"ලස්සනයි".
මට හිතුනා.
මගේ දිහා නිකමට වත් බලලා හිනා නොවුණ ඒ ආඩම්බරකාරයා මගේ මිතුරියට
"යන්නම් නංගි"
කියලා ගිය අපූරුව. එයා පරණ කෙනෙක්නෙ.මාව අදුරන්නෙ නැති නිසා වෙන්න ඇති.මම හිත හදා ගත්තා. එක අතකට මට මොකද.මමත් මොනවා හිතනවද මන්දා. ම්ම්හ් ඒත් නිකමට වගේ උදානිගෙන් අහන්න ඕනෙ.
"කවුද නංගි ඒ"
"ආහ් ඒ අර නුවර බ්රාන්ච් එකේ අයිය කෙනෙක්නෙ"
කාලය දින සති ගෙවිලා ගියා
තවත් ආඩම්බර උදෑසනක් උදාවුනා. අම්මා අතින් හැඩ වැඩ වුණ ඔසරියත් ඇදගෙන මම ගෙදරින් පිටත් වුණා. ඔසරියට ඔයා ගොඩක් ලස්සනයි. අම්මා නිතරම කියන කතාව මට නිතරම මතක් වෙන්නෙ ගෙදරින් පිට උන මොහෙතේ පටන් නිවසට එනතුරු මග තොටේ කාර්යාලයේ ලැබෙන ප්රතිචාරත් එක්ක.ඉතින් මගේ හිත ඇතුලෙ අහිංසක ආඩම්බරයක් දැනෙන එක වරදක්ද කියලා මට හිතුණා.
බස් දෙකක යන්න තියන නිසා අට කෙසේ වෙතත් යාන්තමින් නවය පහුවෙන්න කලින් වැඩ පටන් ගන්න එක තමා මගේ පළවෙනි ඉලක්කය.
දොර ඇරගෙන හිමින් හිමින් එන රුව අදුරාගන්න මට තත්පරෙන් දශමයක් වත් ඕනෙද. අදත් ඇවිත්. සිතට සතුටක් දැනුනා.ම්හ් ඇයි මගෙ හිතට මෙහෙම දැනෙන්නෙ. කෙලින්ම ගියේ බොස්ගෙ රූම් එකට. ම්ම් මේ අනිත් අයියා මාව ඔඩිට් කරන්න මීට කලිනුත් ආවනේ. එයාත් එක්ක ඇවිත් මැනේජර් මීට් වෙන්න නම්.. මෙයා ලොක්කෙක් වෙන්න ඇති. හිතට බයකුත් දැනෙනවා.මව ඔඩිට් කරන්නද දන්නෙ නෑ ආවෙ. තවම පර්මනන්ට් කරලත් නෑ.. අනේ දෙවියනේ මාව බේරගන්න.
"ඇයි නංගි ඒගොල්ලො අදත් ඇවිත් ඉන්නෙ?"
මොන දේ වුනත් පලපුරුදු ඈගෙන් උපදෙස් අවවාද මට ඕනෑ වෙන්නේ නිතැතින්ම.
"අයේශා අක්කා ඉද්දිත් එයාලා ඇවිත් උදවුකරලා අඩුපාඩු කියලා දීලා යනවා.බයවෙන්න එපා අක්කා"
මං හිතුවා හරි. මේ තියන වැඩ මදිවට මදැයි...
"නංගි මට රිෆන්ඩ් ෆයිල් එක දෙනවද"
මං උඩ ගියා!ඔවු තාම මම උඩ. ලඟටම ඇවිත් කතා කරනකල් මම දැක්කෙ නෑනෙ.
"මො මො මොකක්ද"
"FD රිෆන්ඩ් ෆයිල් ටික දෙනවද නංගි.ඔයා වැඩක්ද? හදිසි වැඩක් නම් ඉවර කරලා දෙන්න"
"න් නෑ මං දැන් දෙන්නම්."
ගැරඩියාට බූමිතෙල් ගැහුවා වගේ එක හුස්මට ෆයිල් ටික එයා ගාව.
ෆයිල් ටික අරන් ගිහින් සිස්ටම් එකත් එක්ක බරටම වැඩ. හිතුවට වඩා හොදයි වගේ.ඒත්.. නොදැන හරි මගේ වැරැද්දක් තියනවාද දන්නෙ නෑ.
"නංගි ෆයිල් එකේ අඩු ඇප්ලිකේශන් මෙතන ලකුණු කරලා තියනවා මට හොයලා දෙනවද?"
"හ' හා අයියා"
අල්මාරි රෙකෝඩ් රූම් අස්සේ අමාරුවෙන් කීපයක් හොයාගත්තා.අනික්වා නැතුවාට මං මක් කරන්නද.
"පරණ ඩොකියුමන්ට් නැති එකට ඔයා වගකියන්න ඕනෙ නෑ."
අඩුපාඩු කියලා දීලා මගේ හිතේ බයත් නැතිකරලා ගිය ඒ ආගන්තුකයාගේ අමුත්ත උදානිගෙන් අහනකල් නොයිවසිල්ලෙන් හිටිය මට පිළිතුරක් ලැබුණා.
"ඇක්සිඩන්ට් එකක් වෙලාලු නේද. හොද බූට් එකකුත් කාලලු ඉන්නෙ."
"හ්ම්ම්.පවු නේද"
මෙච්චර ලස්සන කොල්ලට බූට් එකක් තියපු කෙල්ල කවුද අනේ. මං මොකද මේ ඒ කතාවට ඉරිසියා කරන්නෙ.එයාට කෙල්ලෙක් හිටියා කියලාද.එකට දහයක් හිටියත් මට වැඩක් නෑනෙ. මටත් පිස්සු.
බස් දෙකක තෙරපිලා යාන්තන් අට වෙද්දි ගෙදරට ගොඩවුනේ බාගෙට නිදිමතේ.වෙනදා වගේ අම්මා තේකක් හදනකල් ඇදේ හරහට දිගාවෙලා ෆෝන් එක් අතට අරන් ඩේටා ඔන් කලා. ම්ම් මොකක්ද අර අයියගෙ නම කිවුවේ.. Kasun. ආහ් මේ ඉන්නෙ. එකවුන්ට් දෙකක් තියනවා.. දෙකම මෙයාගෙ උනාට එකකට ගිහින් නැහැ සෑහෙන කාලෙකින්. රික්වෙස්ට් එකක් දානවද නැද්ද. ඔන්න ඔහෙ දානවා. ගත වුණේ විනාඩියයි. ඇක්සෙප්ට් කරලා මැසේජ් එකකුත් එවලා
"කෝමෙයි?"
"හොදයි.අයියට කෝමෙයි"
මම රික්වෙස්ට් කරනකල් බලන් හිටියා වගේ හරියට.
එදා පටන් ගැනුන අපේ කතාව සුන්දරව ගලන් ගියේ පිටු පිරෙන දිග කෙටි පණිවිඩ කවි නිසඳැස් එක්ක.
ඒ කතා වලින් මට දැණුන ඒ ආදරණීය රැකවරනය මගේ ලෝකෙම උනේ මටත් නොදැනීම.
උදේට නැගිටලා කෑම ලැස්ති කරලා දෙන්නත් එක්ක තේ බීලා එයා හවසට ගෙදර ආවම කොහේ හරි නිදහස් තැනකට ගිහින් ආදරේ විදින්න. හවසට පන්සල් යන්න. කළුවරේ පහන් පැලම පත්තු කරන්න. තෙල් ටිකක් අරන් ආදරෙන් මගේ හිස් මුදුනේ ගාද්දි ඒ ඇස් දෙකේ ආදරේ දකින්න. වැව් ඉවුරක වාඩිවෙලා වරු ගණන් වැවු හුළඟ විඳින්න.නිල් අහසේ අවුව. කළුවර අහසේ පෝය හඳේ සිසිල විඳගන්න. නැහැ පුඩු සීතල වෙනකල් ඇග කිළිපොලන සීතලේ ඒ උණුහුමට ගුලිවෙලා ඔහේ ඉන්න.නිල් අහස දිහා බලන් ඉන්න.මුහුඳු වෙරලක ඇවිදන් යන්න. ඉර බහින හැටි බලන් ඉන්න. රසට උයන්න. මම උයනකොට එයත් ඇවිත් මාත් එක්ක කතා කර කර ඉන්න.දෙන්නත් එක්ක එකතුවෙලා කෑම කන්න.රසම බත් කට එයාගෙ අතින් කන්න.
මම පැතුවේ හිනාවෙලා ජීවිතේ දිහා බලන හරි සුන්දර කෙනෙක්. පුංචි පුංචි අඩුපාඩු ආදරෙන් කියලා දෙන. හැමදේම කතා කරන. සාමූහික තීරණ ගන්න. හරි සුන්දර හදක්.!
"අම්මයි අප්පච්චී මොකද කියන්නෙ"
"එයාලා ටිකක් කැමති නෑ වගේ සුදු අප්පච්චි"
"ඔයා මොකක්ද ගන්න තීරණේ"
"මම ඔයාට ආදරෙයි.මහ ගොඩක් ආදරෙයි.මම ඔයාට පොරොන්දුවක් වුණා.
ඔයාට මතකද? ඒ කිවුවා වගේම මොනදේ උනත් මම ඔයා එක්ක ඉන්නවා."
"ඔයා එනවද මාත් එක්ක? අපි බදිමු."
"අම්මයි අප්පච්චී දාලා එන්නෙ කොහොමද?"
"අපි ඉක්මනින් එයාලව කැමති කරගමු සුදු අම්මි.ඔයා මං ගාවට එන්න. ටික කාලෙකින් එයාලා අපිව පිලිගනී"
"මං කොහොමද අප්පච්චි එහෙම කරන්නෙ..? කොහොමද එයාලට එච්චර දුකක් දෙන්නෙ"
"ඔයා මට ආදරෙයි කිවුවෙ ඇත්තටමද? එයාලා මට කැමති වෙනකල් ඔයාට ඉන්න දෙන්නෙ නෑ. එයාලා හොයලා දෙන කෙනාව ඔයාට ඉක්මනින්ම බදින්න වෙයි"
"මම කැමති නැත්නම් කොහොමද බන්දන්නෙ"
"ඔයාව කැමති කර ගනී කොහොම හරි"
"මාව මරලා තමා"
"කියන දේ අහන්න. හෙට ඉදලා ඔයාට ඔෆිස් යන්න තියා ගෙදරින් එළියටවත් බහින්න දෙන්නෙ නැතිවෙයි. ඔයා හෙටම එන්න. ඔෆිස් එන්න එපා කිවුවොත් රෙසිග්නේශන් දෙන්න ඕනෙ කියලා එන්න."
"බැහැ ඔයාට මට දිවුරලා පොරොන්දු වෙන්න එයාලව යාළු කරලා දෙනවා කියලා..එතකොට මම එන්නම්."
"මම ඔයාට පොරොන්දු වෙනවා.සත්තයි!"
"මම ඔයාව විශ්වාස කරනවා අප්පච්චි.මටත් වඩා!"
අපේ විවාහය ඒක පාර්ශවික විවාහයක් වුණත් චාමෙට ලස්සනට කෙරුණා. විවාහ වෙලා කෙටි කාලයක් ගෙවිලා ගියා
පතා පැමිණි සුර පුරවර වෙලා ගැණුනි ඝණ කළුවර දෑස පුරා දුටු සිනා කවට කෙළි කඳුළු කථාවක කෙලවර
"හෙලෝඕඕ"
"හෙලො"
"හෙලෝ අප්පච්චී.."
"ඔවු ඔවු කියන්න ඇයි කතා කලේ"
"නිකං කතා කලේ ඉතින්.."
"ඔයා තවම වැඩද? එන්න තව ගොඩක් රෑ වෙනවද බබා?"
"මොන බම්බුවක්ද ඕයි කියවන්නෙ? මොංගල්ද තමුසෙට? අද මන්ත් එන්ඩ් එක කියලා දන්නෙ නැද්ද? මොන ලෝකෙද ඉන්නෙ පිස්සු මගුල.
ඔෆිස් එකේ ඔක්කොමලා වැඩ අද රෑ වෙනකල්"
"අනේ ඉතින්..මං තරහ ගන්න දෙයක් ඇහුවයෑ අප්පච්චියො...වෙලා ගිය නිසා හොයල බලන එක වරදක්යෑ .මගෙ මහත්තයා ගැන මං හොයන්නෙ නැතුව"
"අනේ මෙහ් මගෙ යකා අවුස්සන් නැතුව ඉන්නවා මෝඩ ගෑණියෙක් වගේ ගොන් ප්රශ්න අහලා"
සලා සොළස පිරි පුරහඳ අතැර ගොසින් සිය පියබඳ එදා කියූ මුදු වදන් අසන්නට බලා හිඳී සිත පිලිසිඳ
"මෙච්චර රෑ වෙනකල් මේ කාමරේ මේ ඇදේ තනියම ඉන්න පළවෙනි දවස."
"මොකද්ද යකෝ මට කරන්න කියන්නෙ.රස්සාව දාල එන්නද"
"මම නිකන් කිවුවෙ අප්පච්චි.. මට පාළුයිනෙ. ඒකයි කිවුවෙ"
අසන් හිමියනේ
කාට කියන්නද මේ දුක
ඔබ හැර"අනේ මෙහ් කාලා නිදාගන්නවා මගෙ යකා අවුස්සන් නැතුව"
රාත්රිය වී නිහඬව නිසලව ඉන්නම්
බියද දැනේ දුකද දැනේ
රුදුරු වුනේ ඇයි හිමි සඳුනේ
ගායනය - දීපිකා ප්රියදර්ශනී පීරිස්
ගී පද - සුනිල් ආර් ගමගේ
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගීතය රසවිදින්න මෙතැනින්
2 comments:
ඇත්තමයි කියවගෙන මැදකට එනකං පොස්ටුවේ මාතෘකාවත් අමතක වෙලා. ඔයාගෙ කතාව කියවනවා කියල හිතුනෙ. "පතා පැමිණි සුර පුරවර" සිංදු කෑල්ල කියවද්දී තමා තේරුනේ. ලස්සනයි... දිගටම ලියන්න.
බොහොම ස්තූතියි දිරිගැන්වීමට. ❤️❤️❤️
Post a Comment