි කාලයක් ගෙවුනේ මාතලේ වුනත් ජීවිතේ බොහොම ටික කාලයක් ගෙවී ගිය අනුරාධපුරේට මම පුදුම ආදරෙයි.

මාතලෙන් පිටත්වෙලා ගිහින් දඹුල්ල කිට්ටු වෙද්දී..දඹුල්ලත් පහුකරගෙන ටික දුරක් යනකොට ඒ වෙනස ඇඟට හොදටම දැනෙනවා. අවුව පොදක් නොවැටෙන වලාකුළු බර වුණු කළුවර අහස යට චුරු චුරු වැස්සෙ සීතලේ ගුලිවෙලා කූඩැල්ලොත් එක්ක පුස් කකා තිබුණු මගේ ගත සිත වගේම මගේ මොළයටත්, ඒ කාශ්ඨක අවුවේ ගිනියම් උණුසුම අස්සේ එන සැඩ සුළඟෙන් ආයෙත් අළුත් පණක් එනවා කියල දැනෙනවා .

   වටේම කඳු වළල්ලයි මීඳුමයි,කැලෑ රොදවල් එක්ක උන්න මට වියළී ගිය ඉපනැලි, පේන තෙක් මානෙ මහ මුහුඳ වගේ වෙල් යායවල්, නිල්ම නිල්පාට පැහැදිලි ආකාසෙ, හැම වෙල් යායක්ම පහු වෙද්දි හමුවෙන නෙළුම් ඕලු පිරුණු වැවු වල ලස්සන විදින්න හැම පාසැල් වාරයක් අවසානයේම ලැබෙන නිවාඩුවට වාසනාව උදාවෙනවා. ඒ ලෝක දෙක අතර වෙනස මගේ ගතට දැනෙන්නේ වැසි වනාන්තරයකින් සුන්දර කාන්තාරයකට පියමනිනවා වගේ.

ඒකට අපි කියන්නේ ගමේ යනවා කියලා :D
හැම පාසල් නිවාඩුවකටම අප්පච්චිට නිවාඩු ලැබුන ගමන් අපි එහේ ගියා. එදාට තමා මට අවුරුදු. :D
මහ ගෙදර මිදුල ඉස්සරහින් තියෙන්නෙ ජය ගගේ වේල්ල (බන්ට් එක). පිටුපසින් පොල් වත්ත කෙලවර වෙන්නෙ යෝද ඇලෙන්. ඉතින් මට තව වෙන මොනවද.
වත්තෙ ඇති පදමට කජු ගස්, බිලිං, පේර, දිවුල්, බෙලි, අඹ තව..නාරං,දෙළුම්, කොකෝවා ;) අත්තම්මයි ලොකු අත්තයි තමයි මේ හැම දේම වවල තියෙන්නෙ. ඉබේ හැදෙන ඒවත් බොහොමයි. ආහ් ආසම දෙයක් අමතක වුණා තල් ගස් වල තල් ගෙඩි,කුරුම්බා.

පොල් වත්තෙ තියනව උළු වහපු ගෙයක්.වත්තෙ වැඩ දවස්ට ඉන්න හදපු එකක්. අපේ අයියලා අක්කලා ඔක්කොම අපි එහෙ ගිහාම මහ ගෙදරට එකතු වෙනවා. ඉතින් අපි කට්ටිය යනව අර ගෙදරට. යන ගමන් වත්තෙ වැටිල තියන අඹ, දිවුල් එහෙම ඇහිඳගෙන තමා යන්නේ,තව පොලු ගහල ගැට ටිකකුත් කඩාගෙනයි යන්නෙ. :D
ගිහින් ඒවට ලුණු,මිරිස් දාල තලල කාල වත්තෙ ගස් ඔක්කොම සුද්ද කරල යෝද  ඇලෙන් අත පය හෝදගෙන තමා එන්නෙ. ඇල අයිනෙ කංකුන් එතකොට වට්ටි පෙට්ටි වියන්න ගන්න පන් ගස් යායයි.

ඒ අව්‍යාජ ලෙන්ගතු පරසරය වගේම ඒ ජීවිතත් හරිම අව්‍යාජයි සරලයි. හවසට වැවට බැහැල ඇති තරම් විනෝද වෙලා කංකුං මුකුනුවැන්න ටිකකුත් කඩාගෙන.. එන ගමන් දඹ,ඇබිලිය,කෝං අත් දෙකට පු‍රෝගෙන.. තව..එරමිණිය පදුරු වලට ගොඩවෙලා තරගෙට එරමිණිය කඩාගෙන.. දිවුල් ගස් වල වැටිල තියන දිවුල් ගෙඩි ගහේ කදේම ගහල පලාගෙන, අල්ලට මැදි කරල  තියල කෑලි කරගෙන බෙදා හදාගෙන ලෑටි ගාමින් ආපු ඒ ජීවිතේ තියෙන්නෙ ඒ සුන්දර වන්නියේ විතරයි කියලා විටෙක සිතුණා.

යෝද ඇලට බහින්න මට තහනම් , ඒ හරියෙ එරෙනවලු ,කිඹුල්ලු එහෙමත් ඉන්නවලු කියලනේ.මාතලේ කෙල්ලට ඉතින් පීනාන්නත් බෑනෙ.
 මම බයිසිකල් පදින්න පුරුදු උනෙත් එහෙදි. (මාතලේ කදු පල්ලම් වල පැද්දොත් ඉතින්..!)

එහේ රෑට නිදාගන්නවා නම් බොරු!.
ෆෑන් එකට වත් හිදෙන් නැති රස්නෙ,මදුරුවො නෙට් එක ගලවන් යන් නැති ටික විතරයි. -_- ඉතින් එළි වෙන්නෙ කොයි වෙලාවෙද කියල පෙරලි පෙරලි ඉද්දි පාන්දර ජාමෙට දන්නෙම නැතුව නින්ද ගිහින්.ඇහැරෙන්නෙ මාතලේට වඩා ලස්සනට වැටෙන ඉර එලිය කාමරේට වැටුනම.

ගේ ලඟම තියනව ලොකු ලිදක් ලස්සනට සිමෙන්තියෙන් බැදපු. ඉතින් වැඩි පරිස්සමට කවුරු හරි ඇදලා දෙන වතුර බාල්දියෙන් මූණ කට සෝදාගෙන පටන් ගන්න නැටිල්ල කෙලවර වෙන්නෙ හවස හතරට විතර ආයෙත් මාතලේට වඩා ලන්නසනට ඉර බහිද්දි. මාමයි සීයයි ඇරෙන්න ගෙදර ඔක්කොම හවසට යනවා ගෙදර ඉස්සරහ ජය ගගට. මාතලේ වගේ දවල් දෙලහා වෙන්න කලින් නාන්න ඕනේ කියන වදකාර චාරිත්‍රය නෑනේ එහේ!. ඒ පැත්තේ උදවිය නාන්නෙම හවසට. රස්නය නිසා වෙන්න ඇති.
දිය කෙලිය ඉවර වෙලා ගොඩ වෙන්නෙ ගෙදර කෙනෙක් අපි ගගේ ගිහින්ද කියල බලන්න ආවම.

ඊට පස්සෙ ගෘහස්ත ක්‍රීඩා පටන් ගන්නව. රෑ 12 විතර වෙනකල් කැරම් සෙල්ලම් කරනව.කාඩ් ගහනව හරිම විනෝදයි. ඒ වෙනකල් වැඩිහිටියොත් ආගිය තොරතුරු කතාබහ කරනව.කාලෙකින්නේ එකතු වෙන්නේ.

දවසක් වෙන් වෙනව චාරිකාවට.අවුකන, විජිතපුරේ, වැදගෙන කලා වැව් තාවුල්ලෙ තියන රූස්ස ගහක් ගාව නතර වෙලා කාල ඇති වෙනකල් විනෝද වෙලා තමා එන්නෙ.

නිවාඩුව ඉවර වෙලා ගෙදර එන දවසෙ උදේට මට ඇහැරෙන් නෑ. හොදටම ලෙඩ වෙනව :) ඒත් ඒ අසාර්ථක උත්සාහයෙන් පැරදිලා එන්න පිටත් වෙන්නෙ සතියකට විතර ඇති වෙන්න ගඩා ගෙඩිත් පුරවගෙන.

ටික ටික ලොකු වෙලා ඉගෙනීම ,විභහග,ටිවුෂන් එක්ක හිර වෙනකොට ඒ හැමදේම නැතිවෙලා ගියා.

තාමත් ඒ ගග ගලනවා,ඒ ගස් වල ගෙඩි හැදෙනවා. අත්තම්මා නැතත් සීයා තවමත් මඟ බලන් ඉන්නවාලු කිරි දුව එනකල්.ඒත්.. මගේ අයියලා  අක්කලා එක්ක ගෙවපු ඒ සුන්දර ලෝකය හඳවතේ ගැඹුරුම තැන ඇඳුන සොඳුරූ සිතුවම් පමණක්ම වෙලා.


Friday, 30 November 2018

ඉස්සර රජ කාලෙ නොවෙයි දැන් මේ කාලේ.. -01.

"මේ කාලේ.. වගේ නෙවේ.. ඒ කාලේ...ඒ කාලේ..මහප්පා දෙන සත දෙක අරන් ට්‍රන්ක පෙට්ටියත් උස්සන් ඉස්ස්කෝලේ ගිහාම..ඔය  දැන් කාලේ වගේ......"
ඒ අත්තම්මා. වෙවුලන ස්වරයෙන් රස කර කර ඇගේ මතකයට එන එන ගානේ කියන ඒ කාලේ ගැන අහන්න අපි බාල කාලේ හරිම ආසයි නේද?

"අපේ කාලෙ නම් ඔය නාඩගම් තිබුනෙත් නෑ..අපි ඔය වයසට ඕවා දන්නෙත් නෑ."
ඒ අම්මා. ටිකක් විතර කේන්ති ගිහාම අපිට කියන ඒ කාලේ ගැන අත්තම්මා  වගේ රසට අපිට නොකිවුවට ඇයත් අත්තම්මා කෙනෙක් වුණ දාට අපේ ළමයින්ට කියාවි නේද ඒ කාලේ ගැන රස කතා.

එතකොට අපි? අපිත් මේ අපේ කාලේ ගැන අනාගතේ දවසක අපේ දරු මුණුබුරන්ට කියාවි ද ඒ කාලේ රස කතා.?

මේ දවස් වල වෙනදාටත් වඩා වැඩියෙන් ෆේස් බුක් ටුවිටර් ඔස්සේ මගේ නෙත ගැටෙන මාතෘකා අතර විවිධ තේමා පාඨ යටතේ "ඒ කාල මේ කාල බේදය" මුල් තැනක් ගන්නවා.


ටිකෙන් ටික කාලය අනාගතයට යන විට අතීතය රසවත් වෙලා වර්තමානය "අපේ ඒ කාලේ" තරම් රස නැති වෙලා ඉදිරි අනාගතයේ රස ගැන ප්‍රශ්නාර්තයක් හිතේ ඉතිරි වෙලා. ඒ විදිහට අපි දශක කීයක්, පරම්පරා කීයක් ගෙවාගෙන ඇවිත්ද.

බිම්බිසාර රජතුමා දුටු, හීන සැබෑවීගෙන යන කාලය එලබිලා වත්ද? මොනවද මේ සිහින?
ත්‍රිපිටකයේ මහාසුපින ජාතකයේ (ජාතක පාලියේ 77 වන ජාතකය) සදහන් මෙම සිහින දහසය හා බුදුරජාණන් වහන්සේ පහදා දුන් අරුත් ඉතාම කෙටියෙන් මම මෙහෙම සදහන් කරන්නම්.

1.  ගොන්නු හතර දෙනෙක් සතර දිශාවෙන් යුද්ධ කිරීමට මාළිගාවේ මිදුලට පැමිණ, පොරය බැලීමට එහි රැස්වූ මිනිසුන්ට යුද්ධ කරන අයුරු පමණක් පෙන්වා යුද්ධ නොකර පැන යාම. -

  • "අනාගතයේ දිළිඳු බව හා නොදැහැමි බව පිරි මිනිසුන් හා රජුන් සිටින කාල වල, කුසල් යටපත්ව අකුසල් ඉස්මතුවී පිරිහීගිය ලෝකයේ සාතර දිශාවෙන් වැහි වලා පිරී,විදුලිය කොටා,ගොරවා වැසි එන බව පෙන්වා වැසි නොවැස වලාකුලු විසිරී යයි. නියගයෙන් පීඩා විදි ජනයා වැසි ලකුණු දැක උද්ධාමයෙන් බලා සිටින නමුත් ඔවුන්ගේ අපේක්ශා ඉටු නොවෙයි.


2.  කුඩා ගස්, පැළ පොළවෙන් වියනක් පමණ වැඩී මල් පිපී ගෙඩි හට ගනියි. -


  • "පිරිහෙන ලෝකයේ මිනිස් ආයුශ ක්‍රම ක්‍රමයෙන් අඩුවී, රාගයෙන් මුසපත් වෙයි. කුඩා ගැහැණු ළමුන් පිරිමින් අතරට ගොස් ගැබිනියන් වී දරුවන් වදයි" 


3.  එළ දෙනුන්, එදින උපන් වසු පැටවුන්ගෙන් කිරි බීම. -

  • "අනාගතයේදී මවු පියන් පිදීමේ සිරිත් පිරිහී ගොස් මවුපිය වැඩිහිටියන් කෙරෙහි වූ ලජ්ජාව නැතිවී තම තමන් ආවාහ විවාහා කටයුතු කරගනී. දෙමවුපියන්ට ආහාර පානාදියෙන් සැලකීම හෝ නොසැලකීම තමන් කැමැත්ත අකමැත්ත අනුව කරයි. එනිසා මහලු වූ කල දෙමවුපියන්ට ස්වාධීන විය නොහැකිව දරුවන් සතුටු කිරීමෙහිම නියැලිය යුතු වෙයි.


4.  ගැල ඇදීමට හයි හත්තිය ඇති ගොනුන් කරතයේ නොබැද නාඹර නුපුහුණු ගොනුන් ගැල් බැදීමෙන් ඔවුන් ගැල ඇදීමට නොහැකිව හුන් තැනම සිටීම. -

  • "අනාගතයේ නොදැහැමි රජවරුන් කාර්‍යයෙහි දක්ශ, පුහුණු, යුක්තිය පසිඳලීමට සමත් ඇමතිවරුන්ට තනතුරු නොදී තරුණ,නොපුහුණු නුසුදුස්සන් පත් කරයි.ධර්ම සභාවේත්, විනිසුරු මඬුල්ලත්, වෙළෙඳ ව්‍යාපාරයේත් දක්‌ෂයින් නොයොදයි. ඒ නිසා ඒවායේ දියුණුවක් නොලබයි."


5.  දෙපසින්ම කට ඇති අශ්වයෙකු දෙකටින්ම කෑම. -

  • "කලියුගයේ නොදැහැමි රජවරුන්ගේ කාලයේ, නොදැහැමි චපල මිනිසුන් විනිසුරුවන් ලෙස යෙදවීමෙන් විත්තියෙන් හා පැමිණිල්ලෙන් දෙපිරිසෙන්ම අල්ලස් ගනිමින් නිවරදි තීන්දු නොදී යුක්තිය අයුක්තිය හොද නරක පින් පවු නොසලකා හරී."


6.  ලක්‍ෂයක්‌ වටිනා රන්තලියක්‌ මහජනයා එක්ව මුත්‍ර කිරීමට නාකි නරියෙකුට දීම.-

  • "කලියුගයේ රජවරුන් උසස් ගතිපැවතුම් සලකා තනතුරු නොදෙයි. දුශ්චරිතයෝ උසස් කරයි. මේ නිසා ගුණවතුන් දුගී වී ඔවුන්ගේ දිවි රැක ගැනීමට නොහැකි නිසා එම පහත් ගතිගුණ වලින් යුතු නුසුදුස්සන් හා ආවාහා විවාහා වෙයි" 



7.  මිනිසෙකු ලණුවක් අඹරමින් පාමුලට දමන විට ඔහු වාඩිවී සිටින පුටුව පාමුල ලැඟ සිටින කුසගින්නෙන් පෙළෙන හිවලෙක් මිනිසාට රහසින් එය කා දමයි. -
  • "කලියුගයේ ස්‌ත්‍රීන් පුරුෂයන් කෙරෙහි තදින් ඇලී, ලොල් වී,  සුරාවේ ඇලී, අලංකාරයට ලොල් වී, වීථි සංචාරයේ ඇලී, පස්‌කම් සැපට ලොල්වී, දුසිල්වත්ව, අසංවරව තම සැමියන් දුක්‌ මහන්සියෙන් උපයාගත් ධනය දේපළ හොර සැමියන් සමඟ එකතුවී විනාශ කරති."


8.  හිස් භාජන රැසක් මැද රජ මිඳුලේ තබා තිබූ ජලය පිරී ඉතිරෙන බදුනට සිවු දිශාවෙන්ම මිනිසුන් පැමිණ තව තවත් ජලය පුරවයි. හිස් භාජන දිහා නොබලයි. -

  • "කලියුගයේ ලෝකය පිරිහී, රජවරුන් දුගී වී, භාන්ඩාගාර හිස් වෙයි. එනිසා ධන හීන රජුන් තම කාර්‍යයන් ජනයා ලවා කරගනී. ජනයාද තම රැකියා අතහැර රජු සඳහාම කැපවෙයි,වගා කර රජු පෝශණය කරයි,රාජ අටු කොටු පුරවයි.


9.  පස්‌ පියුමෙන් සැදි හැම පැත්තෙනේම තොටුපල් ඇති පොකුණක, දෙපා සිව්පා සත්තු  පැමිණ වටෙන්ම පොකුණට බැස වතුර බොනවා. පොකුණේ මැද ගැඹුරු තැන වතුර කැළඹී තිබුණත් සත්තු වතුර බොන තැන් ඉතා පැහැදිලියි. කැළඹී නෑ. -

  • "කලියුගයේ අධාර්මික රජවරු ඡන්දය, ද්වේෂය, භය, මෝහය යන සතර අගතියෙන්ම ක්‍රියා කරනවා. අධාර්මිකව රට පාලනය කරමින්, අල්ලස, ධනයට ගිජු වෙයි. මෛත්‍රියෙන්, කරුණාවෙන් තොරව ඉතා සැර පරුෂ වෙයි. උක්‌ යන්ත්‍රයක මිරිකෙන උක්‌ පුරුක්‌ මෙන් රටවැසියා පෙළ පෙළා නොයෙක්‌ විදියෙන් අයබදු ගනී. මෙයින් පීඩාවට පත් ජනයා ගම් නියම් ගම් අතහැර පිටිසරට යනවා. (විදෙස්‌ ගත වෙනවා)


10.  එකම හට්‌ටියක පිසෙන බත තුන් ආකාරයකින් පිසෙයි. එක්‌ කොටසක්‌ හොඳින් තැම්බෙයි. කොටසක්‌ ඉතා අමුයි. කොටසක්‌ ඉතා තෙත්ය. -

  • "කලියුගයේ රජුන් අධාර්මික වනවිට රාජකාරියෙහි යෙදුණු අය, බමුණන්, ගම්වැසියන්, නගර වැසියන්, මහණ බමුණන්, දෙවියන් ද අධාර්මික වෙනවා. නොදැහැමි රාජ්‍යයේ සුළං රළුව හමනවා. වාතය දූෂණය වී, සුදුසු කල්හි නිසි ලෙස වැස්‌ස නොලැබෙයි. වැව් ආදියෙහි ඉහත්තාවේ වැසි වසින විට යට කොටසට නොවසියි. යට කොටසට වසින විට මතු කොටසට නොවසියි."


11.  ලක්‍ෂයක්‌ වටිනා සඳුන් අරටුවක්‌ කුණු වූ මෝරුවලට විකිණීම. -

  • "ශාසනය පිරිහෙන කල්හි වන්නේය. මතුකලක සිව්පසයෙහි ලොල් වූ විළි නැති භික්‍ෂුන් ඇති වන්නේය.ධර්මය සිවුරු ආදී සිව්පසය ලබා ගැනීම සඳහා අනුන්ට දේශනා කරන්නේය. සිව්පස ලාභය හැර සසරින් එතැරවීමේ සිට නිවන අරමුණකොට දෙසීමට නොහැකි වන්නෝය.වචන මාලාවක්‌ මිහිරි හඬත් අසා වටිනා සිවුරු ආදිය දෙන්නාහ. එසේම දෙනු කැමැත්තෝ ද වෙතියි. සමහරු නුවර ඇතුළත සතර මංසන්ධි, රජ දොරටු ආශ්‍රිතව හිඳ කහවණු අඩ කහවණු, ඔසු ආදී මුදල් නිසා දේශනා කරන්නාහ. මෙසේ නිවන අගය කොට දෙසන ලද ධර්මය සිව්පස ලැබීම, කහවණු අඩ කහවණු පිණිස විකුණා දම් දෙසීම ලක්‍ෂයක්‌ වටිනා හඳුන් හර කුණු මෝරු සඳහා විකිණීමක්‌ වැනි වන්නේය."


12.  ලබු කබල් දියෙහි ගිලීම. -

  • "කලියුගයේ අධාර්මිශ්ඨ රජවරුන්ගේ කාලයේ දැන උගත් බුධිමත් උතුම් පුත්‍රයන්ට තනතුරු නොදෙයි. නූගත් දුර්ගුණ නුසුදුස්සන්ට තනතුරු දෙයි. ඔවුන් ප්‍රධාන ස්‌ථානවල තනතුරු දරයි. රජු ඉදිරියේ, රජ දොරටුවේ හෝ ඇමැතියන් ඉදිරියේ හෝ, විනිසුරු මඬුල්ල ඉදිරියේ තනතුරු දරයි."


13.  මහ ගෙවල් වැනි ගල් නැව්මෙන් දියෙහි පා වීම. -

  • "කලියුගයෙහි නොදැහැමි රජවරු නූගත්, අධාර්මික නුසුදුස්සන්ට පදවි දී ඔවුහු අධිපති කළ විට, ධාර්මික, උගතුන් දිළිඳුන් වෙයි. කිසිවෙක්‌ ඔවුන්ට ගරුසරු නොදක්වයි. රජු ඉදිරියේ හෝ ඇමැතියන් ඉදිරියේ හෝ යුක්‌තිය පසිඳන ස්‌ථානයෙහි හෝ යුක්‌තිය පසිඳලීමෙහි දක්‍ෂවූ ගල් පර්වත වැනි උගත් ගුණවත් පුතුන්ගේ කතා නොසලකා හරියි. එසේම සංඝකර්මවලදී මෙන්ම ඉහත ස්‌ථානයන්හි දී ද සීල සිල්වත්, ධර්ම විනයධර භික්‍ෂූන් වහන්සේ ගරු කළ යුත්තන් සේ නොසිතයි."


14.  කුඩා ගෙම්බන් කළු සර්පයන් පසුපස එලවා ගොස් එම සර්පයන් අල්ලාගෙන කෑම.

  • "ලෝකය පිරිහෙන විට මිනිස්‌සුන්ගේ කාමාශාව දැඩි වේ.කෙළෙසුන්ට වසග වී නව යොවුන් භාර්යාවන් වසඟයට පත්වේ. භව භෝග ආදියත් නව යොවුන් භාර්‍යාවන්ගේ ආධිපත්‍යයට යටත් වේ. ඒවා පාලනය කරන්නේ තම තමන්ගේ භාර්යාවන්මය.


15.  රන්වන් රණහංසයන් පිරිවරාගෙන ඇවිදින කපුටන් දැකීම. -

  • "අනාගත රජවරු හස්‌ති ශිල්පාදියෙහි, යුද්ධයෙහි අදක්‍ෂ වේ. ඔවුන් තම රාජ්‍යයට විපත් ඇතිකරතියි සිතා සමාන දක්ශතා, හැකියා ඇත්තන්ට තනතුරු යස ඉසුරු නොදේ. පාද දෙවීම, නැහැවීම, කෙස්‌ රැවුල කපන සේවකාදීන්ට තනතුරු යස ඉසුරු දෙයි.


16.  එළුවන් දිවියන් පසුපස එලවා ගොස් අල්ලාගෙන කනවා දැකීම.

  • "අධාර්මික රජවරුන්ගේ කාලවල අධාර්මික,නූගත් දුර්ජනයින් රජු හා විශ්වාසයට යනවා. ධර්මික උගතුන් දුබල වෙයි. විනිශ්චය ශාලාවෙහි දුබලයන් බලවත් වේ. එසේම ලඡ්ජා ප්‍රියශීලි භික්‍ෂූන්ට අලඡ්ජී පාපි භික්‍ෂූන්ගෙන් පීඩා ලැබ වන ගත වෙනවා. ධර්ම් විනය ධර භික්‍ෂූන් දුබල වේ."

සිහින දහසය එකින් එක ගත් විට ඒ එක් එක් සිහිනයට අද සමාජයේ ඇති උදාහරන ඔබේ මතකයට නැගෙන්න ඇති.

වෙනස් වන ලොව නොවෙනස් වන එකම දේ වෙනස් වීම පමණයි කියලා කතාවක් තියනවනේ. ඉතින් අපි අපේ කාලයේ රස මුසු තැන් කතා කරමු. ඒවා මේ කාලයේ උන්දැලාට අත් විදින්න නැහැ කියලා අපේ කාලේ ඈයෝ කිඹුල් කඳුළු හෙලන්ට කාරි නෑ. අපේ කාලේ ඕවා තිබ්බේ නැහැ කියලා මේ කාලේ උන්දැලාට ඔරවන්ටත් කාරි නෑ. වෙනස් වීම තේරුම් අරන් ජීවිතයට සතුටින් මුහුණ දෙමු.

මගේ බාල කාලයේ (එක දහස් නවසිය අනූ ගණන් වල ;-) )මං වඩාත්ම ප්‍රිය කල රස මුසු දෑ කීපයක් එක්ක ඉදිරි ලිපි වලින් ආයෙත් හමුවෙමු.