Tuesday, 21 December 2021

සොබාදහම් මතක යන්ත්‍රය.

මාස ගාණක් වැස්ස නොවැටුන පොළවේ දූවිලි අවුස්සාගෙන ගිය සුළඟ.. එක පාරටම වැහි වළාවක් ඇදගෙන ඇවිත්.


දහවල ගොම්මන පැටලෙන තරමට වැහි අඳුර.
හීනියට හමපු නැවුම් සුවඳ මහ වැස්සක නිමිති කියද්දී..
හදිසියේ ආ වැස්ස, කලින් නොදැණුන තටු ඇති, තටු නැති කුරුළු කිරිළියන් වැස්සට බේරිලා පියාඹන්න අසාර්ථක උත්සාහයක!

මට මාවවත් පේන්නෙ නැති තරමට මීඳුම. වැස්ස නම් ටිකක් පායල. ඒත් තාම ටික් ටික් ටික් ගාල ගස් වල කොල වලට එකතුවෙන වැහි බින්දු වැටෙනව. මම ආස නෑ මේ උහුලන්න බැරි සීතලේ ගුලිවෙලා උණුහුමට නිදියන්න. මට ඕනේ..මට ඕනෙ මේ සීතල විදින්න. මේ වැහි බින්දු වැටෙන සද්දෙ අහගෙන ඉන්න. ගස්වල වතුර බින්දුත් අරගෙන ඇගේ හැපෙන හුළඟට කිටි කිටියෙ වෙවුලන්න. නැහැ පුඬු සීතල වෙනකල් මේ නැවුම් හුළඟින් මගේ පෙනහළු පුරෝගන්න. 

කදු වලින් මීදුම් පටල පාවෙලා යන හැටි බලන් ඉන්නකොට.. මට හිතෙනවා… මේ ගල් ගැහෙන සීතලේ නාන්න. 

මේ සීතල මීදුම අස්සෙ මේ සිමෙන්ති බංකුව උඩට වෙලා ඈත පේන හන්තාන දිහා බලාගෙන ක්ලැ‍රන්ස්ගෙ සින්දු අහන්න.  මේ වැහි අදුරට මම ආදරෙයි. මොකද්දෝ හුරු පුරුදු හැගීමක් දැනෙනව මේ මීදුම් හිරිකඩ එක්ක.

මට හිතෙනව… මට වගේම මේ හැගීම දැනෙන, ඒ…ඒ මගේ හිතේ අයිතිකාරයා ..මගෙත් එක්ක මේ ලස්සන විදින්න උන්නනම් කියල. හ්ම් මේ වැස්ස වහින්නෙ අද විතරක් යෑ.. කවද හරි දවසක... මෙන්න මෙන්න මෙතනින් මගේ ලගින්ම ඉදගෙන මේ වගේම සීතල වැස්ස දවසක උණු උණු කෝපි බිබී සින්දු අහන්න අපිට පුළුවන්. අපි ඈත කදු දිහා බලාගෙන හීන,ප්‍රාර්ථනා,බලාපොරොත්තු එකතු කරමු. එදාට මේ සීතල නම් ටිකක් අඩුවෙයි..මම ඒ උණුසුම් හුස්ම ලගින්ම ඉන්න නිසා.
                           ***********

සමහර සුවඳ, අපේ මතක හාරවුස්සන්නේ හරියට.. හරියට දිව අඟ්ගිස්සේ තියන නමක් මතකයට ගන්න වෙහෙසෙනවා වගේ.කොහේදි හරි විඳලා පුරුඳු ලෙන්ගතු, ඒත් කොහේදිද කියලා නිච්චියක් නැති.ඒ  ආයෙ ආයෙ ඉව කර කර හෙවුවත් මතකයට එන්නෙම නැති මතක සුවඳ වගේම සමහර ගීතත් අපේ මතක වල පැටලිලා තියෙනවා. සංගීත කන්ඩයක් ඇහුවත් මතක වැලක් ගලාගෙන එන! 

සොබාදහමත් ඒ වගේම මතක යන්ත්‍රයක් කියලා මට අද දැනුණා. හඳවතේ කොනක හොර රහසේ හැංගෙන සොඳුරු දින,හෝරා,මිනිත්තුවක් හෝ ගෙවී යන මොහොතේ ඒ වටා තියන සොභාදහමේ ලතාව ආයෙත් දවසක විදින්න ලැබුණොත් එදා හිත අස්සට රිංගපු මතකයේ හැගීම ආයෙත් ඔයාට දැනේවි. දැනිලා තියනවද ඒ වචනයෙන් කියාගන්න බැරි හැගීම?

                              **********
දවසක්දා මේ වගේම අහසක් යට.. තෙමි තෙමී.. මගේ රුවත්, මා රැගත් බසයේ අවසන් දසුනත් නොපෙනී යනකල්.. දුරින් ඉදන් කෙනෙක් බලන් උන්නා කියලා සොබාදහම මට මතක් කලා. 

හිසට ඉහලින් නළල මත තිබූ අතින්,  වැස්ස මුවා කරනවා කියලා ලෝකෙට පෙන්නන්නෙ හරියට... 

"ඇති තරම් වැහැපන් මට කමක් නෑ" 

කියලා සීරුවට තෙමෙන්න ලැජ්ජා නිසා වගේ..
 

මම අද ඒ ආදරෙන් තෙතබරි වෙලා තිබුණු හඳවතත්, රුවත් සිත්සේ දැක ගත්තා. ඒ මොහොත විදගත්තා.. සොභාදහම් මතක යන්ත්‍රයට ස්තූතියි!

8 comments:

  1. අපි හුඟදෙනෙක් හුදෙකලාව දකින හීනයක් ලස්සනට අකුරු කරල තියනවා.

    ReplyDelete
    Replies
    1. දිරිගැන්වීමට ස්තූතියි..!

      Delete
  2. මුතු කුඩ ඉහලන මල් වරුසාවේ' සිංදුව මතක් උනා. හිරිපොද වැස්ස නම් ගොඩක් ආල කතන්දර මතක් කරනව නෙ

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒකනෙ. නමිය මතක් කල නිසා ඔන්න මම මෙතන ඇමිනුවා. ඇත්තටම ඒ වචන වලින් දෙන හැගීම පුදුමාකාර ලස්සනක්නේ. ස්තූතියි ආවට මේ පැත්තේ!

      //මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
      උඩ ඉගිලෙන විට වැහි ලේනී
      එබී බලා රිය කවුළු දොරින්
      යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

      අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
      දිය දහරා පාටයි දේදුන්නේ
      තෙමී තෙමී ආදර මධු වැස්සේ
      ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ

      රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
      නහවයි මා රිය සක මඩ වතුරේ
      නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
      අපේ සබඳකම් නෑ රියසක දන්නේ//

      Delete
  3. වැසි දියට යටවුනු ඒ සුන්දර අතීත මතක මත වුනා

    ReplyDelete
    Replies
    1. වැසි දියට යටවුනු සුන්දර අතීතය! හ්ම්ම්
      සොබාදහම කියන්නේ මතක යන්ත්‍රයක් කිවුවේ ඒකනේ..

      ඒකෙන් කාරි නෑ නවකතාවේ 9 වෙනි කොටස පලකරන්නේ කවදටද?

      Delete
  4. අහස් යාත්‍රිකයගෙ 9 වෙනි කොටහ දාල
    https://ahasyaathrikaya.blogspot.com/2021/12/9.html?showComment=1640459195951#c6973159094559293197

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔත්තුවට නමියා! ❤️

      Delete